Opinion

විග්නේෂ්වරන්ට පිළිතුරක් 4: ලාංකේය මහාශිලා ක්ෂේත‍්‍ර හා මුල් බෞද්ධ ක්ෂේත‍්‍රවල භෞමික සමීපත්වය

Summary

ශිලා සුසාන සංස්කෘතිය දෙමළ කර්තෘත්වයකින් යුතු නම් මුල් බෞද්ධ ක්ෂේත්‍ර සමග සමීපව පිහිටා තිබීමෙන් අදහස් කෙරෙනුයේ කුමක් විය හැකි ද? ඒ දෙමළ ජනයා සිය අනන්‍යතා යටපත් කරගත් බවද? නැතහොත් විග්නේෂ්වරන්ලාගේ ප‍්‍රලාපවල පවත්නා අතාර්කික අසංගත බව ද?

ibbankatuwa-megalithic

සංගම් යුගය ආරම්භ වීමට පෙරාතුව ඉන්දියාවේ විසූ මෙගලිතික ජනතාව පසු සංස්කෘතිය කෙරේ පූර්වාදර්ශ සැපයූහ. තෝල්කාප්පියම්, අකනානුරු, පුරාණනුරු, ලෙපාදුකාදම්, අයින්ගුරුනුරු, පට්ටිනප්පාෙලෙ යන සංගම් කෘතිවල ස්මාරක ගල් පිළිබද සදහන් වෙතත් සංගම් මිනිසුන් විශාල රවුම් ගල් හා ගල් පුවරු හෑරීමේ හා එසවීමේ තාක්ෂණය ලබා ගත්තේ මෙගලිතික ජනයාගෙනැ යි රාජන් කියයි. ඒ අනුව, කොඩුමනල්, මල්ලචන්ද්‍රම්, කිල්සෙප්පුලි හා තිරුමලවචි යන ස්ථානවල දැක්වෙන ලෙස විශාල ගල් පුවරු එසවීමේ දැනුම ඔවුන් සතු විය. ඉන් පෙනෙනුයේ වඩා ආකර්ෂණීය සහ ජනප‍්‍රිය තාක්ෂණ හා නිර්මාණ අංග එහි උපයෝගිතාවෙහි ස්වරූපය ද මත වෙනත් සංස්කෘතීන් මගින් අනුගත කර ගැනීමේ ස්වභාවය යි. උක්ත අදහස් සප‍්‍රමාණිකව තර කර ගැනීමේ පුරාවිද්‍යාත්මක දිශානතියක් නම් මූල ඓතිහාසික සුසාන සහ මුල් ඓතිහාසික ක්ෂේත‍්‍ර අතර ඇති භෞමික සබදතාව යි. මෙම තත්ත්වය මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න (1984) හා ආචාර්ය ශිරාන් දැරණියගල (1992) විසින් පෙන්වා දී තිබේ. මුල් බෞද්ධ ක්ෂේත‍්‍ර මෙම සුසානයන්ට දක්වන සමීප බව හුදු එකවර සිදු වූවක් ලෙස සැලකිය නොහැකි ය.

කාලයක් පුරා ආකර්ෂණීය වූ භූ භෞතික හා ස්වාභාවික සම්පත් සහිත කලාපයක්, සංස්කෘතික ආගමනයක් හමුවේ එක්වර හුදකලා කිරීමක් අපේක්ෂා කිරීම උගහට ය. එහි ඵලයක් විය හැක්කේ අවකාශීය විතැන්වීම් වෙනුවට අවකාශය නවමු භාවිතයක් කරා විතැන් කිරීමේ ප‍්‍රවණතාවක් ඇති වීම යි. එවිට පූර්ව සංස්කෘතික වාණිජ හා තාක්ෂණික කණ්ඩායම් මෙන්ම පාලන කණ්ඩායම් උදෙසා ද නව පදනම් වටපිටාවක් හට ගැනේ. ඒ බව සනාථ වනුයේ මෙතෙක් ලබා ඇති කාල නිර්ණ කිහිපයක් සැලකීමෙනි.

ඉබ්බන්කටුව මූල ඓතිහාසික සුසානය හා ජනාවාසය උදෙසා ලැබී ඇති කාබන් කාල නිර්ණ අනුව එහි පළමු අවධිය ක‍්‍රි.පූ. 436-226 දක්වා ද දෙවැන්න ක‍්‍රි.ව. 347-534 දක්වා ද තෙවැන්න ක‍්‍රි.ව. 311-483 දක්වා ද වීම වැදගත් ය. මූල ඓතිහාසික අවධියේ සිට මධ්‍ය ඓතිහාසික අවධිය දක්වා උක්ත ස්ථානය උපයෝගිතාවෙන් යුතු වූ බව ඉන් පැහැදිලි වෙයි. ඊට සමීපව පිහිටා ඇති පූර්ව බ‍්‍රාහ්මී ශිලා ලේඛන සහිත දඹුල්ල, බුදුගෙහින්න, යාන්ගල, ඇඹුල්අඹේ, ඇටබැදියාව ආදී ක්ෂේත්‍ර සමග සැලකූ විට මෙම සබදතාව මැනවින් ගම්‍ය කෙරෙයි. අවාසනාවකට මෙන් යාපන අර්ධද්වීපයෙහි ලෙන් ක්ෂේත‍්‍ර ඉතා දුලබ ය. එසේ නොවන්නට ද්වයිනේ අනෙකුත් ප‍්‍රදේශවල දක්නට ලැබෙන මේ සහසම්බන්ධය ඊන ියා දෙමළ නිජභූමිය තුළින් ද පෙන්වා දීමට ඉඩ තිබිණි.

කන්තරෝඬේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය ආශ‍්‍රිත මෙගලිතික සාධක උදෙසා විමලා බෙග්ලි විසින් 1973දී ප‍්‍රකාශ කළ කාල නිර්ණය ක්‍රි.පූ. 04 සියවස තෙක් දිවෙයි. එහෙත් කාබන් 14 කාල නිර්ණ අනුව එය ක‍්‍රි.පූ.500-100 කාල පරාසයට අයත් බව තහවුරුව ඇති අතර, ඒ ආශ‍්‍රිතව මුල් ඓතිහාසික සමයට අයත් වීමට බොහෝ ඉඩ ඇති විහාර සංකීර්ණ අවශේෂ දක්නා ලැබීම ඉහත අදහස තව දුරටත් සනාථ කරවයි.

මුල් ඓතිහාසික යුගයේ ආගමික සංවිධාන මූල ඓතිහාසික සුසාන ඔවුන් වෙත තබා ගැනීමේ ප‍්‍රවණතාවක් ඇතැයි පෙන්වා දෙන ආචාර්ය දැරණියගල අනුරාධපුර මුල්ම බෞද්ධ ආරාම සංකීර්ණ ක්ෂේත‍්‍රය -ථූපාරාමය- එහි පදනම් සංස්කෘතික අවධීන් තෙක් කැණීම් කළේ නම් මූල ඓතිහාසික සුසානයක සාක්ෂ්‍ය ලැබීමට ඉඩ තිබිණැ යි දක්වන අනුමානය සපුරා සහේතුක වූවකි. කතරගමින් ද මෙවැනි සම්බන්ධතාවලට අදාළ සාධක හමු වී ඇත.

භූ කලාපීය භේදයකින් තොරව මුල් ඓතිහාසික ක්ෂේත‍්‍ර ආශ‍්‍රිත ව මේ තත්ත්වය ඉස්මතු වීමට බොහෝ ඉඩ තිබේ. එම අදහස තව දුරටත් වර්ධනය කිරීමෙන් භික්ෂූන්ට ආකර්ෂණය වූ එම සුසාන සංකීර්ණාශ‍්‍රිත ශිලා මංජුසා සුසාන ආකෘති ස්තූප සදහා ආදේශ කිරීමේ ප‍්‍රවණතාවක් ද හට ගන්නට ඇතැයි යන උපකල්පනය කරා අපට යොමුවීමට හැකි වෙයි.

ශිලා සුසාන සංස්කෘතිය දෙමළ කර්තෘත්වයකින් යුතු නම් මුල් බෞද්ධ ක්ෂේත්‍ර සමග සමීපව පිහිටා තිබීමෙන් අදහස් කෙරෙනුයේ කුමක් විය හැකි ද? ඒ දෙමළ ජනයා සිය අනන්‍යතා යටපත් කරගත් බවද? නැතහොත් විග්නේෂ්වරන්ලාගේ ප‍්‍රලාපවල පවත්නා අතාර්කික අසංගත බව ද?

විග්නේෂ්වරන්ට පිළිතුරක් 3 – මෙගලිතික සුසානවල දෙමළ කර්තෘත්වය පිළිබද ගැටලූ

විග්නේෂ්වරන්ට පිළිතුරක් 2 – මෙගලිතික සුසානවල කර්තෘත්වය දෙමළකරණය කිරිම

විග්නේෂ්වරන්ට පිළිතුරක් 1 – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

Leave a Reply

Your email address will not be published.