Opinion

විග්නේෂ්වරන්ට පිළිතුරක් 5 – මංජුසා සුසාන ගභ හා ධාතු ගර්භ

Summary

ශිලා සුසානවලින් ලැබෙන අස්ථී වෙනුවට ධාතු ගර්භවල තැන්පත් කරන ලද්දේ ශුද්ධ වූ ධාතු කොටස් ය. ඒවා අමතර ආගමික වැදගත්කමකින් යුතු වෙයි. ශිලා සුසානයක අස්ථිමය අවශේෂ තැන්පත් කරන ලද්දේ විශාල බරණි හෝ කුඩා මුට්ටි තුළ ය. ධාතු ගර්භ තුළ දී ඒවා කරඩු බවට පරිවර්තනය වී තිබේ. ගල්, මැටි හෝ පලිගු, කරඩු නිර්මාණයට උපයෝගී කොට ගැනුණි.

මෙගලිතික සුසාන සංස්කෘතියේ ජනප‍්‍රිය සුසාන වර්ගය වූ ශිලා මංජුසා සුසාන හා බෞද්ධ සංස්කෘතියෙහි සුවිශේෂී වන ධාතුගර්භ අතර සම්බන්ධය මීළට විමසා බලමු. ආකෘතික අතින් මේවා බෙහෙවින් සමාන ය. මුල් ධාතුගර්භ මංජුසා සුසාන ආකෘතියෙන් ගලින් නිම කෙරිණි. මහාථූපයේ ධාතුගර්භය මීට එක් නිදසුනක් පමණි. පසුව ගඩොල් මාධ්‍යය ජනප‍්‍රිය විය. උඩඅලුදෙණිය ධාතුගර්භයෙන් පෙන්නුම් කෙරෙන පරිදි ගම්පල යුගය වන විටත් ශෛලමය ධාතුගර්භ නිර්මාණය සුලු වශයෙන් හෝ පවත්වාගෙන එනු ලැබිණි.

මේ නිර්මාණද්වයෙහි තැන්පතු ස්වරූපය ද සාම්‍යයකින් යුතු වෙයි. ශිලා සුසානවලින් කානේලියන්, ඇගේට්, ඇමතේස්ත ආදී අර්ධ මාණික්‍ය පාෂාණයන්ගෙන් කළ පබළු හා ආභරණ, රන්, තඹ ආදී ලෝහ මෙන්ම ඔවුන් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ශිලා මෙවලම්, සත්ත්ව අස්ථි ආදිය ද ලැබී ඇත. එය වෙනත් සුසාන ආකෘති වෙතින් ද අඩු වැඩි වශයෙන් දක්නා ලැබෙන ලක්ෂණයක් වෙයි. නිදසුනක් ලෙස පොම්පරිප්පු ආශ‍්‍රිත බරණි සුසාන වලින් කානේලියන් පබළු සොයාගෙන තිබීමත්, කන්තරෝඬේ හා අනුරාධපුර ඇතුල් නුවර පූර්ව ඓතිහාසික ජනාවාස මට්ටම්වලින් ඒවා හමුවීමත් පෙන්වා දිය හැකි ය.

සුසානය පිහිටන පාරිසරික කලාපය හා ඉන් ලබා ගත හැකි ප‍්‍රමුඛ සම්පත් මේ කෙරෙන් නිරූපණය කෙරේ. නිදසුනක් ලෙස ආනෛකොට්ෙටෙ මූල හා මුල් ඓතිහාසික සමයට අයත් වැළලීම් සමග මත්ස්‍ය අස්ථි, කකුළු කටු ලැබීමත්, ඉබ්බන්කටුවෙන් මධ්‍ය කදුකරයේ දක්නා ලැබෙන පාෂාණ වර්ග ලැබීමත් දැක්විය හැකි ය. ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශයේ බස්ති දිස්ත‍්‍රික්කයේ පිහිට් පිප‍්‍රාවා දාගැබ ද මෙහි දී තුලනාත්මක අධයයන සදහා වැදගත් ය. එම ස්තූපයේ ධාතු ගර්භයේ තිබී හමු වූ ද්‍රව්‍ය අතර රන් ආභරණ, මුතු, කානේලියන් වලින් සැදු කුරුල්ලෙක්, අර්ධ මාණික්‍ය පාෂාණවලින් සැකසූ මල්, කොරල් කැබැල්ලක්, රන්, රිදී, කොරල් හා අර්ධ මාණික්‍ය ඛනිජවලින් තැනූ විවිධ ස්වරූප සහිත පබළු, මිනිරන් කැබැලි, තඹ පතුරු ආදිය විය.

ලංකාවේ ධාතුගර්භවලින් ලැබී ඇති තැන්පතු අතර ද මාණික්‍ය හා අර්ධ මාණික්‍ය ඛනිජමය නිර්මාණ, ආභරණ, සක් බෙල්ලන්, මැටි භාජන, රන් රිදී හා වෙනත් ලෝහමය වස්තු ආදිය වෙයි.

ශිලා සුසානවලින් ලැබෙන අස්ථී වෙනුවට ධාතු ගර්භවල තැන්පත් කරන ලද්දේ ශුද්ධ වූ ධාතු කොටස් ය. ඒවා අමතර ආගමික වැදගත්කමකින් යුතු වෙයි. ශිලා සුසානයක අස්ථිමය අවශේෂ තැන්පත් කරන ලද්දේ විශාල බරණි හෝ කුඩා මුට්ටි තුළ ය. ධාතු ගර්භ තුළ දී ඒවා කරඩු බවට පරිවර්තනය වී තිබේ. ගල්, මැටි හෝ පලිගු, කරඩු නිර්මාණයට උපයෝගී කොට ගැනුණි. ආරම්භක කාලයේ දී කරඩු ලෙස භාවිත කරන ලද්දේ මැටිමය භාජන හෝ ඒවායේ ගල් ආකෘති ය. ඇතැම් සුසානවල පියන්ගල්වල සංකේත ඇතුවාක් මෙන් ඇතැම් ධාතුගර්භවල තැන්පත් කර ඇති මැටි භාජන ආදියෙහි ලේඛන දක්නා ලැබේ. මූලික තැන්පත් කිරීම්වලින් පසුව බොහෝ මංජුසා සුසාන තවත් ගල් පියනකින් වසා දමන ලදි.

එය ධාතුගර්භවල ද අනිවාර්ය ලක්ෂණයක් විය. මංජුසා සුසාන යම් අභිචාර ක‍්‍රියාකාරකම්වලට ලක් වූයේ යැ යි විශ්වාස කළ හැකි ය. ධාතුගර්භ සම්බන්ධයෙන් ඒ තත්ත්වය අද දක්වා ම පෘථුලව දක්නා ලැබේ. ශිලා සුසාන ගර්භ හා බෞද්ධ ධාතුගර්භ අසමාන වූයේ ඒවායේ සංකල්පමය භාවිතාවෙනි. මරණින් පසු භවය පිළිබද සංකල්පය සුසාන ගර්භ කරවීමට මුල් වූ අතර, මරණින් මතු භවය දුරු කිරිම යන සංකල්පය මුල් කොට බෞද්ධ ධාතු ගර්භ කරවන ලදි.

මෙයින් පෙනී යන්නේ බෞද්ධ සංස්කෘතික කණ්ඩායම් විසින් පූර්ව ඓතිහාසික සුසාන ආකෘති නවමු සංකල්පීය අර්ථකථන ඔස්සේ හැඩගස්වා ගත් බව ය. විශේෂයෙන් මංජුසා සුසාන ආකෘතිය ඊට මුල් කොට ගත් බවය. සුසාන ක්ෂේත‍්‍ර හා මුල් බෞද්ධ ආරාමික ක්ෂේත‍්‍ර අතර භෞමික සමීපබව මගින් ද පෙන්නුම් කෙරෙනුයේ ඒ සංස්කෘති අතර සහසම්බන්ධය බවට සැක නැත. නැතහොත් පූර්ව අබෞද්ධ සංස්කෘතියක් පසුව බෞද්ධ සංස්කෘතික පිරිසක් බවට පරිවර්තනය වීම ය.

එහෙත් මෙගලිතික සුසාන සංස්කෘතියේ නිර්මාපකයින් ලෙස පෙන්වීමට උත්සහ කරන දෙමළ ජන සමාජය සිය සංස්කෘතිය උදෙසා මේ සුසාන ආකෘති කෙතෙක් සමීප කොට ගෙන සිටී ද? ඔවුන්ගේ භෞතික ඉදිකිරීම් තුළ ඊට යම් ස්ථානයක් වෙන්ව පවතී ද? එසේ නොමැතිනම් ඊට හේතුව කුමක් ද? වසර දහස් ගණනක් පැරණි ඒ ප‍්‍රබල සංස්කෘතික ලක්ෂණය දෙමළ සමාජය විසින් අතහැර දමන ලද්දේ කුමන කාලයක ද? ඒ අතහැරිම සිදු කරන ලද්දේ ක‍්‍රමිකව ද? නැතිනම් එක්වර ම ද? මේ ගැටලු සියල්ල විග්නේෂ්වරන් විසින් හා ඔහුගේ ජාත්‍යන්තරික විද්වත් කමිටුව විසින් විසදා දෙන තෙක් අපි විමසිල්ලෙන් බලා සිටින්නෙමු.

විග්නේෂ්වරන්ට පිළිතුරක් 4: ලාංකේය මහාශිලා ක්ෂේත‍්‍ර හා මුල් බෞද්ධ ක්ෂේත‍්‍රවල භෞමික සමීපත්වය

විග්නේෂ්වරන්ට පිළිතුරක් 3 – මෙගලිතික සුසානවල දෙමළ කර්තෘත්වය පිළිබද ගැටලූ

විග්නේෂ්වරන්ට පිළිතුරක් 2 – මෙගලිතික සුසානවල කර්තෘත්වය දෙමළකරණය කිරිම

විග්නේෂ්වරන්ට පිළිතුරක් 1 – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *