Opinion

විග්නේෂ්වරන්ට පිළිතුරක් 6 – විග්නේෂ්වරන්ගේ මහාවංස භීතිකාව

Summary

දිනෙන් දින සිදු කෙරෙන පුරාවිද්‍යාත්මක අනාවරණ මගින් බෙහෙවින් ම සිදු වන්නේ මහාවංසයේ විශ්වසනීයත්වය සනාථ වීම බවයි.

mahawansa

මහාවංසය මෙරට ඓතිහාසික කථා සැකිල්ල දරා සිටිනා ප‍්‍රමුඛ සාහිත්‍ය මූලාශ‍්‍රයයි. එය අතීත සංසිද්ධි සාහිත්‍ය රසය සමග මුසු කොට ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිඵලයකි. එබැවින් එහි කියැවෙන දෑ වටහාගැනීම පිණිස මේ දෙඅංශය අනන්‍ය කර ගැනීම අවශ්‍ය ය. සැදැහැවත් බැතිමතාට අමතර වෙහෙසකින් තොරව මහාවංසය කියවීමට පුලුවනි. එහෙත් පර්යේෂකයාට මහාවංසය කියවීම පිණිස අමතර කැප කිරීමක් අවශ්‍ය වෙයි.

මහාවංසය භික්ෂූන් විසින් ගොඩනංවන ලද මිථ්‍යාවක් ය යන අදහස වසර ගණනාවකට පෙර ප‍්‍රභාකරන් විසින් ඉදිරිපත් කරන ලදි. දැන් විග්නේෂ්වරන් ද එය පුනරුච්ඡුාරණය කරයි. ඔහුට අනුව එය ඓතිහාසික නවකතාවක් බදු ප‍්‍රබන්ධයකි. එබැවින් එහි නිරූපිත ඇතැම් වස්තු හා පුද්ගලයන් ආදිය සත්‍ය විය හැකි වුවත් කථාව කෘත්‍රිමව ගොඩනගන ලද්දක් වෙයි.

මහාවංසය ප‍්‍රබන්ධයක් ය යන්න එතරම් ගැටලුවක් නොවේ. ප‍්‍රබන්ධ යන්නෙන් හුදෙක් මිථ්‍යා කථාපුවතක් අදහස් නොවන බැවිනි. ‘මැනැවින් ගොතන ලද’ යනු එහා වාච්‍යාර්ථය යි. බොහෝ දෙනා සිතන පරිදි ‘මිථ්‍යාවක්’ යන අදහස ඒ කෙරෙහි ඇතුළත් නොවේ. මහාවංසය පැරණි සංසිද්ධිවලට අදාළ දත්ත මත පිහිටා මැනැවින් ප්‍රබන්ධ කරන ලද්දකි.
ලෝකය ම රදා පවතින්නේ ප‍්‍රබන්ධ මත නොවේ ද? වෛද්‍ය විද්‍යාව, රසායනවිද්‍යාව, ඉංජිනේරුවිද්‍යාව, ජ්‍යෝතිෂය, ගණිතය, තාරකාශාස්ත‍්‍රය ආදී සියලු විෂයයන් ප‍්‍රබන්ධ මත ගොඩ නගා, ප‍්‍රබන්ධ මත ම පවත්වාගෙන යනු ලැබේ.
ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක‍්‍රටීස්, ආකිමිඩිස්, නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද ප‍්‍රබන්ධකරුවන් ය. ඉතිහාසඥයා හා පුරාවිද්‍යාඥයා ද අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමේ නියුක්ත ප‍්‍රබන්ධකරුවන් කොට්ඨාසයකි. එහෙත් ඔවුන්ගේ ප‍්‍රබන්ධ හිතලු මත ගොඩනැංවෙන්නක් නොවේ. පෙන්වාදිය හැකි භෞතික සාධක මත පදනම් වන්නකි. තම ස ිතට නැගෙන කල්පිත මනෝභාවයන් කතාවක් බවට පරිවර්තනය කරන නවකතාකරුවකුගෙන් හෝ කෙටිකතාකරුවකුගෙන් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් වෙනස් වන්නේ එබැවිනි. වර්තමාන ඓතිහාසික නවකතාකරණයට අදාළව පවා, ‘මුල් කථා පුවත විකෘති නොකළ යුතු ය’ යන්න ෙසෙද්ධාන්තිකව පිළිගැනේ.

කිසිවෙකුට අතීතය පිළිබද අංගසම්පූර්ණ කථාවක් ගොඩනැංවිය නොහැකි ය. කළ හැක ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා වාග්විද්‍යාත්මක ආදී සාධක භාවිත කරමින් වැඩි සම්භාවිතාවකින් හා සංගතබවකින් යුතු කථාවක් නැතහොත් ප‍්‍රබන්ධයක් ඉදිරිපත් කිරිම ය. එය සාවද්‍ය යැ යි යමෙකුට චෝදනා කළ හැකි ය. එහෙත් එසේ චෝදනා කළ යුත්තේ ඊට වඩා ප‍්‍රබල සාධක ඉදිරිපත් කිරීමේ ශක්‍යතාවකින් යුතු වන්නේ නම් පමණි. එවැනි ශක්‍යතාවක් ප‍්‍රභාකරන්ට තිබුණේ නැත. විග්නේෂ්වරන් සතුව පවත්නේ ද නැත.
යුවාල් නෝවා හරාරිගේ සේපියන්ස් (Sapiens: A Brief Hostory of Humankind&) කෘතිය කියවා බලන්නැ යි මම විග්නේෂ්වරන්ට යෝජනා කරමි. හරාරි මෙසේ කියයි. ‘’මේ ආකාරයේ කතන්දර ජාලයක් තුළ මිනිසුන් විසින් නිර්මාණය කරන්නා වූ දේවල් විද්වත් පර්ෂදයන්හි දී ‘ප‍්‍රබන්ධයන්’, ‘සාමාජිය ගොඩනැගීම්’ හෝ ‘පරිකල්පනීය යථාර්ථයන්’ ලෙසින් හදුන්වනු ලැබේ. මේ ‘පරිකල්පනීය යථාර්ථය’ යන්න බොරුවක් නොවන්නේ ය…..’.

මහාවංසය බොහෝ දෙනා විසින් පිළිගනු නොලබන්නේ යැ යි ද, ඒ බව මෙතෙක් සමාජගත නොවූ යේ යැ යි ද විග්නේෂ්වරන් පවසයි. මහාවංසයට චෝදනා කරන්නවුන් බහුතරය පාලි මහාවංසය තබා එහි සිංහල හෝ ඉංග‍්‍රිසි හෝ පරිවර්තනයකුදු පෙරළාවත් නැති බවට සැක නැත. විග්නේෂ්වරන් පමණක් නොව, රාවණාව සිය ‘අප්පච්චි’ කොටගත් නව පරම්පරාවක් ද මේ ‘බොහෝ දෙනා’ට අයත් වෙයි. මහාවංසය යනු මහානාම හිමිගේ පුද්ගලික රචනයක් නොවේ. එය එතෙක් පැවැති පුරාණ ඓතිහාසික වාර්තා විධිමත් පරිදි සංස්කරණය කිරීමේත්, පසුකාලීනව මේ සම්ප‍්‍රදාය යාවත්කාලීන කිරීමේත් ඵලයක් බව මේ ඊනියා ජාතිමාමකයින් උගත යුතු කරුණකි.

මහාවංසය හුදකලාව කියවීමට යාමෙන් එහි වටිනාකම ප‍්‍රමාණවත් පරිදි ඉස්මතු නොවෙයි. මහාවංසයේ මූලාශ‍්‍රමය අගය වඩා ඉහළට එසවෙනුයේ වසර එකසිය තිහකට අධික කාලයක් සිදු කර ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අනාවරණ සමග ගළපමින් එය කියවන විට ය. පාලි භාෂාව පිළිබද අවබෝධය ද, ඓතිහාසික වාර්තාකරණ සම්ප‍්‍රදාය පිළිබද අවබෝධය ද, සාහිත්‍යමය නිරූපණවලින් ඓතිහාසික මූලබීජ වෙන්කර ගැනීමේ හැකියාව ද, දේශීය සංස්කෘතිය හා සම්ප‍්‍රදායයන් පිළිබද දැනුම ද ඊට බෙහෙවින් අවශ්‍ය කෙරේ. පදනම් මහාවංසයට විරහිත චෝදනා කරනු විනා මේ කිසිදු ශික ්ෂණයකින් තොර බුද්ධි විහීනයන්ට කළ හැකි අන් යමක් නොමැති වීම පුදුමයක් නොවේ.

මහාවංසය දෙස බැලිය යුත්තෙ මූලාශ‍්‍රයක් වශයෙනි. ඓතිහාසික ප‍්‍රතිනි්ර්මාණ හා අර්ථකථන සදහා වටිනා ඉගි ලබා දෙන ඔත්තුකරුවකු ලෙසිනි. ඉන් ප‍්‍රයෝජන ලබා ගැනීමේ වගකීම පර්යේෂකයන් සතු ය. ඒ වගකීම මහානාම හිමියන්ට ම පවරා උන්වහන්සේව චූදිතයකු කිරීම මහාවිහාර සම්ප‍්‍රදායට පහර ගැසීමට කැසකවන්නන්ට මිස අපට රුචි නොවේ. අපට එක්දෙයක් නිසැකව කිව හැකි ය. එනම්, දිනෙන් දින සිදු කෙරෙන පුරාවිද්‍යාත්මක අනාවරණ මගින් බෙහෙවින් ම සිදු වන්නේ මහාවංසයේ විශ්වසනීයත්වය සනාථ වීම බවයි.

විග්නේෂ්වරන්ට පිළිතුරක් 5 – මංජුසා සුසාන ගභ හා ධාතු ගර්භ

විග්නේෂ්වරන්ට පිළිතුරක් 4 – ලාංකේය මහාශිලා ක්ෂේත‍්‍ර හා මුල් බෞද්ධ ක්ෂේත‍්‍රවල භෞමික සමීපත්වය

විග්නේෂ්වරන්ට පිළිතුරක් 3 – මෙගලිතික සුසානවල දෙමළ කර්තෘත්වය පිළිබද ගැටලූ

විග්නේෂ්වරන්ට පිළිතුරක් 2 – මෙගලිතික සුසානවල කර්තෘත්වය දෙමළකරණය කිරිම

විග්නේෂ්වරන්ට පිළිතුරක් 1 – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *