Opinion

විග්නේෂ්වරන්ට පිළිතුරක් 7 – විග්නේෂ්වරන්ලා, පද්මනාදන්ලා හා සිත‍්‍රම්පලම්ලා

Summary

අකුරක දිග ඵළල රේඛාවේ දිශාව ආදිය එහි කාලය නිර්ණය කිරිම පිණිස තීරණාත්මක සාධක නොවන බව ඔවුන්ට තවමත් වැටහී නැත. ඒවායේ පෞරාණිකත්වය ප‍්‍රතික්ෂේප කිරීමට පෙර කාබන් කාලනිර්ණය හෝ තාප සංදීප්තතා කාලනිර්ණය අනාථ කිරීමේ අභියෝගය ඔවුන් ඉදිරියේ පවතී.

wigneswaran and padmanathan
  • Save

දින කිහිපයකට පෙර පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සිදු කරන ලද සාකච්ඡාවක දී විග්නේෂ්වරන් සිය පූර්ව මතය යළිත් අවධාරණය කළේ ය. එහි දී ඔහු කියා සිටියේ වසර තුන්දහසකටත් ඈත කාලයක දී මෙරට දෙමළ භාෂාව ව්‍යවහාර වූ බවට ඕනෑවටත් වඩා සාක්ෂ්‍ය පවතින බවයි. විග්නේෂ්වරන් ඉතිහාසඥයකු හෝ පුරාවිද්‍යාඥයකු නොවේ. ඔහුට මේ බව පවසා ඇත්තේ පද්මනාදන් විසිනි. පද්මනාදන් කලක් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කළේ ය. වසර තුන්දහසකට පෙර, එනම් ක‍්‍රි. පූ. 1000 යනු ආසන්න වශයෙන් මධ්‍යශිලා යුගයේ අවසාන වකවානුවයි. එමෙන් ම පූර්ව ඓතිහාසික අවධියේ මුල් කාලවකවානුවයි. මෑතකාලීන පර්යේෂණ මගින් පූර්ව ඓතිහාසික වකවානු තවත් සියවස් කිහිපයක් පසු පසට පැතිර යන බව සොයාගෙන තිබේ. අප දන්නා පරිදි එතරම් ඈත කාලයක භාවිත භාෂාව සම්බන්ධයෙන් අනාවරණය කෙරෙන පර්යේෂණයක් සිංහල හෝ දමිළ උගතුන් විසින් මෙතෙක් සිදු කර නැත. එවැනි තත්ත්වයක් යටතේ පද්මනාදන් පෙර කී නිගමනයට පැමිණියේ කෙසේ දැ යි හෙළිදරව් කිරිම ඔහුගේ යුතුකමකි. නැතහොත් ඒ සීතාම්බර පර්යේෂණය පිළිබද අසා දැන, නොදන්නා අපට ද කියා දීම විග්නේෂ්වරන්ගේ වගකීමකි.

වසර තුන්දහසකට පෙර දෙමළ භාෂාව මෙහි ව්‍යවහාර වී ය යන්නෙහි අදහස නම් එතරම් ඈත කාලයක දී දෙමළ ජනතාව මෙහි වාසය කළ බව ය. දෙමළ ජනාවාස පැවති බව ය. එහෙත් මේ විද්වතුන් විසින් පළමුව කළ යුතුව තිබුණේ දෙමළ ජනාවාසවල වසර තුන්දහසක පෞරාණිකත්වය තහවුරු කර පෙන්වීම ය. තහවුරු කළ නොහැකි ජන පැවැත්මක් උපයෝග කොට ගෙන භාෂාවක පෞරාණිකත්වය ස්ථාපිත කිරිමට තැත් කිරිම බෙහෙවින් අයෝග්‍ය බව නොකිවමනා ය. ඉන්ද්‍රපාලන් විසින් මෙරට දෙමළ ජනාවාසවල පෞරාණිකත්වය වඩාත් පසුකාලීන එකක් බව ඓතිහාසික දත්ත පදනමක් මත පෙන්වා දී තිබීම පද්මනාදන්ට හෝ විග්නේෂ්වරන්ට විෂයය වන්නේ නැත. යටත් පිරිසෙයින් ඒ පිළිබ`ද විවේචනයක් හෝ ඉදිරිපත් කිරිමට ඔවුන්ට හැකියාවක් නැත. වසර තුන්දහසක් තරම් පැරණි යැ යි කියන භාෂා ව්‍යවහාරයක් සහිත ජන කොටසක් විසූ කලාපයකින් මධ්‍යකාලීන අවධිය පමණ දක්වා දෙමළ ලේඛන හමු නොවනුයේ මන් දැ යි යන ගැටලූවට පිළිතුරු දීමට ඒ කිසිවෙකු ඉදිරිපත් වෙතැ යි සිතිය නොහැකි ය.

ආචාර්ය සිරාන් දැරණියගල විසින් අනුරාධපුර ඇතුලූ නුවර සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බ‍්‍රහ්මී අක්ෂර සහිත මැටි වළං කැබලි විද්‍යාත්මක කාලනිර්ණ ඔස්සේ ක‍්‍රි. පූ. 500-600 කාලයට අයත් වෙතැ යි පිළිගෙන තිබේ. ඒ සදහා කාබන් කාලනිර්ණ මෙන් ම තාපසංදීප්තතා කාලනිර්ණ ද ලබා ගැනුණි. ස්තරගතව ලැබී විද්‍යාගාර පර්යේෂණ මගින් සනාථ කරන ලද වකවානු සහිත ඒ සාධකවල පෞරාණිකත්වය ප‍්‍රශ්න කරමින් විමලසේන හෑලෝගම විසින් ශ‍්‍රී ලාංකික බ‍්‍රහ්මී අක්ෂර මාලාවෙහි ආරම්භය මැයෙන් ග‍්‍රන්ථයක් පළ කරන ලදි. පුරාවිද්‍යාත්මක සන්දර්භ, පාංශු ස්තරායණය, විද්‍යාත්මක කාලනිර්ණ, සංසිද්ධි අනුපිළිවෙල ආදී පුරාවිද්‍යා කැණීම් ක‍්‍රියාවලියට අයත් සුවිශේෂී අංශ පිළිබද කිසිදු සැලකිල්ලක් නොදක්වන ලද මෙම ග‍්‍රන්ථයට පද්මනාදන් විසින් සපයන ලද විශේෂ හැදින්වීමක් ද ඇතුළත් කර තිබේ. එහි දී, අදාළ වළං කැබිලිති ක‍්‍රි. පූ. තෙවැනි සියවසට වඩා පැරණි නොවෙතැ යි ද, දෙමළ බ‍්‍රාහ්මී ලේඛනවල දක්නා ලැබෙන ‘ළ’ අක්ෂරය එම මැටි ලේඛනවල දක්නය ඇතැ යි ද හැලෝගම පල කර තිබූ අදහස් පද්මනාදන්ගේ සතුටට හේතු විය. මේ පර්යේෂණය ක‍්‍රමවිද්‍යානුකූල හා ක‍්‍රමානුකූලව සිදු කර ඇතැ යි සදහන් කර ඇතත් ඒ කුමන විද්‍යාවකින් දැ යි පැහැදිලි කර නැත. විද්‍යාත්මක දත්ත කිසිවක් හැලෝගමගේ අවධානයට ලක්ව නැතැ යි නිර්භයව කීමට පද්මනාදන්ට නොහැකි විය. ඒ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ගේ ජාතිමූලික මතවලට ඉන් ලැබෙන සහාය හේතුවෙනි.

සිංහල ප‍්‍රාකෘතයේ පෞරාණිකත්වය පිළිබද පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ප‍්‍රතික්ෂේප කරන ලද්දේ පද්මනාදන් විසින් පමණක් නොවේ. ඉහත ග‍්‍රන්ථයට පෙරවදනක් සැපයූ එවකට ආචාර්ය සෝමතිලක ද, ඔහු විසින් උපුටන ලද එස්. කේ. සිත‍්‍රම්පලම් ද ඒ අතර වෙති. සිත‍්‍රම්පලම් යාපන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විය. දැරණියගලගේ කාලනිර්ණය පිළිගත නොහැකි බවත්, එහි නිවැරදි කාලනිර්ණය ක‍්‍රි. පූ. තෙවැනි සියවසින් මෙපිටට අයත් විය යුතු බවත් සිත‍්‍රම්පලම් තමා සමග පැවසී යැ යි සෝමතිලක සදහන් කර තිබේ. මේ කිසිවෙක් පුරාවිද්‍යාව හෝ ස්තරවිද්‍යාව හෝ කැණීම් ක‍්‍රමවිද්‍යාව හෝ පිළිබද අවබෝධයක් ඇත්තවුන් නොවන බැවින් ඒ මතවාදවලට වලංගුතාවක් හිමි නොවෙයි. අකුරක දිග ඵළල රේඛාවේ දිශාව ආදිය එහි කාලය නිර්ණය කිරිම පිණිස තීරණාත්මක සාධක නොවන බව ඔවුන්ට තවමත් වැටහී නැත. ඒවායේ පෞරාණිකත්වය ප‍්‍රතික්ෂේප කිරීමට පෙර කාබන් කාලනිර්ණය හෝ තාප සංදීප්තතා කාලනිර්ණය අනාථ කිරීමේ අභියෝගය ඔවුන් ඉදිරියේ පවතී.

ක‍්‍රි. පූ. 500-600 කාලයට දිවෙන අක්ෂර සහිත මැටිවළං කැබලි අනුරාධපුරයෙන් හමු වූ විට මේ සියල්ලෝ ඊට එරෙහිව පෙළ ගැසුණහ. එහෙත් මෑතක දී ඉන්දියාවේ පොන්ඩිචෙරි ප‍්‍රදේශයෙන් ක්‍රි. පූ. 550ට අයත් අක්ෂර සහිත වළං කැබලි හමු වූ විට ඒ බව නොදන්නා සේ මුනිවත රැකියහ. මෙවන් දෙබිඩි පිළිවෙතක් ශාස්ත්‍රධරයන් කෙරෙහි පැවතිය හැකි ද?

විග්නේෂ්වරන්ට පිළිතුරක් 6 – විග්නේෂ්වරන්ගේ මහාවංස භීතිකාව

විග්නේෂ්වරන්ට පිළිතුරක් 5 – මංජුසා සුසාන ගභ හා ධාතු ගර්භ

විග්නේෂ්වරන්ට පිළිතුරක් 4 – ලාංකේය මහාශිලා ක්ෂේත‍්‍ර හා මුල් බෞද්ධ ක්ෂේත‍්‍රවල භෞමික සමීපත්වය

විග්නේෂ්වරන්ට පිළිතුරක් 3 – මෙගලිතික සුසානවල දෙමළ කර්තෘත්වය පිළිබද ගැටලූ

විග්නේෂ්වරන්ට පිළිතුරක් 2 – මෙගලිතික සුසානවල කර්තෘත්වය දෙමළකරණය කිරිම

විග්නේෂ්වරන්ට පිළිතුරක් 1 – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap