Opinion

විජේවීර මරා දැමිණි!

Summary

නැවතත් දශක කීපයකින් එවන් “ජවිපෙයක්” නැවත බිහිවුවහොත් නැවතත් පුලස්තිලා, ප්‍රභාත්ලාගේ ඉරණම සිදුනොවීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශක්තිමත්ද?

  • Save

මේ ලියන මා ඔහුගේ අනුගාමිකයෙක් නොවේ.

වයස 16 පමණ වන විට මාගේ සමහර මිතුරන්ට විජේවීර වීරයෙකු විය. දේශපාලනයක් නොතේරුනාට අප දේශපාලනය ගැන උනන්දුවක් දැක්වූයෙමු. මට නම් විජේවීරගේ “සුවඳ” ඇල්ලුවේ නැත. සරසවියේ මා සිටියේ ජවිපෙ විවේචනය කළ ගොඩේය.

විජේවීර නායකත්වය දුන් බලවේගය විසින් රටට කලේ හානියකි. වෛරය වැපුරුවේය. තරුණ මොළ ඔල්මොරොන්දම් කෙරුවේය. රට පුරා ඔහුට වෙනස් මත දැරුවෝ එම බලවේගය විසින් මරා දමන ලදි.

එම බලවේගයට එජාප රජය මුහුණ දුන්නේ දැවැන්ත භීෂණයක් ගොඩ නගමිනි. ටයර් සෑයවල් පොදු දර්ශනයක් විය.
1989 ජාතික මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සුගතදාස ක්‍රිඩාංගනයට යාමට ඒ අසල වූ ඤාතියෙකුගේ ගෙදර සිට කැළණි ගඟ ඔස්සේ ඇවිදමින් සිටි මට නිකම්ම ගඟ දෙස බැලිණි. පාරේ සිට අඩි 3-4 ක තරම දුරින් වතුරේ මළ මිණියකි. ඔළුවෙන් භාගයක් විවෘත වී වයර් කෑලි වගේ එලියට විත් තිබුනේය. ඒ දෙස මොහොතක් බලා සිටි මා තවදුරටත් ඇවිද්දෙමි. ආයිත් ගඟ දෙස බැලිණි. ගඟ මැද්දේ ගසාගෙන යන මිනී කඳන් දෙකකි. ඒ දුටු දෙයින් මා මානසික පීඩනයකට පත් නොවුනේ මන්දැයි මා අදටත් නොදනිමි.

ප්‍රශ්ණය එයත් නොවේ!

සරසවිය ඇරඹිණ. බැච් එකේ එකට සිටි රත්ගම සමන් නැත! ඔහු හිටියේ ජවිපෙ පිලේය. එකල සරසවිය තුල මා ජවිපෙට කොතෙක් එරෙහි වූවත් සමන් සහ මා අතර යම් සහෝදර බැම්මක් විය. “ඉස්සුවයි කියලයි ආරංචිය මචං!” කවුදෝ කීය. ඒ මාතරින් වූ ආරංචිය.

කුරුණෑගල පැමිණි විට දැන ගත්තේ පාසලේ එකට සිටි පුලස්ති, රිෆ්ති සහ ප්‍රසාද් තිදෙනම නැවත නොපැමිණි බවය. තිදෙනාම පාසලෙන් පසු පේරාදෙණියේ වෛද්‍යවිද්‍යාව හැදෑරීමට ගියහ. එකල ජවිපෙ ප්‍රධාන සටන් පාඨය වූ “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල” සටනට ඔවුන් ක්‍රියාකාරී සහය දුන්නෝය. ඔවුන් නැවත නොඑන්නට ගිය බව දැනගත් විට අපගේ ප්‍රතික්‍රියාව වූයේ හුස්මක් හෙලීම පමණි.

ඒ වටේ පිටේ කතාය. ප්‍රශ්ණය මෙසේය.

විජේවීර තම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා මොන මිනීමැරුම් කලත් ඔහු මැරෙන්න මොහොතකට පෙර ආයුධ සන්නධව සිටි කෙනෙක් නොවේ. එවන් කෙනෙක් මරා දැමීම යුධ අපරධයකි!  (LTTE ය සමග යුද්ධයෙදී මානව හිමිකම් රැකීම පාර්ශව දෙකටම හිමිවුවද (LTTE, a billigerent group), ජවිපෙ සමග ගැටුමේදී මානව හිමිකම්‍ රැකීමේ වගකීම සම්පූර්ණයෙන්ම රජයටය).

පුලස්ති, ප්‍රභාත්, රිෆ්ති ආදීන්ගේ අතුරුදන්වීම් අයත් වෙන්නේ මානව වර්ගයාට එරෙහිව කෙරෙන අපරාධ ගණයටය. එනම් රටේ නීතියට ඉහලින් ඇති ජාත්‍යන්තර නීතියට යටත්වේ.

අප සරසවිය හමාර කර උපාධි ලබා පිටත්ව ගියෙමු! නමුත් සිදුවූ දෑ ගැන අප හැරී නොබැලුවෙමු! ඒ ගැන දැක්මක්, දැනුමක්ද නොතිබිණි!
ආයුධ සන්නධව නොසිටි විජේවීර මරා දැමීම වැලැක්වීමට, පුලස්ති, ප්‍රභාත්, සමන් ආදීන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැලැක්වීමට එවකට ලංකාවේ තිබුණු නීති ප්‍රමාණවත් වීද? නොමැති වී නම්, ගියදේ ගියා කියා හෝ නැවත එවන් දේ සිදුවීමට නොහැකි වන ලෙසට නීති මාලාවක් සාදා ගැනීමට අප කාටත් නොසිතුනේ ඇයි?

සමහර සුද්දන් සිතන විදිය අප සිතන විදිහෙන් වෙනස් බව දැනෙන්නේ මෙවන් තැන් වලදීය. ඇමෙරිකාවේ විරෝධයද නොතකා ජාත්‍යන්තර යුධ අධිකරණය පිහිටුවා ගැනීමට ලෝකයට හැකි වූයේ 1990 ගණන් වල රුවන්ඩාවේ සහ යුගෝස්ලෝවියාවේ වූ සිදුවීම් නිසාය. මානවහිමිකම් සුරැකෙන ලෙස ජාත්‍යන්තර නීති ගොඩ නැගුනේ දෙවන ලෝක යුද්ධයේ සිදුවීම් හේතුකොටගෙනය.

අපේ අත ළඟ සිදු වූ දේ ගැන අපට කතිකාවතක් වත් නොවීය! වීද?

නැවතත් දශක කීපයකින් එවන් “ජවිපෙයක්” නැවත බිහිවුවහොත් නැවතත් පුලස්තිලා, ප්‍රභාත්ලාගේ ඉරණම සිදුනොවීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශක්තිමත්ද?

ඔබේ විමසුමට!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap