Opinion

විද්‍යාව අදහමින් බුද්ධාගමට ලකුණු ගැනීම

Summary

මේ සමහර දේ ප්රැක්ටිකල් කළ නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් මහා සංඝ රත්නයේ උපදෙස් පරිදි මේ ප්රැක්ටිකල් විභාගය ප්රැක්ටිකල් විදිහට පවත්වන ක්‍රමයක් සාදාගැනීමට හැකිය.

මගේ දියණිය බුද්ධාගම පාඩම් කරමින් සිටියි. මා ද ඒ කාලයේ මෙසේ බුද්ධාගම පාඩම් කළෙමි. මා එසේ පාඩම් කළේ ධර් මය අවබෝධ කරගැනීමට නොවේ. බුද්ධාගම විෂයයට පංතියේ වැඩිම ලකුණු ලබාගැනීම සඳහාය.

බුද්ධාගම ලේසියෙන් පාඩම් කර ලකුණු ගැනීමට හැකි විෂයයකි. මා බුද්ධාගම පාඩම් කිරීමට ආසා කළේ ඒ් නිසාය. බුද්ධාගම මට වැදගත් වූයේ ඒ නිසා ය. පංතියේ පළවෙනියා වීමට ද ප්‍රයිස් ගිවින් එකේ දී තෑග්ගක් ද ලබාගැනීමට උපකාර වන විෂයයක් වශයෙනි.

මේ නිසා ඇත්තමට සිදුවූයේ බුද්ධාගම පාඩම් කරන්නට කරන්නට බුද්ධාගම මගෙන් ඈත්වීම ය. මා නම් හිතන්නේ බුද්ධාගම කිසිම ළමයෙකු පාඩම් නොකළ යුතු බව ය. එය පංතියේ ලකුණු ලැබෙන විෂයයක් බවට පත් නොකළ යුතු බව ය. බුද්ධාගම ඉගැන්විය යුතුය. එහෙත් උක්ඛට්ඨාපුර පොක්ඛරසාතී, අසිත තවුසා ආදී වශයෙන් පාඩම් කර ලකුණු ලබාගන්න විෂයයක් බවට පත් නොවිය යුතු ය. බුද්ධාගම රැකෙන්නේ එසේ වුවහොත් පමණි. අනෙක් අතට බුද්ධාගම විෂයයට සංගීත නැටුම් ආදී විෂයයන්ට මෙන් ම ප්‍රැක්ටිකල් ද අයත් විය යුතුය. රතන සූත්‍රය කටපාඩම් නැති අයෙකුට ඕලෙවල් විභාගයෙන් බුද්ධාගමට ඒ සාමාර් ථයක් ලබානොදිය යුතුය. ඒ් සදහා බුදුන් වදින මල් පූජා කරන හැටි දැන සිටිය යුතුය. ආනාපාන සති භාවනාව දැන සිටිය යුතුය.

‌මේ සමහර දේ ප්රැක්ටිකල් කළ නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් මහා සංඝ රත්නයේ උපදෙස් පරිදි මේ ප්රැක්ටිකල් විභාගය ප්රැක්ටිකල් විදිහට පවත්වන ක්‍රමයක් සාදාගැනීමට හැකිය.

මල් පූජාවකට පන්සලේ සහබාගී වී නැති දරුවෙකෙුට බුද්ධාගමට ඒ එකක් ලැබි වැඩක් නැත. එසේම සාංඝික දානයක් දීම ද මේ ප්‍රැක්ටිකල්වලට අයත් විය යුතුය. පෙරහැරක නැටුම් කණ්ඩායමක නැටීම, මල් බයිසිකලයක් පැද ගොස් තිබිම බුද්ධාගමට ලකුණු ලැබීමට හේතු විය යුතුය. මා බුද්ධාගමට ඉහළම ලකුණු ලබා ඇත්තේ ඒ කිසිවක් නොකරය. එයින් මට අත්වූ සෙතක් නැත.

සැබවින්ම මේ පාඩම බුද්ධාගම විෂයයට පමණක් අදාළ විය යුතු නැත. අනෙක් සෑම විෂයයක් ගැන ම අදාළ විය යුතුය. වස විස පිරි ටොපි චොකලට් ආදිය නිතරම කන වෙරළු ගෙඩියක් නොකන ළමයෙකුට සෞඛ්‍ය විෂයයට ලකුණු ලබාදී වැඩක් නැත. පැළයක් හිටුවා නැති ළමයෙකුට පරිසරය විෂයයට ලකුණු ලබාදී වැඩක් නැත.

නලින් ද සිල්වා මහතා කියන පරිදි විද්‍යාව පට්ටපල් බොරුවක් බව ද විද්‍යාව උගන්වන ගමන් ම ඉගැන්විය යුතුය. නැතිනම් ළමයා ඉගෙන ගන්නේ බුද්ධාගම පට්ටපල් බොරුවක් බව සිතීමට හා විද්‍යාව ඇදහීමටය. ඇත්තටම අප සම්බන්ධයෙන් ද එය එසේ සිදුවිය. තවමත් මගේ ආගම බුද්ධාගම නොව විද්‍යාවයි.

කෙසේවුවත් විද්‍යාව ආගමක් කරගැනීම නිසා අප අද ආහාර වෙනුවට රසායනික පොහොර හා වෙනත් රසායනික ද්‍රව්‍ය අනුභව කරන්නන් බවට පත්වී සිටිමු. පොතෙන් බුද්ධාගම පාඩම් කිරීම හා බුද්ධාගම පොතට සීමා වීම නිසා අප බොරුකාරයන් බවට පත් වුණෙමු. ඒ නිසා උදැල්ලක් ගෙන පැලයක් නොසිටිවන තැනැත්තාට වුව ද පරිසරය ගැන කතා කිරීමෙන් පමණක් මහා පරිසර වේදියෙක් වීමට හැකිවිය.

අල්ලපු ඩෙස් සිටින ළමයාට හදිසියට පෑනක් පොතක් පැන්සලක් කෑමක් අතමාරුවක් නොදී සමාජවාදය ගැන කතා කිරීමෙන් පමණක් පරාර් ථකාමීන් බවට පත්වීමට අපට හැකිවිය. එවන් සමාජවාදියෝ බොහෝ ය. අපේ පරාර් ථකාමීත්වය අපේ පක්ෂයේ අයට පමණක් සීමාවන අවස්ථා ද තිබේ. එය ජේවීපීයට පමණක් නොව සෑම පක්ෂයකටම හා පාක්ෂිකයෙකුටම ඇති රෝගයකි. එහි ඇති පරාර් ථකාමීත්වයක් නැත. එහි ඇත්තේ සාමාන්‍ය ආත්මාර් ථකාමීත්වය ද ඉක්මවා ගිය ආත්මාර් ථයක් පමණි. මෙසේ සිදුවන්නට හැකි එක් හේතුවක් මෛත්‍රීය බින්දුවක් වත් හිතේ නැතිව වුව ද වන්නේ පාඩම් කිරීමෙන් පමණක් බුද්ධාගමට ලකුණු ගැනීමට හැකි වීම යි. කෙසේවුවත් මෙය බුද්ධාගම විෂයය පිළිබද පමණක් ප්‍රශ්නයක් නොවේ.

පාඩම් කරන ළමයින් අපට අවශ්‍ය නොවේ. අප ඉන් අත්කරගත් දෙයක් නැත. එහෙත් දෙමාපියන් ලෙස අප උත්සාහ කරන්නේ ළමයින් ලවා හැකිතරම් පාඩම් කරවීමටය.

කෙසේවුවත් පාඩම් කිරීම නොවන අධ්‍යාපනයක් අපේ ළමුන්ට ලබාදීමට අපට හැකිවිය යුතුය. එසේ වුවහොත් පමණක් පාර් ලිමේන්තුවට යාම සඳහා බොරුකාරයන් බිහිවීම අපට වැළැක්විය හැකි වනු ඇත. පාර් ලිමේන්තුවේ විභාග පාස් වූවන් අඩුය. පාඩම් කර ඉහළ ලකුණු ගත් අය අඩුය. එහෙත් පරිසරයට කිසිදු ආදරයක් නැති ව පැලයක් හිටවන්නේ නැතිව පරිසරයට ඉහළම ලකුණු ගන්නා ළමයින් ඔවුන් පාසලේ දී දැක ඇත. බුද්ධාගමට සියෙන් සීය ගන්නා ලෝබ කුණුන් ඊරිසියාකාරයන් ඔවුන් පාසලේ දී දැක ඇත. විභාග පාස් නොවුව ද ඔවුන් පාර් ලිමේන්තුවේ දී අනුගමනය කරන්නේ පාසලේ දී ඔවුන් දුටු ඒ් ආදර් ශයයි. රට ගැන කිසිදු ආදරයක් නැති ව රට ගැන කතා කිරීම ඔවුන්ට සුළු දෙයකි. මෙය බුද්ධාගම ගැන කැක්කුමක් නැතිව බුද්ධාගමට ඉහළම ලකුණු ගැනීම වැනි ය. විභාග පාස් නොවූව ද දේශපාලනඥයන්ට අවශ්‍ය අධ්‍යාපනය පාසලෙන් ලැබී ඇත. ඕනෑම විෂයයක් සම්බන්ධයෙන් කම්පාවක් නැතිව බොරු කිරීමේ හැකියාව පාසලෙන් දේශපාලනඥයන්ට ඉහළින් ම ලැබී ඇත. විභාග පාස් නොවූව ද ඔවුන් පාසලෙන් හොඳින් ඉගෙන ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *