Opinion

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරකිනු!

Summary

ලොව කොනැන හෝ තැනක අප රටේ කාන්තාවන් ශ්‍රමය වගුරවමින් මෙරට විදේශ විනිමය තරකරන්නේ වැඩබිමේ, නිවසේ හිංසනයට ලක්වෙමින් බව අප අමතක කළයුතු නැත.

2021 අයවැය යෝජනා මගින් කාන්තාවන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා විශේෂ උත්සාහයන් කිහිපයක් ගනු ලැබීය. නමුත් විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ යෝජනා කිසිසේත් ප්‍රමාණවත් නැත. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහළොවක පමණ පිරිසක් විදේශීය රැකියාවල නිරතව සිටින අතර එම පිරිස සඳහා තමන් 2013 දී කළ යෝජනාව අනුව දායක විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව 2021 අයවැය කතාව ඉදිරිපත් කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම විදේශ රැකියාවල නිරත වන්නන් ශ්‍රී ලංකාවේ බැංකු වලට එවනු ලබන විදේශීය විනිමය මුදල් සඳහා සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයට රුපියල් දෙක බැගින් අමතරව ගෙවීමට ද යෝජනා කරන ලදී. මේකී යෝජනා සම්බන්ධයෙන් අප සතුටුවුවද අපේ රටේ ආර්ථීකයේ විශාල පංගුව සරිකරන විදෙස් ගත ලාංකික ශ්‍රමිකයන් විශේෂයෙන්ම එයින් අතිබහුතර පිරිස කාන්තාවන් වන පසුබිමක ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පෙන්වා තිබෙන අවදානය දුර්වලය.

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් අප රටේ ආර්ථීකයට ලැබෙන දායකත්වය ගැන කතා කරද්දි අපගේ ඍජු විදේශ ආයෝජන මෙන් තුන් ගුණයක ආදායමක් මෙම ශ්‍රමිකයන්ගෙන් ලංකාවේ ආර්ථීකයට හිමිවේ. ඒ පමණක් නොව, අපේ අපනයන ආදායමට සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් අප රටට හිමිවේ. සංචාරක ඉපැයීමේදී අපට ලැබෙන ඩොලර් විදේශ විනිමය වගේ දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මොවුන්ගෙන් රටේ ආර්ථීකයට හිමිවේ. ඒ වගේම රට තුළ ඒක පුද්ගල ආදායමට මාසිකව රුපියල් 700කට 800කට ආසන්න ප්‍රමාණයක් විදෙස් ගත ශ්‍රමිකයන් එකතු කරනු ලැබේ. මෙවැනි විශේෂ පංගුවක් විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් අපේ රටේ ආර්ථීකයට එකතු කරන බව අමතක කළ යුතු නොවේ.

මැදපෙරදිග රටවල් තුළ සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිර යන විට ලාංකික ශ්‍රමිකයන් රැසකට සිය රැකියා අහිමි විය. හදිසියේම රැකියාව සහ නවාතැන අහිමි වුණු ශ්‍රමිකයන්ට සිය ජීවිකාව ඉදිරියට ගෙනයාමට අපහසු වාතාවරණයක් උද්ගතව තිබේ. ආහාර සහ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට එතරම් ඉඩක් නොතිබූ වීදිවල නිදා ගැනීමට සිදුව තිබේ. මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු ස්ත්‍රී ශ්‍රමිකන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තානාපති කාර්යාල වල මැදිහත්වීම ඉතා දුර්වල වන බවට වාර්තා පළවේ.

ජනාධිපතිවරයාගේ දැක්ම මඟින් මෙහෙයවනු ලබන “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ශ්‍රී ලංකාව සංක්‍රමණික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායන් සහ සුභසාධනය සහතික කිරීමට කැපවී සිටීන බව අප අමතක කළ යුතු නැත.

ලාංකික ගෘහස්ථ සංක්‍රමණික සේවිකාවන් වසර ගණනාවක් තිස්සේ තම සේවායෝජකයින් අතින් අතවරයන්ට හා වධ හිංසාවලට ලක්ව මෙරටට පැමිණිමේ දීර්ඝ ඉතිහාසයක් අප සතුව තිබේ. පුහුණු නුපුහුණ ශ්‍රමිකයන්, අඩුවයස් තරුණියන් බොහෝ විට ශෘහසේවය සඳහා මැදපෙරදිග රැකියාවලට පිටත්කර යැවීම ප්‍රසිද්ධව රහසක්ව පවතී. ඉතාම අනාරක්ෂිත තත්ත්වයන් යටතේ වධහිංසාවට ලක්වෙමින් මෙම ශ්‍රමික කාන්තාවන්ට කටයුතු කරන්නට සිදුව ඇති බව අප හොඳින්ම දන්නා සත්‍යයකි. එහෙත් අප මෙම තත්ත්වයන් වෙනස් කිරීම සඳහා පියවර තබා නැතිතරම්ය. නැතහොත් ඒවා ක්‍රියාත්මක වන්නේ ඉතා මන්දගාමීවය. එම නිසාම බලධාරීන්ගේ එම පියවරයන් විසින් විශාල අර්බුදයකට පැහැදිලි පිළිතුරක් සොයා දීමට අසමත්ව තිබේ.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ඔස්සේද විදෙස් ගත ලාංකික ශ්‍රමිකයන් කොවිඞ් සමඟ මුහුණ දී සිටින තත්ත්වය පිළිඹිබු කරමින් පැවති වාතාරණයක 2021 වසර සඳහා අය වැය යෝජනාවලිය ඉදිරිපත්වන්නේ මේකී කිසිදු ගැටලුවක් ආමන්ත්‍රණය නොවී වීම කණගාටුදායකය.

අනෙක් අතින් ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් මෙරට මැතිවරණ නරඹන්නන් බවට පමණක් පත්ව ඇති පසුබිමක මාලදිවයිනේ මැතිවරණය වෙනුවෙන් මෙරට ජීවත්වන මාලදිවයින වැසියන්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට හිල්ටන් හෝටලයේත් මාලදිවයින තානාපති කාර්යාලයේත් ඡන්ද පෙට්ටි තබන්නේ එරට පුරවැසි අයිතීන්ට ගරුකමින්ය.

 එසේම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දිනවල ලොවපුරා විවිධ ක්‍රියාකාරකම් සිදුකරමින් තිබෙන අවස්ථාවකත්, ලොව කොනැන හෝ තැනක අප රටේ කාන්තාවන් ශ්‍රමය වගුරවමින් මෙරට විදේශ විනිමය තරකරන්නේ වැඩබිමේ, නිවසේ හිංසනයට ලක්වෙමින් බව අප අමතක කළයුතු නැත. කොරොනා වසංගතය විසින් ඔවුන් වෙත කර ඇති බලපෑම ඊට නොදෙවෙනිය. එවැනි පසුබිමක මැදපෙරදිග සේවයේ නියුතු කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පැහැදිලි සහ ස්ථිර වැඩපිළිවෙළක දැඩි අවශ්‍යතාවක්ද ඇති බව මම අවධාරණය කරන්නට කැමත්තෙමි.

Leave a Reply

Your email address will not be published.