COLUMN

විධායකයේ මෙහෙයවීම – 12 වැනි කොටස

Summary

ජනාධිපතිවරයා සහ ඔහුගේ මූලිකත්වයෙන් පත් කරනු ලබන “ජාතික විධායක සභාව” විශේෂිත ආයතන දෙකක එකතුවක් ලෙසින් සැකසෙයි. විෂයානුබද්ධ කටයුතු භාර “අමාත්‍ය මණ්ඩලය” සහ භූමිය පදනම් කරගෙන පත් කරනු ලබන “දිසානායක මණ්ඩලය” එම ආයතන දෙකයි.

බෞද්ධ ජනරජ ප්‍රවාදය – 12 වැනි කොටස

දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විධායකය සහ ව්‍යවස්ථාදායකය පැහැදිළිව වෙන් කෙරී නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් තෝරා පත්කර ගැනීම නිසා මෙම ගැටලුව පැන නැගී තිබේ. මෙම හේතුව කරණ කොට ගෙන බරපතල ව්‍යාකූල තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබේ. විධායක හැකියාවක් ඇති නමුත් ව්‍යවස්ථා සම්පාදක හැකියාවක් නොමැති අය පාර්ලිමේන්තුවට පත්වීම නිසා මෙය සිදුවෙයි. මෙම ගැටලුව නිරාකරණය කර විධායකය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකින් පැහැදිළිව වෙන් කෙරෙන වැඩපිළිවෙළක් මෙම ප්‍රවාදයෙන් යෝජනා කෙරෙයි.

ඕනෑම රටක රාජ්‍ය පාලනයේ මූලික ම වගකීම පැවරෙනුයේ විධායකයට ය. පවත්නා නීතිවලට අනුකූල පරිදි ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම ඒ වෙනුවෙන් පත් කරගන්නා විධායකට විසින් සිදු කළ යුතු වේ. ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආයතන තුනක් හරහා (එනම් ජනරජයේ ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවය යන ආයතන තුන හරහා) විධායකය ක්‍රියාත්මක වෙයි. ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ඔහු වෙත පවරනු ලබන “ජනතාවගේ විධායක බලය” ඔහු විසින් සෘජුවම ද අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවය වෙත අභිනියෝජනය කිරීමෙන් ද ක්‍රියාත්මක කළ යුතු වෙයි.

රාජ්‍යය එක්සේසත් කරන විධායක ජනාධිපතිවරයකු සිටිය යුතු බව මෙම බෞද්ධ ජනරජ ප්‍රවාදයෙන් ද නිර්දේශ කෙරෙයි. එ මෙන් ම, ඒ වෙනුවෙන් ම පවත්වනු ලබන නිලවරණයක දී මුළු රටේ ම ජනතාව විසින් එම විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුතු බව ද මෙයින් අවධාරණය කෙරෙයි.

විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නිලවරණය පවත්වනු ලබන අවස්ථාවේ දී ම කෝරළ සභාවල සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ අවස්ථාව ද ජනතාවට හිමිවෙයි. කෝරළ සභාවක සභාපතිවරයා යනු කෝරළ පාලනයේ මෙහෙයවීම භාර ජනතා නියෝජිතයා ය. මෙ ලෙසින් කෝරළයේ ප්‍රධාන විධායක තනතුර හොබවන අතර ම එම නියෝජිතයා හට “රාජ්‍ය මන්ත්‍රණ සභාව” නියෝජනය කිරීමේ අවස්ථාව ද හිමිවෙයි.

යෝජිත “රාජ්‍ය මන්ත්‍රණ සභාව” යනු “ජාතික ව්‍යවස්ථාදායක සභාව” නොවේ. (මෙම ප්‍රවාදයෙන් නිර්දේශිත “ජාතික ව්‍යවස්ථාදායක සභාව” පිළිබඳ කරුණු ඉදිරි ලිපියකින් ඉදිරිපත් කෙරෙයි). මෙම ආයතනය (“රාජ්‍ය මන්ත්‍රණ සභාව”) ව්‍යවස්ථා සම්පාදන බලයක් රහිතව ස්ථාපනය කරන්නකි. රාජ්‍ය පාලනය සඳහා විධායකයට සහය වන අතර ම විධායකයේ අඩුපාඩු පෙන්වාදීම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වගකීම වෙයි. ආණ්ඩුවේ වාර්ෂික අයවැය සම්මත කරදීම, දෝෂාභියෝග සහ විශ්වාසභංග යෝජනා ගෙන ඒම වැනි කටයුතු රාජ්‍ය මන්ත්‍රණ සභාවට සිදු කළ හැකිය.

ජනාධිපතිවරයා සහ ඔහුගේ මූලිකත්වයෙන් පත් කරනු ලබන “ජාතික විධායක සභාව” විශේෂිත ආයතන දෙකක එකතුවක් ලෙසින් සැකසෙයි. විෂයානුබද්ධ කටයුතු භාර “අමාත්‍ය මණ්ඩලය” සහ භූමිය පදනම් කරගෙන පත් කරනු ලබන “දිසානායක මණ්ඩලය” එම ආයතන දෙකයි.

විෂයානුබද්ධ කටයුතු භාර අමාත්‍යවරුන් තෝරා පත්කළ යුත්තේ සෑම අමාත්‍යංශයක ම පාලනය භාරව එයට අනුබද්ධ ආයතනවලින් සහ වෘත්තීය ධාරාවලින් තෝරා පත්කර ගන්නා වූ නි‍යෝජිතයන්ගෙන් ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන්නා වූ නියෝජිතයන්ගෙන් ද සමන්විත වන්නා වූ විෂයානුබද්ධ පාලක සභාවලිනි. බලයට පත් වූ පසු තමන් විසින් අමාත්‍යංශ පාලක සභාවලට පත්කරනු ලබන නියෝජිතයන් නම් කිරීමේ පූර්ව අවශ්‍යතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් විසින් සපුරාලිය යුතු වේ. ඒ අනුව විෂයානුබද්ධ දැනුමක් ඇති හෝ එවැනි දැනුමක් ඇති අයගේ අනුමැතියට ලක්වන අය විෂයානුබද්ධ අමාත්‍ය ධූර සඳහා පත්කිරීමේ අවශ්‍යතාව මෙ මඟින් සපිරෙයි.

“ජාතික විධායක සභාව” පත්කිරීමේ දී විෂයානුබද්ධ පදනමට අමතරව භෞමික නි‍යෝජනය ද සළකා බැලිය යුතු වෙයි. ඒ ඒ දිස්ත්‍රික්කයේ කෝරළ සභාවලට ජනතාව විසින් තෝරා පත්කරනු ලබන සභාපතිවරුන් අතරින් එම අවශ්‍යතාව තහවුරු කෙරෙන “දිසානායක මණ්ඩලය” සඳහා නියෝජිතයන් පත් කළ හැකිය. දිස්ත්‍රික්ක නියෝජනය සඳහා එක් අයකු බැගින් තෝරා පත්කිරීමේ අභිමතානුසාරි බලය විධායක ජනාධිපතිවරයා සතු වේ.

ඒ අනුව ගම් මට්ටමේ විධායක බලය “ගම් සභාව” විසින් ද ජාතික මට්ටමේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන විධායක ජනාධිපතිරයා සහ ඔහුගේ මූලිකත්වයෙන් පත්කරනු ලබන “ජාතික විධායක සභාව” විසින් ද ක්‍රියාත්මක කරනු ලැබේ. තව ද පෙර ලිපියකින් පැහැදිළි කළ ආකාරයට ස්වාධීන (එනම්, නිර්පාක්‍ෂික) පදනමින් ගම් සභාව ද බහුපක්‍ෂ ක්‍රමය අනුව කෝරළ සභාවල සභාපතිවරුන් සහ විධායක ජනාධිපතිරයා ද පත් කෙරෙයි.

නිර්පාක්‍ෂික සහ බහුපාක්‍ෂික නියෝජනය තුලනාත්මක අයුරින් වැඩට ගත හැකි ක්‍රමවේදයක් මේ තුළින් නිර්මාණය වෙයි. ඒ අනුව, එක් අන්තයකට යොමු නොවී ක්‍රම දෙකෙහි ම යහපත් ඵල භුක්ති විඳීමේ අවස්ථාව ජනතාවට හිමිවන අතර ඒවා අන්‍යොන්‍යව පාලනය කිරීමට ද මෙකී මැදුම් පිළිවෙත උපකාරි වනු ඇත.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *