Opinion

වියැකී යන සිංහරාජය

Summary

මේ කුඩා දූපතේ ජලචක්‍රය, දේශගුණික සමතුලිතතාව රඳා පවතින්නේ ඉතිරිව පවතින කඳුකර වනාන්තර සහ පහතරට තෙත් කලාපීය වන වැස්ම මූලීක කරගෙන බව තරයේ වටහාගන්න.

රාජපක්ෂ පාලනය දන්නවා පහුගිය අවස්ථාවේ තමුන්ට පරාජයක් අත්කරගන්න වුන සිද්ධි අතරේ පාරිසරික විනාශයන් සහ ඒ ඔස්සේ ගොඩනැගුන අර්බුධ විශාල දායකත්වයක් සැපයුව බව. ඒ ගැටලු වලින් ඇතැම් ඒවා පක්ෂ දේශපාලනය විසින් ගිලගනිද්දි අති බහුතරය සත්‍ය වශයෙන්ම විශාල පාරිසරික ගැටලු ඇතිකිරීමට සමත් ඉතාමත් නින්දිත ආකාරයේ පාරිසරික අපරාධ. ඇතින්නියන් මරා දමා අලි පැටවුන් ගෙන ඒමේ මාෆියාවේ ඉඳන් ජාතික වනෝද්‍යාන තුල මාර්ග ඉදිකිරීම, අදූරදර්ශි අසාර්ථක ව්‍යපෘති ඇතිකිරීම කිහිපයක් පමණයි.

මේ සැරේ බලයට පත්වෙද්දි පහුගිය වැරදි හදාගෙන එනව වෙනුවට මොවුන් ක්‍රියාත්මක කරන්නෙ ඉතාමත් සූක්ෂම ලෙස මේවාට නැගෙන විරෝධතා දියාරු කිරීමේ උපක්‍රමයක්. පාරිසරික ගැටලු ගැන කතා කරන ඕනම පුද්ගලයෙකුව ‘පරිසරවේදියෙකු’ ලෙස ලෙබල් කිරීමෙන් පසු අවඥාවට ලක්කිරීමේ මේ උපක්‍රමය මෙවර ඉතාමත් සැලසුම්සහගතව ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා මාධ්‍ය භාවිතයේ ඉඳන් සමාජ මාධ්‍යජාල තුල දියත් කරන ප්‍රහාර පවා සැලසුම්සහගතව සිදුකරන ක්‍රියාවන්. මේ නිසා මේවා ගැන අවධානයෙන් පසුවන සබුද්ධික ජනයා වටහාගත යුතු කාරණා කිහිපයක් මේ.

1. තමන් කරුණු ඉදිරිපත් කිරීමේදි ඉතාමත් ප්‍රවේසමෙන්, වගකීමෙන්,කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරිපත් කලයුතුයි. ඒ වගකීමෙන් මිදෙන්න කාටවත් බැහැ.

2. පරිසරවේදින් පරිසරය පිළිබඳව කටයුතු කල යුතුයි, අදහස් දැක්විය යුතුයි කියන්නෙම සමාජගත වෙලා තියෙන මිථ්‍යාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV පරිඡ්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යටතේ 28 (ඊ) යටතේ ‘ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැකගැනීම’ ශ්‍රි ලංකාවාසී සෑම තැනැත්තෙකුගෙම යුතුකමක් ලෙස සඳහන් වෙනවා. එනයින් පරිසර විනාශයක් සිදුවන විට ඊට විරුද්ධව කටයුතු කිරිම, විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සියළු දෙනාගේම යුතුකමක් බවත් කවුරුන් එලෙස විනාශයන් සිදුකලත් ඒවාට විරුද්ධව ඔබට හඬනැගිය හැකි බවත් ඔබ වටහාගත යුතුයි. ඒ යුතුකම ඔබට පවරන්නේ ඔබේ පක්ෂය, ඔබේ නායකත්වය, ඔබේ අධ්‍යාපනය හෝ තරාතිරම නොව ඒ ඔබ විසින් ඔබ මත ඔබේ රටේ ව්‍යවස්ථාව තුලින් පනවාගත් යුතුකමක් බව තරයේ වටහාගත යුතුයි.

3. පරිසරවේදයට විරුද්ධව වර්තමානයේදි ගොඩනගමින් යන මතය ඔස්සේ මේ පාර කපා ගන්නෙ ඔබ අද දකින විනාශයන්ට වඩා මහා පරිමාණ විනාශයන් සිදුකිරීමට බව මතක තබාගන්න. 05/2001 ගැසට් පත්‍රය අහෝසි කිරීමටත් ඒ බලතල නැවත ප්‍රකාශ කිරීම ඔස්සේත් සිදුවීමට නියමිත විනාශයන් ඔබ අද දකින විනාශයන්ට වඩා මහා පරිමාණ විනාශයන් බව මතක තබාගන්න. 05/2001 පිළිබඳව ඔබට වැටහීමක් නොමැතිනම් ඒ ගැන කියවා හැදැරීමක් සිදුකරන්න.

4. සංවර්ධනය සහ පරිසරය දෙකම රැකගත හැකි විධි සහ උපක්‍රම ලෝකයේ රටවල් බොහෝමයකින් දැක බලාගැනීමට හැකියාව තිබේ. දූපතෙන් එහා ලෝකය තුල සංවර්ධිත රටවල් සිය වන වැස්ම මේ කුඩා දූපතට වඩා පස් හය ගුණයකින් පවත්වා ගැනීම සිදුකරන්නේ ඒවා පිළිබඳව පවතින යාවත්කාලීන ක්‍රම සහ විධි උපයෝගි කරගනිමිනි. ස්මාට් නායකයන් බිහිවන්නේ එවැනි මූලධර්ම භාවිතයෙන් මිසැක ඒවාට පටහැනිව ක්‍රියාත්මක වීමෙන් නොවන බව වටහා ගන්න. ඒ උදාහරණ ගැන සොයා බලා කියවා දැනුවත් වන්න.

5. මේ කුඩා දූපතේ ජලචක්‍රය,දේශගුණික සමතුලිතතාව රඳා පවතින්නේ ඉතිරිව පවතින කඳුකර වනාන්තර සහ පහතරට තෙත් කලාපීය වන වැස්ම මූලීක කරගෙන බව තරයේ වටහාගන්න. ඔබ පානය කරනා, ස්නානය කරනා ජල බිඳුවක් පාසා නිර්මාණය වන්නේ පෙරැකී වනාන්තරවල රඳාපැවැත්ම මත බවත්, අද ඔබට නිදහසේ නාස්ති කල හැකි තරම් ප්‍රමාණයක මේ සම්පත පවතින්නෙ එකී වනාන්තර නිසා බවත්, අන් රටවල් බොහෝමයකට මේ සුඛෝපභෝගී භාණ්ඩය නොමැති බවත් වටහා ගන්න. ඒවා විනාශ වෙන අඟලක පාසා ගෙවන සෑම තත්පරයකදීම ඒවායෙන් සපයන සේවා අඩාල වන බව මතක තබාගන්න.

තාමත් වීදියට එළඹ ඇත්තේ කසකරුවන් පමණී.. පෙරැහැර තව බොහෝ දිගුය.

Leave a Reply

Your email address will not be published.