Opinion

විශ්වීය “මිනිසෙක්” වෙන්න…

Summary

දැං ඒ අසරණ ගමේ මිනිහට මෝඩය කියල තලන එකද කරන්න ඕන…
රාජපක්ෂලට ජන්දෙ දෙන බයියො කියල ගහන්නද ඕන….
උං වඳින පුදන පන්සලට ගරහන එකද කරන්න ඕන…?

සහකම්පනය නැති කර ගන්න එපා…

සමහර මගෙ මිත්‍රයො අහනව උඹ පැණි බොන එවුන්ට ගහන් නැත්තෙ ඇයි කියල. උන් මෝඩයිලු… පසුගාමියිලු….

සමහර එවුන් අහනව ඇයි උඹ කුඩ්ඩොන්ගෙ අම්මල වෙනුවෙන් ලියන්නෙ කියල…ඒක අපරාධවලට උඩගෙඩි දීමක්ලු….

ආදරණීය මිත්‍රවරුනි,
අපි ලංකාවෙ…මම බෞද්ධ…කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව ගැන අපි ඉගෙනගන්නෙ පොඩිකාලෙ ඉඳන්…ඒව බෞද්ධ වුනාට විශ්වීය සංකල්ප…අනික් මිනිහගෙ දුක දැනෙන්න ඕනෑ…ඒ මිනිහට අනුකම්පා කරන්න ඕනෑ…තව එකෙක්ගෙ දියුණුව දැකල සතුටු වෙන්න ඕනෑ…දුකෙත් සැපෙත් ඕනවට වඩා උඩ පනින්නවත් වැලපෙන්නවත් ඕන නෑ කියන දේවල් මට ඉගැන්නුවෙ මගෙ අම්මා…ඊට පස්සෙ පන්සලේ හාමුදුරුවෝ….

හරි, ඒව බෞද්ධ සංකල්ප කියමුකො. ඒ හින්දම පිළිගන්න බෑ සමහරුන්ට…හැම එකටම එවිඩන්ස් එහෙම නැත්තං සාක්ෂි ඉල්ලන මගෙ සමහර මිත්‍රයො ඉන්නව මෙිව දිරවන්නෙ නෑ…සංස්කෘතිය කියපු ගමන් ඇඟේ කහඹිලිය ගෑවුණ වගෙ නලියනව…ඒ අයට බෞද්ධ සංකල්ප කිව්වම අවුල් යනව…ඒවට ගරහනව…

හැබැයි අපි උපේක්ෂාවෙන් ඉන්නව…ඒක වෙනනැති අපේ බෞද්ධකම….

ඒක පැත්තකික් තියමු. වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න ගියාම අපට කියල දෙනව Empathy කියන සංකල්පය ගැන…හොඳ වෛද්‍යවරුන් තුල මේ ගුණය තියෙනව කියල අපට උගන්නනව…හැබැයි මේකෙ තේරුම මට තේරුණේ නෑ සෑහෙන කාලයක් යනකල්…ඇත්තටම ලංකාවෙ Empathy තියන මිනිස්සු මං වැඩිය දැක්කෙත් නෑ…ඒ හින්ද Empathy තේරුණෙත් නෑ…

මම එංගලන්තයේ විදෙස් පුහුණුව ලබද්දි දැක්ක එහෙ විශේෂඥ වෛද්‍යවරු රෝගීන් කියන දේවල් විනාඩි පහළොව විස්ස අහගෙන ඉන්නව…ඉංග්‍රීසි අකුරක් බැරි ලෙඩ්ඩු එනව…එක එක රටවල්වල ගිහිල්ල දොස්තර වංචාකාරයන්ට අහුවෙච්ච ලෙඩ්ඩු එනව…බීපු සුදු මිනිස්සු එනව…කලු මිනිස්සු එනව…හිපි මිනිස්සු එනව…බංගලියො එනව…ඒ හැමෝටම ඇහුම්කන් දෙනව…සමහර ඒව අන්තිම අසාධාරණ ඉල්ලීම්…ඒවත් අහගෙන ඉන්නව…එක දවසක් ඩොක්⁣ට ශඩාඩ් කියන මං දැකපු විශිෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයට එක මිනිහෙක් විනාඩි විස්සක් එක දිගට බැන්න…මං දැකපු කරුණාවන්තම වෛද්‍යවරියක් වෙච්ච ඩොක්ට ලෝචනාටත් ඒ වගේම බනිනව මං දුටුව…හැබැයි මේ කවුරුත් අනිත් පැත්තට ලෙඩ්ඩුන්ට බැන්නෙ නෑ…මං මේ දෙන්නගෙන්ම හිමීට මේ දේ ගැන ඇහුව…

“Lakmal, we are professionals…We have to put ourselves to patient’s shoes and listen to them…That is empathy”

මම Empathy එහෙම නැතිනම් සහකම්පනය තේරුම් ගත්තෙ එහෙමයි. ඔවුන් එය වෘත්තීය ඇතුළෙ ප්‍රගුණ කරපු දෙයක්…වෘත්තීයෙ ඉහළ යන්න යන්න සහකම්පනය වැඩිපුර මං දැක්ක…සමහර විට පහළ මට්ටමේ සේවකයන් තුළ නැති වුනත් විශේෂඥ වෛද්‍යවරුන් තුල මා මෙය දැක්ක…සමහරෙක් මෙය රඟපෑමක් කියා කියන්නට පුලුවන්…නමුත් වෘත්තීය ඇතුළෙ ඔවුන් ඒ දේ කරනව…ඒක පේනව…ඒ දේ හරිම වැදගත්….

අපේ රටේ හැම ක්ෂේත්‍රයේම සහකම්පනය තියන මිනිස්සු අඩුයි…දැනුමෙන් බලයෙන් තනතුරුවලින් ඉහළට ගියාම උඩඟුකමක් ඔලුවට එනව…තමන් දන්නා දෙය පමණක් සත්‍යය යැයි සිතන්නට පෙලඹෙනව…මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නෙ නෑ…ප්‍රශ්න අහන්න බෑ…එතකොට සාමාන්‍ය මිනිහාගේ දුක දැනෙන්නෙ නෑ…ලෝකය තමන්ගෙ වටේ කැරකෙනව කියල හිතන්ට පෙළඹෙනව.

ඉතින් මොන සහකම්පනයක්ද?

මං පැණි බොන මිනිස්සු දිහා බලන්නෙ මෙහෙම…

මේ ලංකාවෙ ගම්වල මිනිස්සු…ඒ ගම්වල ශිෂ්‍යත්වය පාස්වෙන එකා කොළඹ යනව. බැරි නම් ඕලෙවල් වලින් කොළඹ ඉස්කෝලෙ යනව…ඊළඟට ඉගෙන ගත්ත එකා විශ්ව විද්‍යාලයට යනව…ඉතිරි වෙන එකා අන්තිමට රස්සාවට හරි කොළඹ යනව…ඔය කොටසෙන් හොඳ හරියක් රටෙන්ම යනව.ඒකට කියන්නෙ මයිග්‍රේට් කරනව කියල…ගමේ ඉතුරු වෙන්නෙ කවුද? මොකුත්ම කරගන්න බැරි වෙච්ච අයයි හිටපු මන්තිරියගෙ පුතයි..ඌ තාත්තගෙන් පස්සෙ මන්තිරි වෙනව…ගමේ ඉතිරි වෙච්ච එකාට විද්‍යාව කියල දෙන්නෙ කවුද? නවීන ලෝකය කියල දෙන්නෙ කවුද? ඒක කරන්න ඕන එවුන් ගමේ නෑ…රටෙත් නෑ…ඉන්න එකා මාන්නයෙන් මත්වෙලා…ඉගෙන ගත්තෙ නැති මන්තිරියගෙ පුතා දන්න විද්‍යාවක් නෑ…ඌ කවදාවත් ගම හදන්නෙත් නෑ. ගමට එන නිලධාරින්ට ගම හදන්න වෙලායක් නෑ…ඒ අය ඒ අයගෙ ප්‍රශ්න විසඳගන්න ඕන. නැත්නම් අපේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරින් ගාණ බලපුවම රට සුරපුරයක් වෙන්න ඕන…

ආදරණීය මිත්‍රවරුනි,

ඔන්න ඕක තමයි කාලකණ්ණි ඇත්ත.

දැං ඒ අසරණ ගමේ මිනිහට මෝඩය කියල තලන එකද කරන්න ඕන…
රාජපක්ෂලට ජන්දෙ දෙන බයියො කියල ගහන්නද ඕන….
උං වඳින පුදන පන්සලට ගරහන එකද කරන්න ඕන…
නෑ මිත්‍රවරුනි, ඔය ප්‍රවේශය වැරදියි.

පළවෙනි දේ සහකම්පනය ඇති කරගන්න ඕන…ඒ මිනිස්සු ජීවත් වෙන පරිසරය තේරුම් ගන්න ඕන. සිතුම් පැතුම් තේරුම් ගන්න ඕන…ඒව⁣ට ගැරහීමෙන් ඔබ සාමාන්‍ය මිනිහාගෙන් දුරස් වෙනව…උන්ට ඇහුම්කන් දෙන්න ඕන…පුහු මාන්නය පැත්තක තියන්න ඕන. ඔබ ඔවුනට විද්‍යාව කියාදිය යුත්තේ සෙනෙහසින්…එවිට පමණයි මේ දේශපාලනයෙන් ඔවුන් ගලවා ගත හැක්කේ…
මතක තියා ගන්න, ඔබ අද නුවර ඉන්න පුලුවන්…කොළඹ ඉන්න පුලුවන්…ඔස්ට්‍රේලියාවෙ ඉන්න පුලුවන්…ලන්ඩන් වෙන්න පුලුවන්…ඒත් ඔබ හෝ ඔබේ දෙමව්පියන් කවදා හෝ මේ රටේ ගමක ජීවත් වූ මිනිස්සු බව අමතක කරන්න එපා…සහකම්පනය කියන විශ්වීය ගුණය නැතිකරගන්න එපා. ඒක කැතයි.

ඔබ විශ්වීය “මිනිසෙක්” වන්නේ සහකම්පනය තිබ්බොත් විතරයි…

One thought on “විශ්වීය “මිනිසෙක්” වෙන්න…
  1. ගමේ මිනිහට ගැරහීම, අවලාද නැගීමට එරෙහි වීම හරහා මෙහි කතු තුමා කර ඇත්තේ ද ගම පහලට දැමීමයි. එසේත් නැත්නම්, “ටෝය්යන්” වශයෙන් මහන්තත්වයක් ආරුඩ කරගෙන “එඩියුකෙටඩ්” ලේබලය තමාගේම කරේ අලවා ස්වයන් වින්දනයේ යෙදෙන පිරිස ගෙන් “අනේ ගම පිලිබඳ සානුකම්පිතව බලපල්ලා” යන ඉල්ලීම සිදු කිරීමයි. එය නිවැරදි කියවීමක් නොවේ. 5 ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසල්ම සොයා එන දරුවන් සිටියේ මීට දශක කීපයකට එහා ය. අද එය එලෙසම සිදු නොවේ. උදාහරණ වශයෙන් කිවහොත්, ශිෂ්‍යත්වය හෝ සාපෙළ සමත් කුරුණෑගල අවට දරුවෙක් මලියදෙවයට යනවා විනා, රෝයල්, ආනන්ද හෝ විසාඛ විදුහලට ඒමක් සිදු නොවේ. මාතර දරුවන් රාහුල, සුජාතාවටත්, ගාල්ලේ දරුවන් රිච්මන්ඩ්, මහින්ද යාමත් සිදු වන්නේ එ අයුරින් ම ය. රටේ අනෙක් පළාත්වලත් තත්වය එයයි. “මය්ග්රටේ” සිහිනයේ ජීවත් වන යව්වනයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටියත්, ගමට ඉතුරු වන්නේ ගොබ්බයන් යයි අනුමාන කිරීම පරණ වට්ටෝරුවේ කතාවකි. දේශීය දැනුමට “මිත්‍යාව” යයි ගැරහීම විලාසිතාවක් වුවත්, එසේ කරන කොයි එකාත් හොරෙන් හොරෙන් “කතරගම” යාම, විශ්ව විද්‍යාල අවසන් විබගයට කලින් දා බෝධි පූජා පවත්වීම ආදී “නවීන විද්‍යාත්මකව ප්රූව් නොකරන ලද” ක්‍රියාවල යෙදීම බහුලව දක්නට හැකිය. අවශ්‍ය නම් කෙනෙකුට දොස්තර විභාගයේ අවසන් දිනට පෙර දින ගැටඹේ විහාරයට ගියා නම් ටක්කෙට දැක බලා ගත හැකි ය. ගමේ මිනිහාගේ විඥනයට එහා ගිය අමුතු දැනුමක්, විශේෂයක් නගරයේ ඇත්තන්ට නැත. එසේත් නැත්නම්, “බය්යන්ට” වඩා අමුතු අමුත්තක් ටෝය්යන්ගේ නැති බව, මෙම ලිපියේ කතු තුමාට, ටිකක් අවුට් ඔෆ් ද බොක්ස් හිතුවොත් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published.