COLUMN

විසඳුම් තියෙන්නේ බිම

Summary

අපේ රට මූණදීලා තියෙන ආර්ථික ප්‍රශ්නයට තියෙන්නේ එක හේතුවක් හරි එක විසඳුමක් හරි නෙවෙයි. දේශපාලනඥයන්ට “හොරා, හොරා” කියලා බැන්නාට, දැන් බලයේ ඉන්න කණ්ඩායම එළවලා තව කණ්ඩායමක් පත් කරගත්තට ඒ පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.

අපේ රට මූණදීලා තියෙන ආර්ථික ප්‍රශ්නයට තියෙන්නේ එක හේතුවක් හරි එක විසඳුමක් හරි නෙවෙයි. දේශපාලනඥයන්ට “හොරා, හොරා” කියලා බැන්නාට, දැන් බලයේ ඉන්න කණ්ඩායම එළවලා තව කණ්ඩායමක් පත් කරගත්තට ඒ පමණින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.
දේශපාලනඥයෝ සෑහෙන පිරිසක් හොරා කන බව පොඩි ළමයි පවා දන්නවා. දේශපාලනඥයෝ මේ විදිහට හොරාකන්නේ ඇයි? තණ්හාව, බඩජාරිකම හින්දා කියලා කියන්න පුළුවන්. එහෙම ලෙඩ නැත්තේ කීයෙන් කී දෙනාට ද?
අපි හිතන්න ඕන හොරාකන්න ලැබිලා තියෙන ඉඩ වහන ක්‍රමයක් ගැන. හැම වැඩේම ආණ්ඩුවට පැවරුවාම ඒ හරහා ගානක් කොටාගන්න දේශපාලනඥයන්ට පුළුවන්.
අපි අපිට කරන්න පුළුවන් වැඩ දේශපාලනඥයන්ට පවරන්නේ ඇයි? අපේ ගෙදරට බඩු ගේන වැඩෙත් දේශපාලනඥයන්ට පැවැරුවොත් උන් ඒකෙනුත් ගානක් කොටාගනියි. අපිට අද අවශ්‍ය දේ අද ලැබෙන එකකුත් නෑ. ඉල්ලපු දේ වෙනුවට වෙන දෙයක් ගෙනැල්ලා දෙන්නත් ඉඩ තියෙනවා.
මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය අපෙන් හුඟක් ඈත තියෙන එකක්. ඒක හරියට අම්බිලි මාමා වගේ. හරි ලස්සනයි. ඒත් අපි කොච්චර ඉල්ලුවත් මේ ක්‍රමයෙන් අපිට කිරි ලැබෙන්නෙත් නෑ පැණි ලැබෙන්නෙත් නෑ.
ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕන බිම. අපි ළඟ. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවලින් සහ ඇතිවෙන අවශ්‍යතාවලින් මහ විශාල ප්‍රමාණයක් බිම් මට්ටමේ දී විසඳගන්න පුළුවන් ඒවා. ඉතින් ඒ සඳහා ක්‍රමයක් ඕන.
ගම්වල මිනිස්සුන්ට කෙසෙල් කැනක් කැපුවාම විකුණගන්න බෑ. මේ විදිහේ ප්‍රශ්න මහ ගොඩක් තියෙනවා. ගම්වල මිනිස්සු මෙහෙම ප්‍රශ්නවලින් පීඩා විඳිද්දි නගරවල අය තමන්ට අවශ්‍ය දේවල් නැතුව දුක්විඳිනවා.
ඉතින් සම්පත් කළමනාකරණය බිම් මට්ටමින් කරන්න ඕන. ගම් සභාව කියන්නේ ඒ සඳහා හොඳ විසඳුමක්. “බෞද්ධ ජනරජ ප්‍රවාදය” තුළින් මේ ක්‍රමය විස්තරාත්මක විදිහට පැහැදිළි කරලා තියෙනවා.
මෙහෙම වැඩක් කරපු පමණින් ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒක ඇත්ත. ඒත් හිඟාකාලා මේක විසඳන්නත් බෑ. මේ වෙනුවෙන් කරන්න ඕන එක වැඩක් තමයි නිෂ්පාදනය වැඩිකිරීම සහ ඒවා සඳහා වෙළෙඳපොළ නිර්මාණය කිරීම.
ඉතින් ගම් සභාව කියන්නේ මේ සඳහා යොදාගන්න පුළුවන් කාර්යක්ෂම එක ක්‍රමයක්. අදාළ නියෝජිතයෝ ඉන්නේ අපි අතරමයි. අපේ ඡන්දය ඇරන් අතුරුදහන් වෙන්න උන්ට බෑ.
මේ වැඩේ වෙනුවෙන් ආණ්ඩුව වියදම්කරන්න ඕන නෑ. මේක මිනිස්සු එකතුවෙලා හදාගන්න සහ පවත්වාගෙන යන ක්‍රමයක්.
මුලින් කිව්වා වගේ මෙහෙම එක විසඳුමකින් විතරක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. එහෙම කියලා කරන්න පුළුවන් සුළු දෙයක් හරි නොකර ඉන්න ඕනත් නෑ. මෙහෙම දෙයක් නීතිගත කරන එක අමාරු වැඩකුත් නෙවෙයි.
ඒත් මෙහෙම දෙයක් කරන්න දේශපාලනඥයෝ කැමැතිවෙන්නෙත් නෑ. ඒ, උන්ගේ බලය අඩුවෙන හින්දා. අපේ සමහර මිනිස්සු වුනත් හිතන්නේ රට විසඳුම් ගැන. ඒ අය ආසා සහ වඳින්නේ පුදන්නේ දුර තියෙන ඒවාට.
හැබැයි ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕන තමන් ළඟ. බිම!

Leave a Reply

Your email address will not be published.