Opinion

විස්සේ පාඩම

Summary

සාධනීය යෝජනා කීපයක් ඉදිරිපත් කරලා ඒක කරගන්න බැරි වුනත් මේ විදිහෙ අලාභයක් වෙන්නේ නෑ. ඒත් විකල්පයක් ඉදිරිපත් නොකර හුදු විරෝධය දැක්වීමේ මානසිකත්වය විසින් ඒ අවස්ථාව මේ අය නැති කර ගත්තා.

  • Save

විස්ස සම්මත වුනා. ඒ සංශෝධනයේ යම් යම් කාරණාවලට විරුද්ධ වෙච්ච අයත් ඒකට පක්‍ෂව ඡන්දය දුන්නා. මහා සද්දෙට විරුද්ධ වෙලා අන්තිමේ දී පක්‍ෂව ඡන්දය දෙන්න සිද්ද වීම දේශපාලනික පරාජයක්. මුල ඉඳලා ම විරුද්ධ වෙලා විරුද්ධව ඡන්දය දුන්නා කියලා ලබන්න පුළුවන් ජයග්‍රහණයකුත් නෑ. මේ කියන්නේ මුල ඉඳලා ම මේකට පක්‍ෂව වැඩ කරපු අය නිවැරැදියි කියන එක නම් නෙවෙයි.

නිශ්චිත සහ ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් නැතුව යමකට විරුද්ධවීමේ කලාව අපේ රටට ආනයනය කළේ වාමාංශික පක්‍ෂවල අය කියලා තමයි මගේ අදහස. මහා ජවයකින් මේ කලාව ඉස්සරහට ගෙනියන්න කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් මේ විදිහට විරුද්ධවීමේ කලාව සෑහෙන දුරකට ජනගත කරන්න ඒ අයට පුළුවන් වෙලා තියෙනවා.

මේ වෙද්දි හුදු විරෝධය දැක්වීමේ ඒ රෝගය ගොඩක් අයට බෝ වෙලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණේ අයට ඒකෙන් ගැලවෙන්න කොහොමත් බෑ. ඒ අයත් එක්ක ඉඳලා වෙනත් පාරවල්වල ගිය අයටත් ඒ බලපෑම තියෙනවා. ඊට අමතරව, මේ බලපෑමත් එක්ක තරුණ කාලය ගත කරපු, ඒ වගේ ම ඒ ක්‍රමයේ රස්නය වැදිච්ච අයටත් අයත් මෙහෙම වැඩ කරනවා. විකල්ප වැඩපිළිවෙළක් කියන්නේ නැතුව විස්සට පළ කරපු විරෝධයත් එහෙම එකක්.

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තියෙනවා. පොලු පාරවල් දුන්නා කියලා මේ බලය කෙටි කාලයක දී නැති වෙන්නේ නෑ. දැන් තියෙන ආර්ථික බිඳ වැටීමත් එක්ක නම් යම් බලපෑමක් වෙන්න ඉඩක් තියෙනවා. ඒත් තවමත් එහෙම තත්ත්වයක් ඇතිවෙලා නෑ.

19 අයින් කරන්න ඕන කියලා හඬක් නගපු ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ සමහරුත් මහා සද්දේට විස්සේ සමහර විධිවිධානවලට විරුද්ධ වුනා. හැබැයි ඒ අය ඒවාට කිසිම විකල්පයක් ඉදිරිපත් කළේ නෑ. මෙහෙම විරුද්ධවීමෙන් තමන්ට වෙන්න පුළුවන් දේශපාලන හානිය ගැනවත් ඒ අය හිතුවේ නෑ. මේ විරෝධය දිගට ම ගෙනියලා විස්ස පැරදුනා නම් තමන්ට මොකද වෙන්නේ කියලා ඒ අය හිතුවේ නෑ. ඒ වගේ ම, තමන් විරුද්ධ වෙද්දි විස්ස සම්මත වුනා නම් සිද්ද වෙන්න පුළුවන් දේ ගැනත් ඒ අය හිතුවේ නෑ. අන්තිමේ දී වෙච්ච දේ අපි දැන් දන්නවා.

විස්ස ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කළාට පස්සේ ඒ සංශෝධන යෝජනාවල තියෙන අඩුපාඩු අපි දැක්කා. ඒ සම්බන්ධයෙන් මමත් ලිව්වා. “විස්සේ හරි වැරැද්ද” කියලා මම ලියපු ලිපිය මූණු පොතේ, “ලංකාවෙබ්” වෙබ් අඩවියේ සහ “දිවයින” පත්තරේ පළ වුනා. ඒ ලිපියෙන් මම විකල්ප යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා.

(1). විධායකයේ පත් කිරීම්වලට අදාළ නිර්ණායක සපයන ආයතනයක් බවට “පාර්ලිමේන්තු සභාව” පත් කිරීම
(2). “පාර්ලිමේන්තු සභාව” සම්බන්ධ විධිවිධාන විධායකයෙන් ඉවත් කරලා ව්‍යවස්ථාදායකය යටතේ පැනවීම
(3). ඒ වෙනුවෙන් අදාළ VIIඅ පරිච්ඡේදය XIඅ පරිච්ඡේදය බවට පත් කිරීම
(4). මැතිවරණ කොමිසම් සභාව විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් බාහිර ස්වාධීන ආයතනයක් විදිහට පවත්වා ගෙන යෑම
(5). මැතිවරණ කොමිසම් සභාවේ සාමාජික පිරිස හතක් හෝ නවයක් හෝ දක්වා වැඩි කිරීම
(6). 83 (ආ) අනු ව්‍යවස්ථාවේ විධිවිධානත් එක්ක ගැලපෙන විදිහට 30 (2) සහ 62 (2) අනු ව්‍යවස්ථා නැවතත් යථා තත්ත්වයට පත් කිරීම
මීට අමතරව, මූණු පොතේ සහ “ලංකාවෙබ්” වෙබ් අඩවියේ මම පළ කරපු “පාර්ලිමේන්තු සභාවක් මොකට ද?” කියන ලිපියෙන් මම ඒ ආයතනය ඇති කරන්න ඕන කොහොම ද, ඒකෙන් කෙරෙන්න ඕන මොන වගේ වැඩ ද කියන කාරණා පැහැදිළි කළා.

ඒත් මේ සාධනීය යෝජනාවලට කිසිම අවධානයක් යොමු වුනේ නෑ. ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ සහ විරුද්ධ හැම දෙනෙක්ගේ ම අවධානය යොමු වෙලා තිබුණේ ද්විත්ව පුරවැසි කතාවට සහ විගණනයට අදාළ කාරණයට විතරයි. ඒ අතරිනුත් මහා සද්දේට ජනගත කළේ ද්විත්ව පුරවැසි කතාව විතරයි.
මේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය වුනත් විකල්පයක් මාර්ගයෙන් පාලනය කරගන්න තිබුණා. නිකම් ම මේක සම්මත කරගන්න ඉඩ දෙනවා වෙනුවට ඒ විදිහෙ විකල්පයක් (දිවුරුමක්) එක්ක මේක සම්මත කරගන්න ඉඩ දුන්නා නම් යම් පාලනයක් ඇති වෙනවා. ඒ සඳහා යොදා ගන්න පුළුවන් ප්‍රතිඥාවක් (දිවුරුමක්) ලියපු මම ඒකත් මුණු පොතේ ප්‍රසිද්ධ කළා. මේ හා සමාන යෝජනාවක් නලින් ද සිල්වා ගුරුතුමාත් කරලා තියෙනවා මම දැක්කා. ඒත් මේ ගැනත් අවධානය යොමු වුනේ නෑ. අභයාරාමයේ තිබුණු රැස්වීමේ දී නලින් ද සිල්වා ගුරුතුමාගේ අදහස විසි කරලා දැම්මා කියලත් ආරංචි වුනා.

අන්තිමට මොකක්ද වුනේ? කිසිම පාලනයක් නැතුව ද්විත්ව පුරවැසි යෝජනාවත් සම්මත කර ගත්තා. ඒකට තවත් ඡන්දයක් වැඩියෙන් ලැබුණා.
“විස්ස සන්නිය” කියලා මම ලියපු ලිපියෙනුත් මේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු ගණනාවක් පෙන්නලා දුන්නා. දිවුරුමක් මාර්ගයෙන් ද්විත්ව පුරවැසිකමට පාලනයක් දාන්න පුළුවන් බව නැවත වතාවක් ඒ ලිපියෙන් අවධාරණය කළා. ඒ වගේ ම, විගණන කාර්යය ප්‍රබල පනතක් යටතේ කරන්න පුළුවන් බවත් ඒ ලිපියෙන් මම පෙන්නලා දුන්නා.

ඒත් මේ කිසිම සාධනීය විකල්ප යෝජනාවකට කාගෙවත් අවධානය යොමු වුනේ නෑ. තමන් කරමින් හිටිය මහා සද්දය එක රැයකින් නැති වෙලා යන බව මේ අය තේරුම් ඇරගෙන හිටියේ නෑ. අන්තිමට ඒ අය කරපු දේ දැන් අපි දන්නවා. මෙහෙම සාධනීය යෝජනා කීපයක් ඉදිරිපත් කරලා ඒක කරගන්න බැරි වුනත් මේ විදිහෙ අලාභයක් වෙන්නේ නෑ. ඒත් විකල්පයක් ඉදිරිපත් නොකර හුදු විරෝධය දැක්වීමේ මානසිකත්වය විසින් ඒ අවස්ථාව මේ අය නැති කර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap