Opinion

විසි වැනි සංශෝධනය, වෙහෙර ගිලලා අග්ගලාවත් ගිලීම සහ නියන්ඩතාල් මානවයා

Summary

මේකත් එක්ක හදන්න යන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ බලය අහිමි රටක්.. පුරවැසියො නැති ඔළුව, කඳ, බඩ විතරක් තියන ඔළුබක්කො විතරක් ඉන්න රටක්.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ගමනේ පළමුවෙනි වෙඩි මුරය ආණ්ඩුව ඊයේ පත්තු කළා. ඒ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු හැම හොඳ දෙයක් ම කණපිට හරවන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමත් එක්ක.

ඒකත් එක්ක ව්‍යවස්ථාදායක සභාව සිවිල් පුරවැසි නියෝජනයක් නැති පාර්ලිමේන්තු සභාවක් බවට පත් කරලා තියෙනවා. මේ අලුත් සභාවට තියෙන්නෙත් නිරීක්ෂණ භූමිකවක් විතරයි. එතකොට නමට විතරක් මෙහෙම සභාවක් පත් කරලා ආණ්ඩුව ඒකෙ සාමාජිකයන්ට කියනවා “ඔයාලට මෙතන කරන්න වැඩක් නෑ – ඒ නිසා ඔයාලා අයින් වෙලා පයින් යන්න” කියලා.

මේකත් එක්ක ඇමති මණ්ඩලයේ, අධිකරණයේ, පොලීසියේ සියලුම ප්‍රධාන පත්වීම් ජනාධිපතිගේ තනි වුවමනාවට කරන්න පුළුවන්. කාටවත් ඒකට ඇඟිල්ලක්වත් ඉඩ තියලා නෑ. අගමැතිව හිතුණු වෙලාවක පත් කරන්නත්, හිතුණු වෙලාවක අයින් කරන්නත් ජනාධිපතිට පුළුවන්.

අවුරුද්දකට පස්සෙ හිතුණ වෙලාවට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මොන දේ කළත් කාටවත් ජනාධිපතිට විරුද්ධව උසාවි යන්න බෑ. කොටින් ම මෙතැනින් එහාට ලංකාවෙ ඉන්නෙ මිනිස්සු අවුරුදු 6න් 6ට පත් කරන රජෙක්. 1978 ඉඳන් 2015 වෙනකල් ලංකාවේ මිනිස්සු ජීවත් වුණේ, සටන් කළේ, වද වේදනා වින්දෙ, ලේ හැලුවෙ එහෙම රජවරු යටතේ තමයි. ගෑනියෙක් මිනිහෙක් කරන බලයත් මිනිහෙක් ගෑනියෙක් කරන බලයත් ඇරෙන්න අනෙක් හැම බලයක් ම 20 වැනි සංශෝධනය යටතේ මේ චන්දයෙන් පත් කෙරෙන රජාට ලැබෙනවා.

තව දුරටත් ජාතික විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වගේ දේවල් ඉතුරු වෙන්නෙ නෑ. අනෙක් කොමිෂන් සභාවලටත් පත් කිරීම් කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. ඒ අනුව මේවා නිකම්ම නිකම් කොමිෂන් සභා මිස ස්වාධීන කොමිෂන් සභා නෙවෙයි. මෙතැනින් පස්සෙ කොමිෂන් සභා කියන්නෙ ජනාධිපති අතේ නැටවෙන රූකඩ ටිකක් විතරයි. කොරෝනා වෙලාවෙ චන්දෙ තියපන් කියලා ජනාධිපති කිව්වොත් ඒක කරන්න මැතිවරණ කොමිෂන් සභාවට සිද්ධ වෙනවා. අහවලා අහවල් තූත්තුකොඩියට මාරු කරපන් කිව්වොත් කට වහගෙන ඒක කරන්න සිද්ධ වෙනවා.

හැබැයි ලස්සන ම වැඩේ මේ ඔක්කොම කරලත් තොරතුරු දැනගැනීමේ අයිතියට අතවත් තියලා නැහැයි කියලා කියන එක. තොරතුරු දැනගැනීමේ අයිතිය වැදගත් වෙන්නේ ඒ තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන් පුරවැසියන් ඉන්න රටකට. මේ 20වැනි සංශෝධනයෙන් කරලා තියෙන්නෙ මේ රටේ පුරවැසියන්ගේ බලය, මිනිස්සුන්ගෙ බලය කාණුවට දාලා තියෙන එක. මම කියන්නෙ එහෙම රටකට තොරතුරු දැනගැනීමේ අයිතියත් ඕනෙ නෑ කියලා. වෙහෙර ම එක කටට ගිල්ලට පස්සේ අග්ගලාවට මොකද වුණේ කියලා අහන්න තරම් අපට පිස්සුවක් නෑ.

මිනිස්සු පොදුවෙ අහන ප්‍රශ්නය තමයි මේ හැම දෙයක් ම කණපිට හැරවලා 20 ගෙනාවේ ආපහු ද්විත්ව පුරවැසියන්ව පාර්ලිමේන්තු ගේන වැඩේ කරගන්න නේද කියලා. මම හිතන්නෙ මේකෙ අරමුණ ඒක විතරක් නෙවෙයි. මේකත් එක්ක හදන්න යන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ බලය අහිමි රටක්.. පුරවැසියො නැති ඔළුව, කඳ, බඩ විතරක් තියන ඔළුබක්කො විතරක් ඉන්න රටක්… තමන්ගෙ අයිතිවාසිකම් ගැන නොදන්න, ඒ වෙනුවෙන් සටන් නොකරන, කන බොන ටොයිලට් යන රමණය කරන මිනිස්සු විතරක් ඉන්න රටක්…

ලෝකෙ හැමදාමත් පරිණාමය සිද්ධ වුණේ ඉස්සරහට. හෝමෝ ඉරෙක්ටස් ගෙන් නියන්ඩතාල් මානවයා දක්වා ගමන් කරලා හෝමෝ සේපියන්ස් සේපියන්ස් දක්වා කොන්ද කෙළින් කරගෙන මිනිස්සු පරිණාමය වෙලා තියනවා.

මේ කරන්නෙ හදන්නේ කෙළින් කරපු කොන්ද ආපහු නවලා හොමෝ සේපියන්ස්ලා නියෙන්ඩතාල් මානවයා දක්වා ආපස්සට පරිණාමය කරවන එක. ශීලාචාර රටක කරනවා තියා හිතන්නවත් බැරි මෙහෙම වැඩක් සාධාරණීකරනය කරන, ඒකට හුරේ දාන, චියර් කරන නියන්ඩතාල් පිරිසකුත් දැනට ම හැදිලා තියනවා.කවුරු කොහොම කිව්වත් මේ අමාරු වැඩේ මෙච්චර ලේසි විදියට කරන එක ගැන මම නම් රෙස් පෙක්ට්!

‘සමගි සංදේශය’ ශීර්ෂය යටතේ මුහුණු පොතේ රසික සටහන් කරන 18 වැනි ලිපිය 

Leave a Reply

Your email address will not be published.