Editorial

වූහාන් පොකුර

Summary

මේ රටේ ලැගුම් ගෙන දිගු කාලීනව ඉන්න බලාගෙන රටට එන කෙනෙකුත් පැය කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට “ පොකුරු සුරක්ෂිතතාවය” සහිතව රටට එන කෙනෙකුත් අතර කොවිඩ් සම්බන්ධයෙන් ගත්තම තියෙන්නෙ තත්ව දෙකක්. මේ තත්වයන් අවශෝෂණය කරගන්නත් කළමනාකරණය කරගන්නත් ලාංකිකයන් දක්වන හැකියාව මත අපේ අනාගතය තීන්දු වේවි. අපේ රටේ ආර්ථික අනාගතය තිබෙන්නෙ කොවිඩ් වලට බයේ පැනල දුවන එක මත නොවෙයි, එම රෝගය බදා වැළඳ ගැනීම මත වෙන්නත් පුළුවන්

  • Save

දැන් රට පුරාම කොවිඩ් පැතිරිලා. අපි පිළිගන්න අකමැති උනත් ඇත්ත ඒක. නමුත් කාටවත් අසාධ්‍ය උනා තබා ඇඟට දැනෙන රෝග ලක්ෂණයක්වත් ඇති උනා කියල වාර්තා වෙන්නෙ නැහැ. සමහර විට  වෛරසය දුර්වල වෙලා ඇති. නැත්නම්  සිංහල මිනිස්සුන්ගෙ  ප්‍රතිශක්තිය වැඩි ඇති. 

කොහොම වෙතත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිට මේ වෛරසයත් එක්ක තව කලක් ජීවත් වෙන්න සිදු වෙන බව. දැනටමත් සංචාරක ව්‍යාපාරය , ගුවන් ගමන් ක්ෂේත්‍රය වගේ අංශ සහමුලින්ම කඩා වැටිලා. මේ ගමන මෙතනින් එහාට  යම් ඉදිරිගාමී තැනකට වර්තනය  උනේ නැතිනම් අපි දරුණු අර්බුධයකට මුහුණ දෙන බව තේරුම් ගන්න අමාරු නැහැ.

මීට  මාස කිහිපයකට කලින් ලොව පුරා නිරෝධායන රැල්ල පටන් ගත්  අලුත,  තායිලන්තයේ රජ  තුමා පෞද්ගලික ගුවන් යානයකින් ජර්මනියට  ගියා. තනියම නොවෙයි ,  අන්තප්පුර කාන්තාවන් දහ  දොළොස් දෙනෙක් සහ මේ සියලු දෙනාට අවශ්‍ය සේවකයන්  පිරිසකුත් එක්ක. ඔවුන් පාලු පැත්තක තිබෙන සම්පූර්ණ හෝටලයක්ම කුලියට අරගෙන එහි ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ රටේ කවුරුවත් මේ වැඩේට විරුද්ධ උනේ නැහැ. මේක තේරුම් ගන්න පුළුවන් තත්වයක්. ඇවිත් තියෙන්නෙ ධනවත්  රජ  කෙනෙක්. ඒ වගේම ඔවුන් පිරිස , එම පිරිස තුලටම සීමා වෙලා ඉන්නවා. රටට කිසිම අවධානමක් නැහැ, නමුත් විශාල අදායමක් ලැබෙනවා. 

පසුගිය කාලෙ  පරමාණුක බලශක්ති අධිකාරිය හෝමාගමට නුදුරු තැනක  හොඳට ඉඩ කඩ ඇතුව හදන්න හදපු අවස්ථාවේ ගමේ මිනිස්සු ඒකට විරුද්ධ උනේ විකිරණ වල බලපෑමෙන් විකෘති දරු උපත් ඇති  වෙන්නත් පලාතෙ අයට පිළිකා හැදෙන්නත් ඉඩ තිබෙනවා කියමින්. ඒ වගේම පාදුක්ක පලාතෙ ඇති කරන්න ගිහිපු තාක්ෂණික නගරයට වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයක් විරුද්ධ  උනේ  ඒ තුල  “ ඉදි කරන්න ඉඩ තිබෙන” ජාන තාක්ෂණ පර්යේෂණාගාරයක් මගින් ලංකාවෙ ජාන සොරකම් කරන්න  ඉඩ තිබෙනවා කියන පදනමෙන්. මේ විරෝධතා මොන තරම් බාල බොලඳද කියල අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් මේ වගේම විරෝධතාවයක් එල්ල වෙලා තියෙනවා චිර ප්‍රසිද්ධ  ඇඟලුම් සමාගමකට.

කොවිඩ් කියන්නෙ මුළු ලෝකෙටම  අලුත් අත්දැකීමක්. ඒක සාර්ථකව ජයගත්තා කියල තීන්දු කරන්න පුළුවන් එක රටකවත් ලෝකයේ නැහැ. අපි දැන් බලන්න ඕන මේ ප්‍රශ්නය විසඳන ගමන් අලුත් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලාගන්න. එතැනදී නීති නිර්ණායක සියල්ල  තීන්දු වෙන්න ඕන ප්‍රයෝගිකත්වය ඒ වගේම රටට ලැබෙන ප්‍රතිලාභය මත. මේ රටේ ලැගුම් ගෙන දිගු කාලීනව ඉන්න බලාගෙන රටට එන කෙනෙකුත් පැය කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට “ පොකුරු සුරක්ෂිතතාවය”  සහිතව රටට එන කෙනෙකුත් අතර කොවිඩ් සම්බන්ධයෙන් ගත්තම තියෙන්නෙ තත්ව  දෙකක්.  මේ තත්වයන් අවශෝෂණය කරගන්නත් කළමනාකරණය කරගන්නත් ලාංකිකයන් දක්වන හැකියාව  මත අපේ අනාගතය තීන්දු වේවි. අපේ රටේ ආර්ථික අනාගතය තිබෙන්නෙ  කොවිඩ් වලට බයේ පැනල  දුවන  එක මත නොවෙයි, එම රෝගය බදා  වැළඳ ගැනීම මත වෙන්නත් පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap