Opinion

වෙච්ච සමාජවාදයකුත් නෑ තිබ්බ රුසියාවත් නෑ

Summary

මට මුලින් ම කියන්න තියෙන්නෙ සමාජවාදය එහෙම නැතිනම් ලෙනින් එන්න ඉස්සෙල්ලත් රුසියානුවෝ කියන්නෙ වීර ජාතියක් කියලයි.

  • Save

මගෙත් පොඩි අවුලක් තියෙනවා. මම මගෙ දෙවෙනි මාතෘභූමිය හැටියට සලකන්නෙ රුසියාව. මං වගේ තව අයත් ඉන්න පුලුවන්. ඉස්සර කාලෙ නම් උපන් බිමට වඩා කියුබාවට, සෝවියට් දේශයට ආදරය කරපු අයත් හිටියා. ඒත් ප්‍රභාකරන් ඒක වෙනස් කළා. අපේ සහෝදරයෝ රුසියාව වෙනුවෙන් නෙමෙයි ලංකාව වෙනුවෙන් දිවි පුදන හැටි අපි දැක්කා. මෙතන අපේ සහෝදරයෝ කියලා මං නම් කළේ රණවිරුවෝ.

මට මුලින් ම කියන්න තියෙන්නෙ සමාජවාදය එහෙම නැතිනම් ලෙනින් එන්න ඉස්සෙල්ලත් රුසියානුවෝ කියන්නෙ වීර ජාතියක් කියලයි. ඇලැක්සැන්ඩර් පුෂ්කින් මාක්ස්වාදියෙක් නෙමෙයි. දොස්තයෙව්ස්කි මාක්ස්වාදියෙක් නෙමෙයි. ඇත්තටම විප්ලවයෙන් පසුව ලෙනින්ගේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න සටන් කරපු හමුදාවේ වැඩි දෙනා මාක්ස්වාදියොවත් සමාජවාදියොවත් නෙමෙයි සාර් හමුදාවේ හිටපු සොල්දාදුවෝ. ඔවුන් සටන් කළේ සමාජවාදයවත් ලෙනින්වත් ආරක්ෂා කරගන්න නෙමෙයි රුසියාව ආරක්ෂා කරගන්න. මාතෘභූමිය රැකගන්න. රුසියානුවො හැමදාම ඒක කළා.

යුරෝපය හා රුසියාව අතර හැමදාමත් ගැටුමක් තිබුණා. යුරෝපය කියන්නෙ රුසියාව නෙමෙයි. මට යුරෝපය කියන්නෙ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය. මේ රටවල් ඔක්කොම අධිරාජ්‍ය ගොඩනැගුවා. ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව පවා යටත් කරගත්ත මේ අධිරාජ්‍යවාදී රටවලට තමන්ගේ අධිරාජ්‍යය ගොඩබිමින් ව්‍යාප්ත කරගන්න බැරි වුණා. ඒකට තිබුණ ලොකුම බාධාව රුසියාව. රුසියාව යටත් කරන්න ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය දරපු වෑයම් අසාර්ථක වුණා. ඒ වෙනුවට රුසියාව දවසින් දවස බලවත් වුණා. මුස්ලිම් අධිරාජ්‍යයට ඉහළට පැතිර යන්න තිබුණ බාධාවත් රුසියාව.

ස්වකීය කලාපයේ සමගිය හා පාලනය පවත්වාගැනීම හැරුණු විට රුසියාවට ව්‍යාපාරික අරමුණු තිබුණෙ නෑ. ලාභ ගන්න බිස්නස් කරන්න රටවල් අල්ලගන්න ඉංග්‍රීසිකාරයෝ ජර්මන්කාරයෝ වගේ රුසියාව උත්සාහ කළේ නෑ. රුසියාව කියන්නෙ බිස්නස් කාරයන්ගේ රටක් නෙමෙයි ගොවියන්ගෙ රටක්.

මේ ගොවියෝ පිටරටවල් අල්ලාගන්න ගියෙ නෑ. ඒත් තමන්ගේ පොළවෙන් එක බිම් අගලක් හෝ ඈතින් පැමිණෙන කෑදරයන්ට උදුරාගන්න ඉඩ තිබ්බේ නෑ.

රුසියානුවෝ යුදකාමී ජාතියක්. සටන්කාමී ජාතියක්. රුසියානු රටවලට අවශ්‍ය අධ්‍යාත්මික සමගිය ග්‍රීක ඔ්තොඩොක්ස් ක්‍රිස්තියානි ආගමෙන් ලැබුණා.

පිට ඉදලා ආක්‍රමණ එල්ල කරලා රුසියාව යටත්කරගන්න බැරි බව හොදින්ම තේරුම්ගත්තෙ ඉංග්‍රීසිකාරයෝ. ලෝකෙ ලොකුම කපටි තමයි ඉංග්‍රීසි සුද්දෝ. උන් කොච්චර කපටි ද කියනවා නම් අපට හිතෙන්නෙ ම උන් කපටි අය නෙමෙයි මහත්තුරු කියලා. උන්ගෙ කපටිකම කොච්චර ද කියනවා නම් උන් වෙනුවෙන් උන් සටන් කරන්න අද අවශ්‍ය නෑ. අපි උන් වෙනුවෙන් සටන් කරනවා.

නැපෝලියන්ගේ මහා හමුදාව රුසියාව හමුවේ අන්ත පරාජයක් ලැබුවා. රුසියාව කියන්නේ ප්‍රංශය එංගලන්තය වගේ ආර්ථිකයෙන් විද්‍යාවෙන් තාක්ෂණයෙන් දියුණු රටක් නෙමෙයි. ඒත් සටන්කාමීත්වයෙන් ඉහළයි. රට ගැන ආදරයෙන් ඉහළයි. මේ නිසා පිටත සිට කරන ආක්‍රමණයකින් රුසියාව කවදාවත් පරද්දන්න බැරි බව යුරෝපය තේරුම් ගත්තා. රුසියාව කඩන්නට හැකි එකම ක්‍රමය රුසියාව ඇතුලතින් භේද කිරීම. ප්‍රංශ ජාතික නැපෝලියන්ට කරන්න බැරි වුණ දේ මාක්ස් මගින් කරවාගැනීමට ඉංග්‍රීසීන්ට හැකිවුණා. රුසියාව දවසින් දවස බලවත් කළ සාර් රජ පෙළපත රුසියාවනුවන් විසින් ම ඝාතනය කළා.

සාර් රජවරුන්ගේ වැරදි තිබුණා. රුසියානු ක්‍රමයේ වැරදි තිබුණා. ඒත් ඉංග්‍රීසි බොරදියේ මාලු බෑවා මාක්ස්වාදය කියන ඇම දීලා. මාක්ස්වාදය, විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය ආදී සියලුම සංකල්ප රුසියාවේ ඒකමුතුභාවය බිදීමට පාවිච්චි කළා. මේවා මං නෙමෙයි කියන්නෙ. දොස්තයෙව්ස්කි. දොස්තයෙව්ස්කිගේ ලේඛකයෙකුගේ දිනපොත නමින් රචිත පිටු දාහකට වැඩි ලිපි එකතුව කියවලා බලන්න.

හැබැයි සාර් රජ්ජුරුවෝ කරපු වැඩේ ම තමයි ස්ටාලිනුත් කළේ. හැබැයි රුසියානු ජනතාව සාර් රජ්ජුරුවෝ වෙනුවෙන් වගේ ම ස්ටාලින් වෙනුවෙනත් සටන් කළා. ස්ටාලින්ට උපකාරී වුණේ සමාජවාදය නෙමෙයි රුසියාව වෙනුවෙන් සටන් කිරීමේ ශතවර්ෂ ගණනාවක රුසියන් පුරුද්ද. මේ එකමුතුවේ පදනම වුණේ ඔ්තොඩොක්ස් ක්‍රිස්තියානි ආගම. මේ ආගම රුසියානු ජනතාවගේ හදවතට කාවැදිලා තියෙන හැටි දොස්තයෙව්ස්කිගේ පොත්වලින් බලන්න පුලුවන්.

ඒත් සෝවියට් දේශය හදලා අවුරුදු හැත්තෑවකට පස්සේ රුසියානු අධිරාජ්‍යය බිද දැමීමේ යුරෝපීය සිහිනය සැබෑ කරගැනීමට හැකිවුණා. සෝවියට් දේශය එහෙම නැතිනම් දවසින් දවස අවුරුදු පන්සීයක් පුරා බලවත් වුණ රුසියානු අධිරාජ්‍යය කැඩී ගියා. යුක්‍රෙනය. බෙලෝරුසියාව වෙනම රාජ්‍යයක් වුණා. ලිතුවේනියාව ඇතුළු බොල්ටික් රටවල් වෙන් වුනා. අසර්බයිජානය වෙන් වුණා. පෝලන්තය හංගේරියාව බටහිර කදවුරට ළංවුණා.

ඒත් ආණ්ඩු බලය ගත්තාට පසුව ලෙනින් ස්ටාලින්ලා බ්‍රෙෂ්නෙව්ලා අනුගමනය කළෙත් සාර් රජුගේ පිළිවෙතම තමයි. රුසියාවට අත තැබීමට ඉඩ නොදීම. ඒත් සාර් රජවරු එහෙම නැතිනම් වැඩවසම් ක්‍රමය කියා හදුන්වන දෙය අවුරුදු පන්සීයක් පුරා රැකගත් රුසියානු ස්වාධීනත්වය අවුරුදු හැත්තෑවකට වඩා ආරක්ෂා කරගැනීමට සමාජවාදයට නොහැකි වුණා. අද වන විට සමාජවාදයත් නෑ. රුසියානු අධිරාජ්‍යයත් නෑ. දොස්තයෙව්ස්කිගේ ලිපිවල මේ අනතුරු හැගවීම තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap