Opinion

වෙස්ට්ගේට් ප්‍රයිමරි ස්කූල්හි සිට රන්මුතු පෙර පාසලට….

Summary

අවුරුදු තුනකට පෙර ලියූ මේ කතාව අදට එදාටත් වඩා වලංගු වීම කෙතරම් අවාසනාවක්ද?

Smart kids

අපි එංගලන්තයේ සිටියදී දරුවන් ගියේ නිවස අසලම තිබූ වෙස්ට්ගේට් නම් වූ පාසලටය.

පාසලට ඇතුලත් කර ගැනීමම රසවත්ය. ස්ප්‍රිංවේල් සවුත් හි නිදන කාමර දෙකක් තිබූ පුංචි නිවහනට ගොඩ වැදුනේ ඉරිදාකය. පහුවෙනිදා මගේ සායනික ආචාර්යතුමිය වුනු ඩොක්ටර් ලෝචනාගෙන් නිවාඩුවක් ඉල්ලාගෙන මැප් එකෙන් බලා ගෙදරට ලඟම තිබූ පාසල හොයාගෙන ගියේ ඒ වන විට දරුවෙක් ලැබෙන්නට සිටි බිරින්දෑගේ පහසුවද සලසාගෙනය. වෙස්ට්ගේටය සුන්දර කුඩා පාසලකි. අපේ අවශ්‍යතාවය කී විට කාර්යාලයේ පිලිගැනීම් නිලධාරිනියගෙන් ලැබුණේ සතුට දනවන ප්‍රතිචාරයක් නම් නොවේය. ඒ අවුරුද්දට ඇතුලත්කිරීම් අහවර බව ඇය කීවාය. ඇප්ලිකේෂන් එක භාර ගත්තද වැඩේ කෙරෙන පාටක් තිබුණේ නැත. බිඳුනු හදින් එන්නට ආපහු හැරුනු මුත් කාර්යාලයේ ප්‍රධානියා යැයි කිව හැකි තලතුනා කාන්තාවක් අප දෙසට ආවාය. අප ආ කාරණාව විමසා සිටියාය. බඩ ගෙඩියක් උස්සාගෙන හිටි බිරින්දෑ දිහාද අලුත් පරිසරයක් හින්දා බිරන්තට්ටු වෙලා උන් පුංචිවුන් දෙන්නා දිහාද මොහොතක් බලා උන්නාය.

“Can he speak English?”

“I think he can”

මාත් උත්තර දුන්නේ අඩමානයටය. පුංචි වුන් ඕනම වෙලාවට කතා කරන්නේ නැත. ලොකු පුතා ලඟ දණ ගසා ගත් ඇය ඔහු හා කතාවට වැටුනාය. විනාඩි දෙක තුනකට පසු නැගී සිටි ඈ “Ok, we will see what we can offer” යි කීවාය. අපි එන්නට ආවෙමු. ගෙදර⁣ට ඇවිත් දොර ලඟට එන්නට වුනේ නැත. බිරිඳගේ දුරකථනයට ආ ඇමතුමකින් කියැවුනේ බ්‍රහස්පතින්දා ඉඳලා පාසලට එන්නට කියලාය. චූටි පුතාවද ඒ පාසලටම අනුබද්ධ මොන්ටිසෝරියේ පැය තුනක free education සඳහා එන්නට යැයි කියලා දෙවන ඇරයුමක් ඒ සමගම ලැබිණි. ඒ තම රටට අලුතින්ම ආ දුඹුරු පාට හමක් ඇති සිංහල අපට එංගලන්තයේ අධ්‍යාපන ආයතනයකින් සැලකූ හැටිය.

එතනින් පටන් ගත් අවුරුද්ද මගේ දරුවන්ගේ ජීවිතයේ මේ දක්වා සුන්දරම කාලය වී යැයි කිවහොත් හරිය. වෙස්ට්ගේට් හි පාසල පටන් ගන්නට කලින් ආගම සිහිකිරිල්ලක් එහෙම නැත. හැබැයි පංතියේ සුදු, දුඹුරු,කලු, ඉංගිරිසි, යුරෝපිය, ඉන්දී⁣ය, පකිස්ථාන, ලාංකික දෙමල, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, ඉස්ලාම් ආදි නා නා ප්‍රකාර ජාති, ආගම්, වර්ණ වලට අයත් මල් කැකුලු වන් දරුවන් එකා වගේ ඉන්නවාය. උන් හැම දෙනාම පුංචි ලංකාවෙන් ආපු පුංචි බිනරවත් ආදරයෙන් පිලිගත්තහ. එහෙම වන බවට ගුරුවරුන් වගබලාගත්තහ. උදේට මල් පූජා කරලා පන්සිල් ඇරන් වැඩ පටන් ගන්නා ලංකාවේ ඉස්කෝලවලද බෙදෙන්න කුමක් හෝ කාරණාවක් හොයනවා වෙනුවට හැම එකාම එකවගේ ඉන්නට හිත් හදා ගන්නට පුලුවන් නම් කොච්චර හොඳ දැයි මට හිතුනේ වරක් දෙවරක් නොවේය.

උදේ නවයට පටන් ඇරන් පාසල තුන වෙනකන් පැවැත්වෙනවාය. පාසලට ගෙන යන බෑගයේ ඇත්තේ SRB එකත් එදාට කියවන්නට ගෙදර රැගෙන එන පොතත් විතරය. පාසලේ මුල් තැන දරුවාගේ නිර්මාණශීලී බවත් පරිකල්පනීය හැකියාවත් දියුණු කරන්නටය. කට පාඩම් කිරිලි නැත. බලා⁣ගෙන ලිවිලි අසාගෙන ලිවිලි නැත. ඇත්තේ හිතාගෙන ලිවිලිය. ගෙදර වැඩක් දුන්නොත් සති අන්තයට විතරය.

පංතියේ ලමයි තිහකි. ගුරුවරු තුන්දෙනෙක්ය. උපාධි පට්ටම් කෙසේ වෙතත් ලමා මනෝ විද්‍යාව දන්නා අයය. පංතියේ ලමයි තිස්දෙනා ⁣මට්⁣ටම් තිහක බව තේරෙන අයය. දක්ෂයා ඉස්සරහට දක්කන අයය. එතරම් දක්ෂ නැත්තාවද ඇදගෙන යන අයය. ලමයා ලඟ දණ ගහගෙන උගන්නන අයය. අකුරු උගන්නන්නේ පාසලේ්දීය. වැරදි හදන්නේ පාසලේදීය. “වික්ටෝරියානු නිවාස” ගැන රචනයක් ලියූ පුතා එය පෙන්නූ විට මං හොල්මන් වී ගිය හැටි මට මතකය. ඒ ගැන කියා දුන් ගුරුතුමිය ටවුම වටේ ගෙවල් පෙන්නන්නට රවුමක් එක්කන් ගිහිල්ලා තමන්ට තේරෙන හැටියට රචනාවක් ලියන ලෙස කියා තිබිනි.

දරුවන් ගිරා පෝතකයන් වෙනුවට ප්‍රබුද්ධ මනස් ඇත්තවුන් කරන්නේ එහෙම යැයි මම සිතමි. සුද්දන් අලුත් දේවල් කරන්නේත් අපි උන් කියන ඒවා කරන්නේත් ඔය වෙනස නිසා වෙන්නට ඕනෑය.

මේ විදිහට ⁣ගෙවුනු අවුරුද්ද අවසානයේ ගුරුවරුන්ට සමු දෙන්නට බුදු පිලිමයක් බැගින් ඇරන් ගිය අපට මුහුණ දෙන්නට වූයේ හදවත පාරන අත්දැකීම්වලටය. මිසිස් ජෝන්ස්, මිසිස් ටේලර් ආදි තලතුනා ගුරුවරු පවා දරුවන් වැලඳගෙන කඳුලු සැලූහ. සැබෑ ගුරුමව්වරුන්ගේ ගුරු වත්කම් ඒවා වන්නට ඕනෑය. ඒ ගැලූ කඳුලු බිඳු ජාතිය, ආගම, හමේ පාට අතික්‍රමණය කල විශිෂ්ට මනුස්සකමේ සලකුණුය. ඒ උතුම් මනුස්සකම් වලට මම ගෞරව කරමි.

ලංකාවට ආ පසුව ලොක්කා හිටපු පාසලටත් චුට්ටා රන්මුතු නම් පුංචි පෙර පාසලටත් ඇතුලත් කලෙමි. උන් අලුත් අධ්‍යාපනයට හැඩ ගැහෙන හැටි මම ඈතට වී බලාගෙන සිටින්නෙමි. දක්ෂ ගුරුවරුන් පවා මහා විෂය නිර්දේශ වලට හිරකොට දෑත් බැඳ දරුවන් හා පිහිනන්නට දමා ඇති හැටි මම බලා සිටින්නෙමි. ඒ හේතුව හින්දාද තවත් විවිධාකාර හේතු හන්දාද දරුවන් තුලින් මනුස්ස ගුණ දම් වියැකී යන හැටි වේදනාවෙන් පිරි හදවතින් මම බලා ඉන්නෙමි. එකිනෙකා පරයා නැගෙන්නට තතනන රොබෝවරු නිෂ්පාදනය කරන කම්හල් බවට පාසල් පත්වී ගෙන යන හැටි මම බලා සිටින්නෙමි. පිබිදුණු මනස් ඇති දරු පරපුරක් හදන්නට නම් පාසල් අධ්‍යාපනය දැවැන්ත වෙනසකට ලක් විය යුතු යැයි මම සිතන්නෙමි. එහෙත් එය කවදා කොහේදී වෙයිදැයි කියලා නම් කියන්නට බැරි බවත් මේ එක්කම ලියලා තබන්නට ඕනෑය.

ප.ලි – අවුරුදු තුනකට පෙර ලියූ මේ කතාව අදට එදාටත් වඩා වලංගු වීම කෙතරම් අවාසනාවක්ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *