Opinion

වෛද්‍ය හෙද ආරවුල සහ බාසුන්නැහැලා

Summary

විශාල පිරිසක් ඉන්නා තැනක ඉන්නා එක අශිෂ්ඨ ගඳ ගහන නොවැදගත් මිනිහෙකුගේ තුට්ටු දෙකේ වැඩක් නිසා තමන්ගේ ශිෂ්ඨ සම්පන්න බව නැති නොකර ගත යුතුය.

මේ දවස්වල මුලු රටම ප්‍රශ්න ගොඩකි. පහුගිය දවස්වල පැවති හෙද වැඩ වර්ජනය නිසා මතුවූ වෛද්‍ය හෙද ගැටුම සමාජ මාධ්‍යයේද දිග හැරෙමින් පවතියි. සෞඛ්‍ය වෘත්තීකයෙකුද වී ඒ ගැන යමක් නොලියන්නේ ඇයිදැයි බොහෝ දෙනා අසති…

ආදරණීය වෛද්‍යවරුනි, හෙද සොහොයුරියනි,
අප දෙකොටස සෞඛ්‍ය සේවය ඇතුළේ ගහට පොත්ත වාගේය. තේරෙන්නට කිවහොත් වාහනයක එන්ජිමත් රෝද හතරත් වාගේය. සෞඛ්‍ය සේවයේ යහ පැවැත්මට මේ දෙකොටසම එක වාගේ උවමනාය. මේ දෙගොල්ලටම අනන්‍ය වගකීම් තියෙනවාය. එක කොටසකගේ වගකීමක් අනිත් කෙනාට කරන්නට බැරිය. අප වෙනස්ය. හැබැයි ඒ වෙනස්කම් එකතු වූ කල පමණක් වාහනය ඉදිරියට යන්නේය.

මේ දෙගොල්ලන්ටම අනන්‍ය ප්‍රශ්න තියෙනවාය. ඒවා වෙන් වෙන්ව විසඳා ගත යුතුය. එන්ජින් ඔයිල් අඩු වූ කල ටයර් එක මාරු කරලා හරියන්නේ නැත. ටයර් එක ගෙවුණ විට එන්ජින් එක රෙපෙයාර් කරලා හරියන්නේද නැත.
මේ දෙගොල්ලන්ටම වෘත්තීය ජීවිතයේ ඉදිරියට යන්නට ඉඩ ප්‍රස්ථා තිබිය යුතුය. ඒ සඳහා අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුය. වඩා උසස් සේවයක් සැලසෙන්නේ එවිටය. අද ටොයොටා ප්‍රීමියෝ රථයේ තිබෙන්නේ 121 එන්ජිම නොවේය. එන්ජිම දියුණු කිරීම ටයර් එකට ගැරහීමක් ලෙස සිතීමද ටයර් එකට නයිට්‍රජන් ගැහීම එන්ජිමට කරන අපහාසයක් ද නොවේය.

මේ ප්‍රශ්න විසඳා ගැනීමේදී අන්‍යොන්‍ය ගරුත්වයෙන් වැඩ කිරීම අතිශය වැදගත්ය. මන්ද එන්ජිමත් ටයර් එකත් අතර ගැටුම් අවුලවා තම පුද්ගලික න්‍යාය ප්‍රශ්න විසඳා ගන්නා තම මඩිය තර කරගන්නා වංචාකාර බාසුන්නැහැලාද සිටිනා බැවිනි. එන්ජිම හදන සමහර බාසුන්නැහැලා තමන්ට හරියට එන්ජිම හදාගන්නට බැරි අඩුව වහගන්නට “අර ටයර් ගෙවිල නෙවැ…

⁣ට්‍රල් පිච්චෙනව වැඩියි “කියති. අලුත් ටයර් සෙට් එකක් දැමූ විට “අලුත් එන්ජිමක් තියන් නැතුව ටයර් දාලා” යැයි කියති. අනිත් පැත්තෙන් ටයර් බාසුන්නැහැලාද මේ වැඩේම කරති. අන්තිමට ටයර් ටිකත් එන්ජිමත් නයිමුගටියන් වාගේ වෙති. බාසුන්නැහැලා ඒ රංඩු බලා ආතල් එකේ සිටිති…

ඇත්තටම මෙහෙම ගිනිගෙඩි දෙන බාසුන්නැහැලාට වාහනේ දිව්වත් එකය; නැතත් එකය. වාහනේ ලෙඩ දෙන තරමට බාසුන්නැහැලා ගොඩය. අන්තිමට වාහනේ යන මගියා දෙස්දෙවොල් තියන්නේ බාසුන්නැහැලාට නොවේය ; වාහනයටය. මේ වාගේම වෛද්‍ය හෙද ගැටුම නිසා බැණුම් අහන්නේ නිදහස් සෞඛ්‍ය සේවයමය. සෞඛ්‍ය ⁣සේවයේ දොස්තරලාය. හෙද හෙදියන්ය…

ආදරණීය වෛද්‍යවරුනි, හෙද සොහොයුරු සොහොයුරියනි,
මෙන්න මේ සරල කතාව අප තේරුමි ගත යුතුය…

ඕනෑම ප්‍රශ්නයක් විසඳාගැනීමේදී ශිෂ්ඨ සම්පන්නකම තෝරා ගත යුතුය. පුද්ගලික අවලාද වලට නොයා යුතුය. මනුස්ස ගතිගුණ නැති නොනර ගත යුතුය. ඔබ අති බහුතරය වැදගත්, අහිංසක මිනිස්සුය. ඔබ හෙටත් රෝහලේ මුහුණට මුණ ගැහී වැඩ කළ යුතුය. එහෙම මුණ ගැහී සමගියෙන් වැඩ කරන සෞඛ්‍ය ⁣සේවයක් අපේ රටේ දුක් විඳින අහිංසක මිනිස්සුන්ට වැදගත් සේවයක් සලසනු ඇත..

දහසක් ප්‍රශ්න මැද ජීවත් වන ඒ මිනිස්සුන්ට ඇත්ත සහනයක් සැනසෙන ක්ෂේත්‍ර ලංකාවේ ඇත්තේ කිහිපයකි. සෞඛ්‍යය ඉන් එකකි. අපේ මේ ආරවුල ඒ සහනය නැති කරන තැනකට සෞඛ්‍ය සේවය ගෙන යා යුතු නැත…

මේ තත්ත්වය ගැන කළකිරුණු සමහර වෛද්‍යවරුන් හෙදියන් රට හැර යාම ගැන, මින්පසු තම සීමාව ඇතුළේ පමණක් වැඩ කරන එක ගැන, අනවශ්‍ය විදිහට උදව් නොකරන එක ගැන හිතේ දුකෙන් ලියා තිබෙනු මම දුටුවෙමි.

ආදරණීය මිත්‍රවරුනි,
විශාල පිරිසක් ඉන්නා තැනක ඉන්නා එක අශිෂ්ඨ ගඳ ගහන නොවැදගත් මිනිහෙකුගේ තුට්ටු දෙකේ වැඩක් නිසා තමන්ගේ ශිෂ්ඨ සම්පන්න බව නැති නොකර ගත යුතුය. තමන්ගේ මනුස්සකම නැති නොකර ගත යුතුය. තමන්ගේ හොඳ නැති නොකර ගත යුතුය. ඔබ එහෙම කළහොත් අශිෂ්ඨ⁣යා දිනන්නේය. නොවැදගත්කම දිනන්නේය. නරක දිනන්නේය…

අප එයට ඉඩ දිය යුතු නැත…

එන්ජිමත්, රෝද හතරත් අන් සියලු කොටස්ද එකතු වූ තැන වාහනය රැකෙයි. ඔබ හැම දෙනා එකතු වූ කළ නිදහස් සෞඛ්‍ය ⁣සේවය රැකෙයි…

ඔබ හැම දෙනාටම ජය වේවා…

විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර

ප.ලි – මෙය කියවා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියා නොකියා සිටින්නට හැකි නම් හොඳය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *