Opinion

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අවභාවිතය

Summary

ධනපති ක්‍රමයක් තියෙනවද කියලා අපට හරියට ම ෂුවර් නෑ. ඒත් කැපිටලිස්ම් කිව්වාම ඒක තියෙනවා කියලා අපට හරියටම ෂුවර්. ධනපතියන්ට පවා ෂුවර්. ධනපති ක්‍රමය කියන වචනෙට අකැමැති ධනපතියන් පවා කැපිටලිසම් කියන වචනෙට කැමතියි. ඒක කැපිටලිස්ම් ද මොන නිසම් ද කියන්න අපි දන්නෙත් නෑ.

ඉංග්‍රීසි භාෂාවට අපේ ගැතිකමක් තියෙනවා. එයට අමතරව ඉංග්‍රීසි භාෂාවේ සමහර වචනවලට අප තුළ විශේෂ ගැතිකමක් තියෙනවා. ඒ නිසා ඇතැම් විට ඉංග්‍රීසි වචන හසුරුවනු වෙනුවට ඉංග්‍රීසි වචන විසින් අපව හසුරුවනු ලබනවා.

Frequently කියන එකේ තේරුම නිරන්තරයෙන් හෝ නිතර නිතර හෝ කියනඑක නෙමෙයි. ඒ සිංහල තේරුමට ඒ ඉංග්‍රීසි වචනෙ ගැන තියෙන ගැතිකමත් එකතුවුණාම තමයි Frequently නියම තේරුම ලැබෙන්නේ.

Consistency කිව්වාම සංගතභාවය, ගැලපෙනකම වගේ තේරුමක් ගත්තට වැඩක් නෑ. ඒ වචනෙ ගැන තියෙන ගැතිකමත් එක්ක හිතන්න ඕනැ. එතකොට අපට තේරුමක් එනවා.

Theory and Practice කිව්වා ම න්‍යාය හා භාවිතය නෙවෙයි. එයිට ගොඩක් එහා ගිය එකක් එතන තියෙනවා. ඒක ඇතිවෙන්නේ ඒ වචන ගැන තියෙන ගෞරවය, භයපක්ෂපාතීකම එක්ක.

අප විසින් වචන අපට ඕනැ තැන්වලට ගෙනයාම වෙනුවට වචන විසින් ඒ්වාට ඕනැ ඕනැ තැන්වලට අපව ගෙනයාමත් මේ අනවශ්‍ය ගෞරවය නිසා සිදුවෙනවා.අනිත් අතට යන්නෙ කොහෙද කියලා දන්නෙ නැති අපි ඉංග්‍රීසි භාෂාවට ඕනැ තැනකට අපිව ගෙනයන්න ඉඩදෙනවා. බොහෝ අය ඉංග්‍රීසියෙන් ලිවීම හා ඉංග්‍රීසියෙන් කතාකිරීම කියා හඳුන්වන්නේ මේ ක්‍රියාදාමය.

ඒක හරියටම ම අපි ඉංග්‍රීසි භාවිතා කරනවා නෙමෙයි ඉංග්‍රීසි අපිව භාවිතා කිරීම.

සමහර අය ඉංග්‍රීසි භාවිතා කරමින් අපවත් භාවිතා කරන්න හැදුවත් ඒ අයඒ වනවිටත් ඉංග්‍රීසිවලට භාවිතා වෙලා ඉවරයි.

කන්ටෙක්ස්ට් කියන්නෙ සන්දර්භය නෙමෙයි. පසුබිම නෙවෙයි. වටපිටාව නෙමෙයි. වාතාවරණය නෙමෙයි. කන්ටෙක්ස්ට් කියන්නෙ ඊට වඩා වචනයක්. ඒකට සිංහලෙන් තේරුම් දෙන්න බෑ. ඒ නිසා සිංහල භාවිතා කරන අයට මේ වගේ වචනවලින් ගසාදැමීම සිදුවෙනවා. ඉංග්‍රීසි වචන මේ විදිහට ගල්කැට විදිහටත් භාවිතා වෙනවා. ඉංග්‍රීසි මේ විදිහට භාවිතා වෙන්නේ ඉංග්‍රීසි ගැන ගෞරවයක් නැති නිසා නෙමෙයි ගල් කැට පහරට ලක් වෙන අය ගැන ගෞරවයක් නැති නිසයි.

සිස්ටම් කියන්නෙත් ක්‍රමය පද්ධතිය නෙමෙයි. ඒක අහුවෙන්නෙ සිස්ටම් කියන ඉංග්‍රීසි වචනෙට විතරයි. ඒත් ඊට කලින් අපි සිස්ටම් කියන ඉංග්‍රීසි වචනෙට අහුවෙලා ඉවරයි. ඒකත් සිස්ටම් එක. ක්‍රමය නෙමෙයි.

ධනපති ක්‍රමයක් තියෙනවද කියලා අපට හරියට ම ෂුවර් නෑ. ඒත් කැපිටලිස්ම් කිව්වාම ඒක තියෙනවා කියලා අපට හරියටම ෂුවර්. ධනපතියන්ට පවා ෂුවර්. ධනපති ක්‍රමය කියන වචනෙට අකැමැති ධනපතියන් පවා කැපිටලිසම් කියන වචනෙට කැමතියි. ඒක කැපිටලිස්ම් ද මොන නිසම් ද කියන්න අපි දන්නෙත් නෑ.

ඒත් එක්කම මේ වගේ වචන පෙන්නලා අනුන් බය කිරීමත් වෙනවා. මන්තර වගේ. මන්තරවලදී වෙන්නේ නොදන්නා වචන කියමින් අසන්නා බිරාන්ත කිරීම. ඉංග්‍රීසි වචනත් මන්තර වගේ භාවිතා වෙනවා. එහෙම කරන කොට තමනුත් තක්කඩි නෙමෙයි කට්ටඬි වෙන බව ඒ මහත්තුරු දන්නෙ නෑ.

ලුක් පෝවර්ඩ් කිව්වාම ඒ වචනෙ අපට කිසිම සිංහල වචනෙකින් ගන්න බෑ.

ට්‍රාරන්ස්පේරන්සි කියන්නේ විනිවිද පෙනෙන භාවය පමණක් නෙවෙයි. ඒ ඉංග්‍රීසි වචනෙ ගැන අප තුළ පවතින භය සම්ප්‍රයුක්ත ගෞරවය එක්ක තමා ඒ වචනෙ තේරුම ලැබෙන්නේ.

එනර්ජි කියන වචනෙ හමුවේ ශක්තිය අසරණ වෙනවා. ඒක හරිම දුකක් වුණත් ඒක එහෙමයි.

කයින්ඩ්නස් කියන වචනෙට කරුණාව විතරක් නෙමෙයි මෛත්‍රීයත් පරදිනවා. ජෙනරස්, ටෙන්ඩර්නස් වගේ වාගේ වචනයක් ආවාම ඔක්කොම සිංහල වචන නන්නත්තාර වෙලා යනවා. එතනදී ඉංග්‍රීසිවල කිසිම අනුකම්පාවක් දයාවක් නෑ. ඉංග්‍රීසි කතා කරන අය ගාව අනුකම්පාවක් තියෙන්න පුලූවන් වුණත් ඉංග්‍රීසි වචනවලට සිංහල වචන ගැන කිසිම අනුකම්පාවක් නෑ. නැතිකරලම දානවා.

හාර්ට් කිව්වාම හදවත කැලේ. හාට් බීට් කීවාම හදවත ගැහෙනවා.

පවර්ටි කිව්වාම දුප්පත්කම වගේ ම ධනවත්කමකුත් එතන තියෙනවා. පවර්ටි ඇලවියේෂන් කිව්වා ම වුණා වගේ තමයි.

පිලසොපි දර්ශනයට වඩා දෙතුන් ගුණයක් විශාලයි. සබ්ජෙක්ටිව් ඔබ්ජෙක්ටිව් කිව්වාම සිංහල වචන හොයන්නත් නෑ. සිංහලෙන් හොයන්න බැරි ලෝකෙකට අපිව ගෙනියන්න ඒ වචනවලට පුලුවන්. කොටින් ම අපිව වංකගිරියට ගෙනියනවා. ඒකට අපි ආසයි, අතරමං වෙන්න. ඉංග්‍රීසි වංකගිරියෙ යන්න එන්න තැනක් හිතාගන්න බැරිව අතරමං වෙන්න අපි ආසයි. ඉංගිරිසිය එක්ක ගත්තාම වංකගිරිය මොකක්ද?.මේ වංකගිරියෙ අතරමං වී ම අපි සත්‍යය කරා පියමං කිරීමක්, ළඟාවීමක් කියලා අපට හිතෙනවා. ඒක තමයි ඔබ්ජෙක්ටිව් රියලිටි එක.

අපි දන්නෙ නිවන් සැප ලැබේවා කියන්න විතරයි. ඒත් ඉංග්‍රීසියෙන් අපට නිර්වාණ කියලා වචනයක් තියෙනවා. කොහොම වුනත් සිංහල බාසාවට නිවන් සැප ලැබේවා කියලා ඉංග්‍රීසියෙන් කියන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *