Opinion

ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කිරීමේ නූතන ප්‍රවණතාවය

Summary

“පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමෙන් නිවැරදි ඉතිහාසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකම හා වගකීමයි.”

  • Save

(Ceylon Today Echo හි 2020 ජනවාරි 24 ඉරිදා දින පළ වූ කතෘ විසින්ම රචිත Distortion of History ලිපියේ සිංහල අනුවර්තනය.)

රටක සංස්කෘතික උරුමය අත්‍යන්තයෙන්ම භුමිය පිළිබඳ අයිතිය සහ ජාතික අනන්‍යතාවය යන සංකල්ප සමඟ බැඳී ඇත. මේ නිසාම රටක සංස්කෘතික උරුමය බොහෝ අවස්ථාවන් වලදී පටු අරමුණු ඇති ඇතැම් අයගේ ඉලක්ක බවට පත් වන්නේය. රටක පුරාවිද්‍යාඋරුමය එනම්, පුරා ස්ථාන සහ ස්මාරක විනාශ කළ විට ඒවා නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ඇත්තකි. නමුත්, එයට වඩා  බොහෝ සෙයින් බරපතල හානියක් සිදුවන්නේ මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ විඥානය වෙනස් කිරීම තුළිනි. එසේ ජනතාවගේ විශ්වාසයන් සහ හර පද්ධතීන් වෙනස් කිරීම තුළින් සිදුවන්නා වූ හානිය වඩාත් කල්පවතින්නේය. මවුබිමේ ඉතිහාසය හා සංස්කෘතිය කෙරෙහි ඇති බැඳීම හා ගෞරවය මිනිසුන්ගේ සිත් තුළින් වියැකී ගිය පසුව පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරකවල වටිනාකම නිතැතින්ම වියැකී යන්නේය. ‘ඉතිහාසය විකෘති කිරීම’ යන්න පිළිබඳව අප සැලකිලිමත් විය යුත්තේ මේ නිසා ය.

පසුගිය දිනෙක හිරිවඩුන්න විහාරස්ථානයේදී  සිදු වූ එක්තරා සිදුවීමක් මේ ‘ඉතිහාසය විකෘති කිරීමේ’ ක්‍රියාවලිය කෙතරම් බරපතලද යන්න අපට සිහිපත් කර දුන්නේය. එහිදී අපට පෙනී ගියේ රටේ ඉතිහාසය විකෘති කිරීම කරණ කොට ගෙන දැනටමත් බෞද්ධ පිරිස් අතර මත ගැටුම් උද්ගතව ඇති බවයි. මෙම පිරිස බුදුන් වහන්සේ උපත ලද්දේ උත්තර භාරතයේ නොව ශ්‍රී ලංකාවේය යනුවෙන් විශ්වාස කරන්නේය. එසේ ගොතන ලද ප්‍රබන්ධ සඳහා අවශ්‍ය සාධක නිර්මාණය කරන්නටද මෙවන් පිරිස් පසුබට වන්නේ නැත.
ඒ අනුව ඉතිහාසය විකෘති කිරීමේ මෙම නූතන ප්‍රවණතාවය සහ එහි බරපතල ප්‍රතිවිපාක ගැන වැඩිදුර කරුණු දැන ගැනීම සඳහා අප ඉතිහාසය, පුරාවිද්‍යාව, බුද්ධාගම සහ පාලි සාහිත්‍යය පිළිබඳ ප්‍රධාන පෙළේ විද්වතුන් කිහිප දෙනෙකු සමඟ කරුණු සාකච්ඡා කළෙමු. මේ ඒ විද්වත් සාකච්ඡාවේ දිගහැරුමයි. 

“ශ්‍රී ලංකා ඉතිහාසය වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම මෑත කාලීන ප්‍රවණතාවයක්. මෙය මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ සෙයින් බරපතල දෙයක්. මේ ප්‍රවණතාවය පිටුපස ඇති කතාව ගැනයි අප සැලකිලිමත් විය යුත්තේ.”  ප්‍රවීණ ආචාර්යවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා අවධාරණය කළේය. 

හිරිවඩුන්න –
“බුදුරජාණන් වහන්සේ හිරිවඩුන්න නම් ස්ථානයේදී  බුද්ධත්වයට පත් වූවා නම්, අපේ මුතුන් මිත්තන් අවුරුදු දහස් ගණනක් තිස්සේ එම ස්ථානය නොසලකා හැර ඇත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට රැගෙන ආ සංඝමිත්තා අරහත් තෙරණින් වහන්සේ වැඩ සිටි කාලය අතර පරතරය දළ වශයෙන් අවුරුදු 250 ක් වන අතර පරම්පරා වශයෙන් ගතහොත් එය පරම්පරා කිහිපයකි. අපගේ ආච්චිලා සහ සීයලා අපට ඔවුන්ගේ ජිවිත කාල තුළ සිදු වුණු සිදුවීම් ගැන අප සමඟ පවසන පරිදි, බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේ හිරිවඩුන්න අවට ජිවත් වූ මිනිසුන් ඒ පිළිබඳ මතකයන් ඔවුන්ගේ ඉදිරි පරම්පරාවන්ට නොකියා සිටියේ ඇයි?”

“අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ වටා ගොඩනැගී ඇති සංස්කෘතිය දෙස බලන්න. පූජනීය බෝධි වෘක්ෂය මුල් කොට ගෙන ඉපැරිණි මෙන්ම සංකීර්ණ අස්පර්ශිත සංස්කෘතික උරුමයක් සහ ඒ වටා නිර්මාණය වී ඇති විශාල සාහිත්‍යය දෙස බලන්න. එවැන්නක් හිරිවඩුන්න වටා ගොඩනැඟී ඇත්ද? 
අප හොඳින්ම දන්නවා අභයගිරි සහ මහාවිහාර යනුවෙන් ප්‍රධාන දෙනිකායන දෙකක් පැවති බව. එසේ නම් ඇයි එයින් අභයගිරි නිකාය පෙරට විත් හිරිවඩුන්න බෝධිය බුදුන් පිට දුන් බෝධිය ලෙසට වන්දනාමානයට ලක් නොකරන්නේ?” මහාචාර්යවරයා ප්‍රශ්න කළේය. 

බුදුන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේ ද?
බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බවට ප්‍රධාන වශයෙන්ම විශ්වාස කරන්නේ බෞද්ධයන්ය. එනිසා මේ ප්‍රශ්නයට බුදුන් වදාළ දහම් කරුණු වලින්ම පිළිතුරු දැන ගැනීමට පාලි සාහිත්‍යය හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ විද්වතෙකු වන  පූජ්‍ය මහාචාර්ය රළුවේ පද්මසිරි හිමියන් සම්බන්ධ කර ගත්තෙමු. උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ, බෞද්ධ චින්තනය දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙකි. 

“මම දකින ආකාරයට නම් බුදුන් වහන්සේ ලංකාවේ උපත ලැබුවාය යන අදහස ඇතැමුන් තුළ පවතින අන්‍යන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එසේම, මේ අදහස, ‘අපේ දේ තමයි උසස්ම’ යන අනවශ්‍ය අධිමානය මුසු වූ සිතිවිල්ලක්. නමුත් අප පදනමක් නොමැතිව එවැන්නක් පවසන්නේ කෙසේද? එවන් අදහසක්  නිසා අප සියල්ල අවුල් කර ගත යුතු ද? බුදුන් වහන්සේ උත්තර භාරතෙයේ උපත ලැබුවාය යන කාරණය පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇත. එසේ ඒ කරුණු සනාථ කර ඇත්තේ දේශීය විද්වතුන් විසින් පමණක් නොව  ප්‍රමුඛ පෙළේ ජාත්යන්තරයේ විද්වතුන්ද  විසිනි.”

“මෙම අදහස බුදුන් වහන්සේ වදාළ දහමට විරුද්ධ ය. යමෙකුට බුදුන් වහන්සේගේ සත්‍ය පණිවිඩය ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඔවුන් ධර්මය අනුගමනය කළ යුතුය. බුදුන් උපන් ස්ථානය සෙවීමට කාලය නාස්ති කිරීමෙන් ඵලක් නැත. ඵලදායි දේ සඳහා වැය කිරීමට ඇති වටිනා කාලය අප අනවශ්‍ය දෙයකටයි නාස්ති කරන්නේ. ධර්මයට අනුව එම සිතුවිල්ල මිත්‍යා දෘෂ්ටියක් ලෙසටයි සැලකෙන්නේ. බුදුරජාණන් වහන්සේ තම අනුගාමිකයන්ට තාර්කික විය යුතු බවට උගන්වා ඇත. මෙවැනි පාවෙන අදහස් පැහැදිලිවම මිත්‍යාවන් ය. එය තර්කානුකූල නොවන අතර බුද්ධිමත්ද නොවේ.” තෙරුන්වහන්සේ කරුණු පැහැදිලි කළේය.

බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බවට කිසිඳු ඓතිහාසික සාක්ෂියක් නොමැති බවට කැලණිය විශ්වවිද්යාලයේ ඉතිහාස අධ්‍යයනය අංශයේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්ය හසිත චාමිකර ගුණසිංහ මහතා අප සමඟ පැවසුවේය. “මෙම මතය ඉදිරිපත් කරන පිරිස තමන්ගේ පදනම කරගන්නේ ඉන්දියානු අධිරාජ්‍යවාදය හේතුවෙන් බුදුන් වහන්සේ ලක්දිව උපන් බවට වසන් කෙරුණාය යන දුර්වල තර්කය. ඒ ඔස්සේ තමන්ගේ අනුගාමිකයන්  තුළ කිසියම් ආකාරයක ඉන්දියානු විරෝධී ආකල්පයක් ජනිත කරවනු ලබන අතර, ඔවුන් මීළඟට සිදු කරන්නේ ප්‍රකට සාහිත්‍ය  මුලාශ්‍ර  උපයෝගී කොටගෙන තමන්ගේ මතය තහවුරු කරලීමට සූක්ෂමව කටයුතු කිරීමයි. එහෙත් එම සාහිත්‍ය මුලාශ්‍ර සම්පුර්ණයෙන්ම හොඳින්  කියවද්දී  පැහැදිලි වන්නේ  ඔවුන් සඳහන් කරන අන්දමේ අදහසක් එම ග්‍රන්ථ වල අන්තර්ගත නොවන බව.”

ඓතිහාසික වාර්තා වැරදි ලෙස අර්ථකථනය කිරීම-
“මෙම පිරිස නූතන අර්ථයෙන් පැරණි වචන විශේෂයෙන් නම් විග්‍රහ කරන ආකාරය වැරදියි.  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව බුදු සමයෙන් සුපෝෂිත සම සංස්කෘතියක් විසින් හැඩ ගස්වා ඇති බැවින් එක සමාන ස්ථාන නාම දෙරටෙහිම දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්.” මහාචාර්ය කුලතුංග මහතා පැහැදිලි කළේය. ඇතැම් විට මෙම පිරිස් මෑතකදී රචනා කරන ලද පොත් වල සඳහන් කරුණු සාක්ෂි ලෙස ඉදිරිපත් කරති. සමහර යෙදුම්, විශේෂයෙන් මිනුම් ඒකක, කාලයත් සමඟ වෙනස් වෙන බැවින් නූතන අර්ථයෙන් මේවා දෙස බැලීම පැහැදිලි ලෙසම ගැටළු සහගතයි.”

“ඉතිහාසය අධ්යයනය කරන විට, අපි සියලු සාක්ෂි සාධක එකට පෙළ ගස්වා ගෙන ඒවා එකිනෙක සමඟ සංසන්දනය කරන්නෙමු. අපගේ කැමත්ත හෝ අකමැත්ත මත පදනම්ව සාක්ෂි නොසලකා හැරීම හෝ තෝරා ගැනීම අපට කළ නොහැක. ”

අප භාවිතා කරන මූලාශ්‍රයන්ගේ පසුබිම අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බව මහාචාර්ය කුලතුංග මහතා පැවසීය. “එම ලේඛකයින්ගේ දේශපාලන හා ආගමික පසුබිම සහ ඔවුන්ගේ අරමුණු ද අප හොඳින් අධ්‍යයනය කළ යුතුයි.”

“ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරන්නා පරිගණකයක් මෙන් විය යුතුය. අප කිසිම ආගමකට, ජාතියකට, කුලයකට හෝ ජනවර්ගයකට නොබැඳි සිටිය යුතුය. ඉන් අනතුරුව අප ලබා ගන්නා දත්ත මත පදනම්ව කරුණු විශ්ලේෂණය කරන්නෙමු. හිතළු, මනංකල්පිතයන් හා හැඟීම් පසෙකට දැමිය යුතුය. ඉතිහාසය හදාරන්නේ මෙවන් ශාස්ත්‍රීය ක්‍රමයකටයි. නමුත් වැරදි මතවාද පතුරුවන මෙම පිරිස ඉතිහාසය හෝ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් පුහුණුවක් ලත්අය  නොවේ”, යැයි මහාචාර්යවරයා පැහැදිලි කළේය. 

මහවංසයට චෝදනා කිරීම –
අපගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහාචාර්ය කුලතුංග මහතා, “මහාවංසය යනු බෙදුම්වාදීන්ට ඇති ප්‍රභලම අභියෝගයයි. එහි සත්‍යතාවය පිළිගන්නාතාක් ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම දුෂ්කර ය. දිවයින පුරා විසිරී ඇති සෙල්ලිපි දහස් ගණන සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. ඉතින්, සිදුවෙමින් පවතින්නේ මහාවංශය සහ පුරාණ සාහිත්‍ය මුලාශ්‍ර විශ්වාස කළ, ඒවාට ගරු කළ මිනිසුන් අතරින්ම ඒවාට විරෝධයක් ඇති වන ආකාරයට කටයුතු කිරීමයි.”
“මෙයින් සිදු වන්නේ බෞද්ධ පිරිස් බෙදී යාමකි. මෙහි බරපතල සහ භයානක අර්බුධය වන්නේ බෙදුම්වාදය වෙතට ගමන් කරන බැවිනි.”

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටියාරච්චි මහතා මෙසේ පැවසීය. “මහවංසය බොරුවක් යැයි කීමෙන් ‘ජාතික අභිමානය ’යන සංකල්පයට හානි සිදු වන්නේය. අපේ ඉතිහාසයේ හා සංස්කෘතියේ මූලයන්ට හානි කිරීම ඉතා ඍණාත්මකය. අප අතර බෙදීමක්, අසමගියක් ඇති කරවීමට යත්න දරන පිරිස් වලට අවශ්‍යව ඇත්තේ මහාවංස විරෝධයක් අප අතරින්ම ඇති වනු දැකීමයි.”

මහාචාර්ය හෙට්ටියාරච්චි මහතා තවදුරටත් මෙසේ පැවසීය, “මහාවංසය යනු ඉතිහාසය පමණක් සටහන් කරන ග්‍රන්ථයක්  නොවේ. එයට ඉතිහාසය, ධර්මය හා සාහිත්‍යයද ඇතුළත්ය. අපි එය නිසි ලෙස තෝරා ගත යුතුයි. පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් මට කිව හැක්කේ, අප සිදු කරන සැම කැණීමක් හෝ පුරාවිද්‍යා ගවේෂණයක් පාසාම මහාවංසයේ සත්‍යතාවය ඔප්පු වන බවයි.”

“ථේරවාද බුදු සමයේ ඉතිහාසය වාර්තා කොට තැබීම සඳහා මහාවංසය රචනා කරන ලද්දේ ථෙරවාදී සම්ප්‍රදායේ භික්ෂූන් විසිනි. එබැවින් එහි කතෘ ගේ ප්‍රධාන අරමුණ වී ඇත්ත වශයෙන්ම ආගමික එකක්ය. නමුත් මහාවංස කතෘ සිය ප්‍රධාන අරමුණ තුළම රැඳෙමින් දේශපාලන, සමාජීය, සහ සංස්කෘතික තොරතුරුද සිය ග්‍රන්ථයට ඇතුළත් කරන ලදී. එහිදී කතෘ හිමිනම තම කරුණු වල සත්‍යතාවය ගැන සැලකිලිමත් වූ බව අපට පැහැදිලිවම දැකගත හැකිය. ඒ නයින් බලන කල මහාවංසය යනු අතීතය පිළිබඳ කවුළුවක් හා සමානය. ඒ කවුළුව තුළින් බලා අපට දැකගතහැකි කරුණු විශ්ලේෂණයට ලක් කළ යුතුය”, ගුණසිංහ මහතා පැවසිය.

“පාලි සාහිත්‍ය මූලාශරයන් පිළිබඳව යමෙකු සැක කරන්නේ නම් ඔවුන්ට ජෛන සාහිත්‍යය අධ්‍යයනය කළ හැකිය. ජෛන සාහිත්‍ය මූලාශ්‍,ර පාලි මූලාශ්‍රවල ලියා ඇති දේ තහවුරු කරයි. වෛදික, සංස්කෘත සහ ආසියාවේ අනෙකුත් සියලුම පුරාණ සාහිත්‍යය ප්‍රභවයන් සමඟ ඒවා සංසන්දනය කළ හැකිය. ඉන්පසු ඒවා සියල්ලම පුරාවිද්‍යාත්මක දත්ත සමඟ සසඳන්න. මේ සියල්ල නොකර ඔබට ප්‍රබන්ධ විශ්වාස කළ නොහැකිය. ” මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් පැහැදිලි කළේය.

ක්‍රි.පූ. 3 වන සියවසට පෙර ලක්දිව සෙල්ලිපි තිබේද?
“අප මෙම ප්‍රශ්නය කරුණු කිහිපයක් ඔස්සේ විශ්ලේෂණය කළ යුතුය.” මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි අභිලේඛන පිලිබඳ විශේෂඥයෙකි. 

“1. පැරණි තාක්ෂණය – ගල් මත ලිවීමට අවශ්‍ය වන්නේ වාණේ මෙවලම් ය. එම කාර්යය සඳහා යකඩ මෙවලම් වල ශක්තිමත්බව ප්‍රමාණවත් නැත. ආචාර්ය දැරණියගල මහතා සිය පර්යේෂණ කටයුතු ඔස්සසේ ඳහන් කරන්නේ අප ක්‍රි.පූ. 9 වන සියවසේදී යකඩ භාවිතා කළ බවයි. නමුත් එම යකඩ මෙවලම්  ගල් මත ලිවීමට තරම් ශක්තිමත් නැත. අපගේ වාණේ තාක්ෂණය දියුණු වූයේ උතුරු ඉන්දියානු සංක්‍රමණ සහ  මහින්ද මහරහතන්වහන්සේගේ පැමිණීම හේතුවෙනි. ක්‍රි.පූ. 3 වන සියවසෙන් පසුව  ශ්‍රී ලංකාව තුළ උසස් වාණේ තාක්ෂණයක් පැවති බවට සාධක අපට දැකගත හැකිය. එබැවින් ක්‍රි.පූ. 3 වන සියවසට පෙර අප සතුව සෙල්ලිපි ඇති බව පැවසීම විද්‍යාත්මක නොවේ.”

“මම විශේෂයෙන් සඳහන් කිරීමට කැමති තවත් කරුණක් නම්, ක්‍රි.පූ. 3 වැනි සියවසට පෙර අප සතුව දියුණු තාක්ෂණයක් තිබුනේ නම්, අපට සඳකඩ පහණ, කොරවක්ගල් සහ මුරගල් වැනි ගල් කැටයම් දක්නට නැත්තේ ඇයි? මේ සියල්ල නිර්මාණය කරනු ලැබුවේ ක්‍රි.පූ 3 වන සියවසෙන් පසුවය.”

“2. සෙල්ලිපි වල භාවිත භාෂාව – අපගේ පැරණිම සෙල්ලිපි වල භාෂාව සහ ශෛලිය ප්‍රාථමික ලක්ෂණ පෙන්නුම් කරයි. අශෝකගේ සෙල්ලිපි ඉතාම අලංකාර ලෙස නිමවා ඇත. රුමින්දෙයි අසෝක සෙල්ලිපිය (ලුම්බිණිහි පිහිටි) එවැනි එක් උදාහරණයකි. එහි මතුපිට හොඳින් ඔප දමා සමතලා කර ඇත. වැකි කෙලින් රේඛාවක ලියා ඇති අතර අකුරු සමමිතික වේ. අපගේ පැරණිම සෙල්ලිපි මෙයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්නුම් කරයි. එසේම අපගේ මුල් සෙල්ලිපි වල ව්‍යාකරණ ලක්ෂණ වල යම් යම් දෝස දක්නට ලැබේ. එයට හේතුව මෙම තාක්ෂණය මෙන්ම අක්ෂර වර්ගයද අපට අලුත් වූ බැවිනි.”

“මා විශ්වාස කරන දෙය නම් ක්‍රි.පූ. 3 වන සියවසට පෙර ගල් මත ලිවීමේ කලාවක් අප සතුව නොතිබුණු බවයි.”

“අපගේ මුල් සෙල්ලිපිවල පද බෙදීමේ අඩුපාඩුවක් දක්නට ඇති බවද මහාචාර්යවරයා පැහැදිලි කළේය. එබැවින් මේවා වැරදි ලෙස අර්ථ දැක්වීම පහසුය. මෙම වැරැද්ද සිදුවී ඇත්තේ ගල් වඩුවා භාෂාව ගැන නොදැන සිටි බැවිනි.”

යක්ෂ භාෂාව – 
“මෙම කණ්ඩායම් සෙල්ලිපි සහ පුස්කොළ පොත් වල සඳහන් වන පුරාණ යක්ෂ භාෂාවක් ගැන කතා කරති. මම සෙල්ලිපි දහස් ගණනක් කියවා, අර්ථකථනය කර පිටපත් කර ඇත්තෙමි. නමුත් යක්ෂ ශිලාලේඛන පිළිබඳ සාක්ෂි හමු වන්නේ නැත. සෙල්ලිපිවල දක්නට ලැබෙන සංකේතයන් යක්ෂ භාෂාව යනුවෙන් මේ පිරිස්  වැරදි ලෙස අර්ථකථනය කර ඇති අතර එය වැරදිය. ඒවා විවිධ ගෝත්‍ර, කුල සහ මංගල සංකේත වේ. සමහර ඒවා මහායානය, වජ්‍රයානය සහ තන්ත්‍රයානය තුළ එන විවිධ ඇදහිලි, යන්ත්‍ර මන්ත්‍ර ආදී සංඛේතය.”

රාවණා මිත්‍යා කතාන්දරයකි –
මහාචාර්ය කුලතුංග මහතා පැවසුවේ “රාවණා යනු මනංකල්පිත කතන්දරයක් ” බවයි. “බලි, තරු, රාවණා යන සියල්ලම මනංකල්පිතයන් මිස ඓතිහාසික රජවරුන් නොවේ.”

රාවණා යනු ප්‍රබන්ධ චරිතයක් පමණි. රාවණා ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ  සිටි බවට කීමට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. ’’ ගුණසිංහ මහතා පැවසීය. රාමායණය ලියා ඇත්තේ රාම කුමරුවන්ට ප්‍රශංසා කිරීමත්  සහ ඔහු වීර පුරුෂයෙකු ලෙස නිරූපණය කිරීමත් සඳහා ය. එබැවින් රාමායණය ලිවීමේ පරමාර්ථය සලකා බැලීමේදී එය පුරාණ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ මූලශ්‍රයක් ලෙස සැලකිය නොහැක.”

දරුණු ප්‍රතිවිපාක…
“මෙය සැහැල්ලු ලෙස සැලකිය යුතු දෙයක් නොවේ”, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේය. “මේවා සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන අතර සාමාන්‍ය ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඔවුන්ව අනුගමනය කරයි.”

“මෙම මිත්‍යාවන් සහ වැරදි මතවාද රටේ ඉතිහාසයට මෙන්ම සංස්කෘතියට හානිදායකයි. ඔවුන් ඓතිහාසික චරිතවල ප්‍රතිරූපයට හානි කරන අතරම  ඓතිහාසික ස්ථානවලටද හානි කරයි. එසේම රටේ ඉතිහාසය ගැන සාමාන්‍ය මිනිසුන් තුළ  කිසියම් නොපැහැදිලි සහගත මංමුලා වූ  බවක් මෙවන් මතවාද නිසා ජනිත කරවන්නේය.”

බෞද්ධ පිරිස් අතර අසමඟියක්… 
“මහාපරිනිබ්බාන සුත්‍රයේ, බුදුන් වහන්සේ තම ශිෂ්‍යයන් (භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා) මනා කොට ධර්මය හදාරා, පුහුණුව ලබා අභියෝගයන්ට මුහුණ දීමට තරම් ශක්තිමත් වනතුරු උන්වහන්සේ  පිරිනිවන් නොපාන බව  වදාළ සේක. බුදුන්වහන්සේගේ ඉගැන්වීම් මෙම සිවුවණක්  පිරිසේ එකමුතුකම අවධාරණය කරයි ”, මහාචාර්ය පූජ්‍ය  රළුවේ පද්මසිරි හිමියන් සඳහන් කළේය.  “බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ මෙම පිරිසේ සමඟිය සහ එකමුතුකමට  හානි සිදු වූ මොහොතේ, එතැන් පටන් සාසනයේ පරිහාණිය  ආරම්භ වන බවයි.”

“මෙවන්  මිත්‍යාවන් බැතිමතුන් ඈත් කරයි. බුදුන්වහන්සේගේ දහම් පණිවිඩය උතුම්ය. ඉදින් ඒ උතුම් වූ පණිවුඩය ඉගැන්වීම වෙනුවට අප මෙවැනි මිත්‍යාවන් දිරිමත් කිරීම හෝ පෝෂණය කිරීම හෝ නොකළ යුතුය. සැබෑ බෞද්ධයන් එවැන්නන්ට සහාය නොදක්වයි.”

රාමුවෙන් පිට සිතන්න… නමුත් මුල් බැස ගන්න –
“මෙවැනි මිත්‍යා මතවාද යනු, රාමුවෙන් පිට සිතීමක් හෝ නිදහස් චින්තනයක් හෝ පිළිබඳ උදාහරණ නොවේ.” මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමි පැහැදිලි කළේය. 

“නිදහස් චින්තනය යනු  විශිෂ්ට දෙයකි. බුදුන් වහන්සේ ද කළේ එයයි. නමුත් අපට එය කළ හැකිද? එය දාර්ශනික දෘෂ්ටිකෝණයකින් පැහැදිලි කර යුතුය. රාමුවට පිටින් යාමට නම්, බාධක බිඳ දැමීමට නම්, අපට සුදුසුකම් මාලාවක් තිබිය යුතුය. යම් පුද්ගලයෙක් මෙම සම්ප්‍රදායයන්ගෙන්  වියුක්ත වන්නේ නම්, එසේ කරමින් ඔහු හෝ ඇය ගමන් කරන්නේ කොතැනටද? දාර්ශනිකව ගතහොත් කිසිවෙකුත් නිදහස් චින්තකයෙක් නොවේ. සියලු චින්තනය කොන්දේසි සහිත ය. නිදහස් චින්තනය පවා යමෙකු විසින් සකස් කරන ලද්දකි. නූතන නිදහස් චින්තනය යනු නිර්මාණය කරන ලද ව්‍යාපාරයකි.  මෙම නිදහස් චින්තන ව්‍යාපාරය පිටුපස ආගමික හා දාර්ශනික මතවාද ඇත. එයින් අදහස් කරන්නේ, එක් විශ්වාස පද්ධතියකින් පුද්ගලයෙකු ඉවත් කර වෙනත් චින්තනයකට හෝ විශ්වාස පද්ධතියකට යොමු කරවීමයි – මෙම අතරමැදි ක්‍රියාවලිය නිදහස් චින්තන ලෙසට සැලකෙන්නේය.”

“බෞද්ධ චින්තනය මිනිසුන් සංස්කෘතින් හෝ වෙනත් සීමා මායිම් වලින් බැඳ නොතබයි. ධර්මයේ සඳහන් වන පරිදි, ‘ඔබ තබන ඊළඟ පියවර, හොඳ සහ නරක මත පදනම් කර ගත යුතු සේම, ඔබටත් අන් අයටත් එය කොතරම් වැඩදායි යන්නේද යන්නත් ගැන සැලකිලිමත් වන්න.”
“ඔබ හොඳ යැයි සම්මත එක් හොඳ දෙයක් ප්‍රතික්ෂේප  කොට වෙනත් දිසාවක් කරා ගමන් කරන්නේ නම්,  ඒ යන නව දිසාව  වඩා හොඳ වීම වැදගත්ය. මෙවන් උගුල් වලට හසු වී ඔබවත් අන් අයවත් විනාශය කරා ගෙන යන්න එපා.” උන්වහන්සේ පැහැදිලි කර දුන්නේය.

සියලු දෙනාගේ වගකීම…
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා අප සමඟ මේ සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කළේය.  “අපට මාධ්‍ය නිදහස සීමා කළ නොහැක, එය ඔවුන්ගේ නිදහසයි. කෙසේ වෙතත්, ඔවුන් ප්රකාශයට පත් කරන හෝ විකාශනය කරන සන්දර්භය පිළිබඳව වගකීම් සහගත විය යුතුය.  මෙය ඉතා වැදගත්ය. මෙම මිත්‍යාවන් තුළින් සිදුවන්නේ රටේ උරුමයට හානි කිරීම හා විහිලුවට ලක් කිරීමයි.”

“පාසල් දරුවන් සහ මහජනතාව  දැනුවත් කිරීමෙන් නිවැරදි ඉතිහාසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකම හා වගකීමයි.” අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.

මෙහි මුල් ලිපිය වෙත පහත ලිපිනය තුළින් පිවිසෙන්න : 
https://ceylontoday.lk/news/distortion-of-history​ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap