Opinion

ශාක සාර මත පදනම් වූ දේශීය ඔසු

Summary

ලෝපුරා ගිලණුන් සුවපත් කිරීමට විවිධ රටවල ශාක සමිපත් ජාති ආගම්
සංස්කෘති භේදයකින් තොරව නොමසුරුව දායක වී තිබේනවා.

ශාක සාර මත පදනම් වූ දේශීය ඔසු පිළිබඳව මහත් උනන්දුවක් ඇතිවී තිබීම ඉතාමත් සතුටු දායක ප්‍රවණතාවක්. එහෙත් මේ පිළිබඳව නිවැරදි විද්‍යාත්මක පසුබිම් බොහෝ දෙනාට ප්‍රෙහෙලිකාවක් වී තිබෙනවා. ඊට හේතුව නොයෙක් මාධ්‍ය මගින් ප්‍රචාරය කොට ඇති අසත්‍යය අර්ථ නිරූපණ බව පැහැදිලියි. මේ සටහනේ අරමුණ මෙහි සත්‍ය තත්වය ඔබට පැහැදිලි කිරීමයි.

වර්තමාන බටහිර වෙදකමේ භාවිතාවන ඖෂධ වලින් 40% පමණ බිහි වී ඇත්තේ ලෝකයේ නොයෙක් ඉපැරණි ශිෂ්‍ඨාචාර වල භාවිත කල ශාක පදනම් වූ දේශීය ඖෂධ තවදුරටත් දියුණු කිරීමෙන් බැව් බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඔබ හොඳින් හදුනන Asprin පෙත්තේ සිට සමහර සංකීර්ණ පිලිකා නාශක ඔසු දක්වා පුළුල් පරාසයක විසිරුණු ඖෂධ විශාල සංඛ්‍යාවක් මෙසේ ඖෂධීය ශාක පදනම් කොට සොයාගෙන තිබෙනවා.

පිලිකාවන්ට එරෙහිව භාවිතාවන දිනපතා ශ්‍රී ලංකාවේ සහ ලොව ජීවිත ගණනාවක් ගලවන paclitaxel (Taxol) ඔසුව සොයාගන්නා ලද්දේ ඇමරිකාවේ උද්‍යාන වල පවා දකින්නට ලැබෙන ශාකයකින්. එසේම මැලේරියාවට එරෙහිව ලොවපුරා දැන් භාවිතාකරන Artemisinin හෙලිදරව් කරන ලද්දේ චීනයේ දේශීය වෙදකමේ භාවිත වන බෙහෙත් පැලැටි විශ්ලේෂණය කිරීමෙන්. ඒ
වගේම, ශ්‍රීලංකාවේ බොහෝ දියවැඩියා රෝගීන්ට ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සදහා නියම කරන Metformin ඖෂධය සොයාගෙන ඇත්තේ මධ්‍යධරණි කලාපයේ ශාක විශේෂයකින්. එනිසා, ලෝපුරා ගිලණුන් සුවපත් කිරීමට විවිධ රටවල ශාක සමිපත් ජාති ආගම් සංස්කෘති භේදයකින් තොරව නොමසුරුව දායක වී තිබේනවා.

මුලින්ම ශාක වලින් හෙලිදරව් කල මේ මහගු ඔසු බොහොමයක් ඉන්පසු මහා පරිමාණයෙන් නිපදවීම සිදු කරන්නේ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා කෘතිමව සංස්ලේශණය කිරීම මගින්.

මෙසේ ශාකයක හදුනාගත් ඖෂධීය ගුණයක් පසු පස හඹා ගොස් ඊට හේතු වූ රසායනික සංයෝගයන් වෙන් කොට පිළිගත් මට්ටමේ ඖෂධයක් නිපදවීම වසර 20ක් පමණ දිගු කලක් ගතවන සංකීර්ණ ක්‍රියාවලියක් . එසේම මෙය නොයෙක් නිපුණතා හා ප්‍රාගුණ්‍යය ඇති විද්වතුන් කණ්ඩායම් ගණනාවක් සහභාගිවිය යුතුවු සාමුහික ප්‍රයත්නයක්. මේ හේතුන් නිසා ඖෂධීය ශාකයකින් ඔසුවක් නිපදවීම ඉතා දුෂ්කර ක්‍රියාවලියක්.

මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි ශාක සාර බෙහෙත් ලෙස යොදා ගන්නට පටන් ගෙන ඇත්තේ. මෙහිදි ඖෂධීය ගුණ ඇති සංයෝග මුලුමනින්ම වෙන්කොට පිරිසිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට ශාකයෙන් නිස්සාරණය කල ශාක සාර යම්තාක් ප්‍රමාණයකට පමණක් පිරිසිදු කොට ශාක සාර නිස්සාරිතයක් පිළියෙල කරනවා. මෙවැනි ශාක සාර නිස්සාරිත වෙළෙඳ පොලට ගෙන එන්නට එතරම් කාලයක් වැය වන්නේ නෑ. විශාල තාක්ෂණයක් අවශ්‍යත් නෑ. ඒ වගේම ඊට බලපාන ප්‍රමිති හා නීති රීති සාමාන්‍ය ඖෂධ වලට වඩා ලිහිල්. මේ නිසා දන් dietary supplements ලෙස අති විශාල සංඛ්‍යාවක් ඖෂධීය ශාක සාර නොයෙක් රෝග ඉලක්ක කර නිපදවෙනවා. ඩොලර් බිලියන ගණනක් විශාල මේ වෙළඳ පොල ඉතා වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතිනවා. ශ්‍රීලංකාවේ බොහෝ විරල ඖෂධීය ශාක තිබුණත් තවමත් අපේ රටේ ශාක සාර මේ මට්ට්මට ඇවිත් නෑ. ඉන්දියාව ඒ අතින් ගව් ගණනාවක් ඉදිරියෙන්.

මෙවැනි ශාක සාර හෝ වට්ටෝරුවකින් නිපදවන ඔසුවක් ජනතාව භාවිත කිරිමට පෙර එහි සංයුතිය, ඖෂධීය ගුණ ඇති සංයෝග සහ අපද්‍රව්‍ය පිළිබඳව නිසි හැදෑරීමක් කළ යුතුයි. මේ ව්ටිනා ඔසුවක අයිතිය පැහැර ගැනිමට නොව අසරණ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බව වටහා ගත යුතුයි. ඊට අවශ්‍ය තාක්ෂණය ලංකාවේ තිබෙනවා.

විශේෂයෙන්ම සිංහල බෙහෙත් සහ ඇතැම් බටහිර ඔසු එකට භාවිතයත් බොහෝ හානිකර ප්‍රතිඵල ගෙන දිය හැකියි.

ශාක මත පදනම් වූ දේශීය ඔසුවල දැනට සුවකල නොහැකි බොහෝ රෝග සුවකිරීමේ නිසග හැකියාව පිළිබඳව කිසිම සැකයක් නැහැ. එහෙත් එවා මෙසේ නව රෝගි තත්වයකට ප්‍රතිකාර ලෙස යොදා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම අදාල ප‍ර්යේෂණ වලට ලක් කල යුතුයි.

Leave a Reply

Your email address will not be published.