COLUMN

සංස්කෘතියෙන් එකතුකිරීම – 25 වැනි කොටස

Summary

මෙ ලෙසින් ඉතා නිවැරැදිව බිම් මට්ටමේ සම්පත් හඳුනාගෙන මිනිසුන් සංවිධානය කරන්නේ නම් මූල්‍යමය ප්‍රාග්ධනය සහ අනෙකුත් ප්‍රාග්ධන වත්කම් සපයාගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත්තේ ය. මෙහි දී අදාළ ප්‍රාග්ධන එක් රැස්කිරීම් සඳහා “ඇපවන්නේ” අදාළ සමාජ නායකත්වය පිළිබඳව මිනිසුන් තුළ පවතින විශ්වාසය ය. තව ද, අදාළ ආර්ථික කටයුතු තමන්ගේ සමාජ සීමාව තුළ සිදුවන බැවින් ඒවායේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීමට සෑම කෙනකුට ම හැකිවෙයි.

බෞද්ධ ජනරජ ප්‍රවාදය

මුදල් ඉපැයීම සඳහා යොදාගනු ලබන ඕනෑම වත්කමක් ප්‍රාග්ධනය නමින් (ප්‍රාග්ධන වත්කමක් නමින්) හැඳින්වෙයි. අදාළ ප්‍රාග්ධන වත්කම් ඉඩම් සහ ගොඩනැඟිලි, කර්මාන්ත ශාලා සහ යන්ත්‍රෝපකරණ වැනි ස්ථාවර, ස්පර්ශ කළ හැකි දෘඩ ඒවා ද; වාහන වැනි ජංගම ඒවා ද; කීර්තිනාමය, පේටන්ට් අයිතිය වැනි ස්පර්ශ කළ නොහැකි ඒවා ද විය හැකි ය. යම් අයකු හෝ ආයතනයක් හෝ විසින් ප්‍රාග්ධන සම්පත් රැස් කරගන්නේ සහ පවත්වාගෙන යනු ලබන්නේ මුදල් ඉපැයීමේ පරමාර්ථයෙනි. බොහෝ විට, මෙම ප්‍රාග්ධන සම්පත් අත්පත් කරගැනීම සහ පවත්වාගෙන යෑම වෙනුවෙන් මූල්‍යමය ප්‍රාග්ධනය වැයකිරීමට සිදුවෙයි.

මූල්‍යමය ප්‍රාග්ධනය රැස් කරගත හැක්කේ කෙ ලෙසින් ද? නිසැකයෙන් ම, යමකු විසින් උපයනු ලබන ආදායමෙන් කොටසක් ඒ සඳහා කැප කළ යුතු වෙයි. යමකු විසින් උපයනු ලබන ආදායම කොටස් සතරකට බෙදා එයින් කොටසක් එදිනෙදා පරිභෝජනයට ගත යුතු බව ද කොටස් දෙකක් ආයෝජනයකට යෙදවිය යුතු බව ද ඉතිරි කොටස තැන්පත් කර ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා තබාගත යුතු බව ද සිඟාලක ගෘහපති පුත්‍රයාට බුදුරජාණන්වහන්සේ ලබාදුන් අවවාද තුළ සඳහන් වෙයි. කොටස් සතරින් දෙකක් ම (එනම්, මුළු ආදායමෙන් හරි අඩක් ම) ආයෝජනය සඳහා යෙදවීමට උපදෙස් දීමෙන් ම එහි වැදගත්කම පැහැදිළි වෙයි.

කෙසේ වුව ද, යමකු විසින් උපයනු ලබන ආදායම ඉතා සුළු එකක් වූ කල්හි එයින් වෙන් කළ හැකි මූල්‍යමය ප්‍රාග්ධනය ද ඉතා සුළු එකක් වෙයි. එහෙයින් ඒ ඒ පුද්ගලයා විසින් තනි පුද්ගල මට්ටමින් රැස් කරනු ලබන ප්‍රාග්ධනය කිසියම් කර්මාන්තයක් සඳහා යෙදවීමට (ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන වත්කම් මිල දී ගැනීමට) ප්‍රමාණවත් නොවිය හැකි ය. බැංකු ක්‍රමය සහ කොටස් වෙළෙඳපොළ නිර්මාණය කර ඇත්තේ මෙම ගැටලුව විසඳීමේ අරමුණ ඇතිව ය.

එ නමුදු, බැංකුවකින් ණයක් ගැනීමට අවශ්‍ය පූර්ව අවශ්‍යතා (වත්කම් ඇප තැබීම වැනි අවශ්‍යතා) සම්පූර්ණ කිරීම සුළු වශයෙන් ආදායම් උපදවන්නකුට අසීරු ය. එහෙයින් එවැන්නකුට බැංකුවකින් ලබාගත හැක්කේ ද ඉතා කුඩා ණය මුදලකි. ඒ වෙනුවෙන් දැරිය යුතු වෙහෙස ද පිරිවැයක් වන බැවින් බොහෝ දෙනා බැංකු ණය ගැනීමට මැළිවෙති. කොටස් වෙළෙඳපොළ යනු බිම් මට්ටමේ ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය සපයාගත හැකි ස්ථානයක් නොවේ. එහි සේවය ලබන්නේ විශාල පිරිවැටුමක් හිමි මහා පරිමාණයේ ව්‍යවසායකයන් ය.

එසේ නම්, මෙම ගැටලුව විසඳාගත හැක්කේ කෙ ලෙසින් ද?

මෙය විසඳාගත හැක්කේ මිනිසුන් සහ ඔවුන් සතු ආයෝජන අරමුදල් බිම් මට්ටමේ දී ම එක්රැස් කරවීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමෙනි. සාමූහික ඇගැයීම්වලට මුල් තැන දෙන සංස්කෘතියක මිනිසුන් එකතුකරවීම අපහසු කාර්යයක් නොවේ. මේ සඳහා අවශ්‍ය වනුයේ අදාළ සංස්කෘතික හැසිරීම් ගැන මනා අවබෝධයකින් යුතුව අවශ්‍ය ක්‍රමවේද නිශ්චිතව හඳුන්වාදීමේ හැකියාව ය.

සාමූහිකත්වයට මුල් තැන දෙන සංස්කෘතියක් තුළ මිනිසුන් එකතු කරවිය හැකි ක්‍රම බොහෝ වෙයි. නෑදෑ සබඳතා, යාළු මිත්‍රකම්, අසල්වැසිකම් සහ ගම් මට්ටමේ සමාජ සබඳතා ඒ අතර ප්‍රමුඛ වෙයි. එවැනි සංස්කෘතීන් තුළ සිටින සමාජ නායක කාරකාදීන්ගේ සේවය ද (භික්‍ෂුන්වහන්සේලා වැනි සමාජ නායකයන්ගේ සේවය ද) මේ සඳහා යොදාගත හැකි ය. ආර්ථික කාර්යයන් සමඟ අදාළ සංස්කෘතික සාධක සීහුම්කිරීමට හැකි නම් ඒ ඔස්සේ මූල්‍යමය ප්‍රාග්ධනය සහ අනෙකුත් ප්‍රාග්ධන වත්කම් ඒකරාශී කිරීම අපහසු කාර්යයක් නොවනු ඇත.

සමාජයක් සතු ඇතැම් පොදු ප්‍රාග්ධන වත්කම් (උදාහරණ, පන්සල්) ගොඩ නැගී ඇත්තේ ම සංස්කෘතික ප්‍රයත්න ඔස්සේ ය. ඒ සඳහා භික්‍ෂූන්වහන්සේලා ප්‍රමුඛ ග්‍රාමීය නායකයන්ගෙන් ලැබෙන නායකත්වය ගැන අපි දනිමු. බිම් මට්ටමේ ඇති සම්පත් නිවැරැදි ලෙසින් හඳුනාගැනීමට ද මෙම සමාජ – සංස්කෘතික නායකයන් මැදිහත් කරවාගත හැකි ය. තව ද, මෙම ප්‍රවාදයෙන් යෝජනා කරනු ලබන ගම් සභා සහ නාගරික සභා වැනි බිම් මට්ටමේ පාලන ආයතන ද මේ සඳහා යොදාගත හැකි ය.

මෙ ලෙසින් ඉතා නිවැරැදිව බිම් මට්ටමේ සම්පත් හඳුනාගෙන මිනිසුන් සංවිධානය කරන්නේ නම් මූල්‍යමය ප්‍රාග්ධනය සහ අනෙකුත් ප්‍රාග්ධන වත්කම් සපයාගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත්තේ ය. මෙහි දී අදාළ ප්‍රාග්ධන එක් රැස්කිරීම් සඳහා “ඇපවන්නේ” අදාළ සමාජ නායකත්වය පිළිබඳව මිනිසුන් තුළ පවතින විශ්වාසය ය. තව ද, අදාළ ආර්ථික කටයුතු තමන්ගේ සමාජ සීමාව තුළ සිදුවන බැවින් ඒවායේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීමට සෑම කෙනකුට ම හැකිවෙයි.

සාමූහික ප්‍රාග්ධනයෙන් ක්‍රියාත්මක කළ හැකි මෙවැනි ආර්ථික කටයුතු බිම් මට්ටමින් අරඹා ඒවායේ කොටස් හිමිකම එහි වසන අයට ලබාදීමෙන් ද ග්‍රාමීය (සහ නාගරික) ආයෝජන අරමුදල් ඇති කර ඒ මාර්ගයෙන් අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදන කිරීමෙන් ද මෙය කළ හැක්කේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.