COLUMN

සසුන රැකීමේ අරමුණ සහ රාජ්‍ය බලය – 3 වැනි කොටස

Summary

ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට පමණක් නොව කාලය සමඟ ද වෙනස්වීමට ඉඩ නො දී බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගත යුතු ය. වෙනසක් වෙනවා නම් සිදුවිය යුත්තේ ශාසනය පෝෂණය කිරීමේ අර්ථයෙන් පමණකි. එහෙයින් “බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම” යන පොදු සංස්කෘතික අරමුණ තුළ ජාතිය ගොනු කිරීමට සිංහලයෝ කටයුතු කළහ. ඒ ඔස්සේ ජාතියට ඒකාත්මීයභාවයක් ලබාදීමට ඔවුහු සමත් වූහ. එ හෙයින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය තහවුරු කිරීම උදෙසා මෙම පොදු ජාතික අරමුණ අත්‍යවශ්‍ය බව අපි තේරුම් ගනිමු.

බෞද්ධ ජනරජ ප්‍රවාදය – 3

බහුතරයකට පිළිගත හැකි පොදු සංස්කෘතික අරමුණක් හඳුනා නො ගත් කල ජාතියක ශක්තිය රාජ්‍යයේ බලය වෙනුවෙන් ගොනු කළ නො හැකි ය. බෙලහීන වූ රාජ්‍යයකට කිසිදු සමාජ – ආර්ථික ඉලක්කයක් සාක්‍ෂාත් කරගත හැකි නොවේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය ගොඩ නැගුණේ “බුද්ධ ශාසනයේ චිරස්ථිතිය” නම් පොදු සංස්කෘතික අරමුණ මුල් කරගෙන ය.

මේ උදෙසා සිංහලයන් විසින් “බුද්ධ ශාසනයේ චිරස්ථිතිය” යන සංස්කෘතික අරමුණ තෝරා ගත්තේ ඇයි? මෙම කාර්යය වෙනුවෙන් “සිංහල භාෂාව සුරැකීම” වැනි සංස්කෘතික අරමුණක් තෝරා ගත නො හැකි ද? සිංහල වෙදකම, වාරි තාක්‍ෂණය හෝ තමන්ට අනන්‍ය වූ වෙනත් කාරණයක් හෝ මේ අරභයා අරමුණු කරගත නො හැකි ද? අපි එම කාරණය විමසා බලමු.

සිංහල යනු පුරාතනයේ සිට පැවත එන, අදහස් ප්‍රකාශනය අතින් පොහොසත් භාෂාවකි. තමන් අයත් යැයි වර්ග කෙරී ඇති ඉන්දු – ආර්ය භාෂා පවුලෙහි දක්නට නැති විශේෂිත ලක්‍ෂණවලින් ද සිංහල භාෂාව පෝෂිත ය. එය හුදෙක් ඇ-කාරයේ භාවිතය ඉක්මවා යන්නකි. උක්තාඛ්‍යාත පද රිසි පරිදි අත් හැර සන්දර්භය තුළ අර්ථ නැංවෙන පරිදි ව්‍යවහාර කළ හැකි වීම, ක්‍රියා සන්ධානයක් නැතිව හැසිරවීමේ හැකියාව, ගණනයේ දී සංඛ්‍යාවට පූර්වයෙන් ඒකකය යෙදීම යනාදී විශේෂතා විශාල ප්‍රමාණයක් සිංහල භාෂාව සතු ය.

අනන්‍ය බව, දිගු ඉතිහාසයක් තිබීම, අදහස් ප්‍රකාශනයේ පොහොසත් බව සහ ඉහතින් දැක් වූ විශේෂතාවලින් අනූන වීම යන කරුණු සළකා එහි උරුමක්කරුවන් වශයෙන් අපි සිංහල භාෂාව පෝෂණය කර රැක ගැනීමට කැපවිය යුතු වෙමු. මෙම කාර්යය සඳහා අවශ්‍ය භාෂාප්‍රේමීත්වය සිංහලයන් තුළ නො අඩුව තිබේ. එහෙයින් මෙම උරුමය පිළිබඳව ආඩම්බර වන අතර ම එය රැක ගැනීම වෙනුවෙන් විවිධ වූ ආයතන සහ ව්‍යාපාර මෙහෙයවීමට ද අපි කටයුතු කරමු.

කෙසේ වුව ද, භාෂාවක් යනු වෙනස් වෙමින් රැකෙන්නකි. භාෂාවක් ගතික ය. මෙම ගතිකත්වය සිංහල භාෂාවට ද අදාළ වේ. අප අද වහරන්නේ මෙයට වසර සියයකට පෙර වැහැරූ සිංහල නොවේ. පද පිළිවෙළ සම්බන්ධයෙන් පවා දැඩි ව්‍යාකරණ බැඳීම් නැති බැවින් සිංහල භාෂාව ඉතා නිදහස් ලෙසින් හැසිරවිය හැකිය. එහෙයින් ගතිකත්වය අතින් සිංහල අනෙකුත් භාෂාවලට ඉදිරියෙන් සිටියි. මෙවැනි භාෂාවක් සුරැකීම අරමුණු ලෙස ගෙන රාජ්‍ය බලය තහවුරු කළ නො හැකි ය.

සිංහල වෙදකම යනු එක ම ගුරු කුලයක් තුළ පවා වෙනස්කම් ඇතිව ක්‍රියාත්මක වන්නකි. පිය – පුතු වෙදකම් අතර පවා වෙනස්කම් පවතී. එය විසින් උරුම කරගත් අනන්‍ය බව තුළ මෙ කී විවිධත්වය ද පවතියි. එහෙයින් මුළු රටට ම පොදු දැනුමක් ලෙසින් එය සැළකිය නො හැකි ය.

අප උරුම කරගත් වාරි තාක්‍ෂණය ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් එකකි. නුවර කලාවියේ සහ සත්කෝරළයේ පවත්නා වාර්මාර්ග ක්‍රම ඌව වෙල්ලස්ස ප්‍රදේශවල භාවිතා නො කෙරෙයි. නිරිතදිග තෙත් කලාපය තුළ භාවිතා කෙරුණේ ඒවාට හාත්පසින් ම වෙනස් වාරි තාක්‍ෂණයකි.

එ සේ නම්, ඉහත කී ආකාරයේ විවිධ වූ වෙනස්කම් පවතින අතර ම ඉහළ ගතිකත්වයක් ඇති භාෂාවක් ව්‍යවහාර කරන සිංහලයන් හට එක්විය හැක්කේ කිනම් පොදු අරමුණක් වෙනුවෙන් ද? ඒ අරභයා තෝරා ගන්නා අරමුණ මුළු ජාතියට ම පොදු වූ එකක් විය යුතු ය. එ මෙන් ම, එය කාලයත් සමඟ වේගයෙන් වෙනස් නොවන්නක් ද විය යුතු ය.

මෙ කී අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කළ හැකි එක ම සංස්ථාව වනුයේ බුද්ධ ශාසනය ය. කවර ආකාරයක නිකාය බෙදීම් තිබුණ ද පොදු බුද්ධ ශාසනයක් පිළිබඳ ඉතා පැහැදිළි අදහසක් අප තුළ වෙයි. මෙම සංස්කෘතික සංස්ථාව පිළිබඳ අදහස ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නක් නොවේ. එ මෙන් ම, එ කී අදහස කාලයත් සමඟ වේගයෙන් වෙනස් නොවේ. යම් ආකාරයකින් වෙනස් වන්නේ නම් හෝ වෙනස්වීමේ බලපෑමකට ලක්වන්නේ නම් එය වැළැක්වීම උදෙසා ද නිශ්චිත වැඩපිළිවෙළක් තිබි යුතු ය. සිංහලයන් විසින් “චිරස්ථිතිය” යන කාර්යය භාවිතයට ගෙන එනු ලැබුවේ ඒ වෙනුවෙනි.

ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට පමණක් නොව කාලය සමඟ ද වෙනස්වීමට ඉඩ නො දී බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගත යුතු ය. වෙනසක් වෙනවා නම් සිදුවිය යුත්තේ ශාසනය පෝෂණය කිරීමේ අර්ථයෙන් පමණකි. එහෙයින් “බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම” යන පොදු සංස්කෘතික අරමුණ තුළ ජාතිය ගොනු කිරීමට සිංහලයෝ කටයුතු කළහ. ඒ ඔස්සේ ජාතියට ඒකාත්මීයභාවයක් ලබාදීමට ඔවුහු සමත් වූහ. එ හෙයින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය තහවුරු කිරීම උදෙසා මෙම පොදු ජාතික අරමුණ අත්‍යවශ්‍ය බව අපි තේරුම් ගනිමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.