COLUMN

සසුන සුරකින ජාතියේ ධජය – 4 වැනි කොටස

Summary

පොදු සංස්කෘතික අරමුණක් තෝරා ගත් කල එය සංකේතවත් කළ හැකි අයුරින් ඒ සඳහා කැපවන ජාතියෙහි ධජය නිර්මාණය විය යුත්තේ ය. අපගේ ජාතික ධජය විසින් එම කාර්යය ඉටු වී තිබේ ද?

බෞද්ධ ජනරජ ප්‍රවාදය – 4

බහුතරයකට පිළිගත හැකි පොදු සංස්කෘතික අරමුණක් විසින් ජාතියක් එකතු කරන බව ද එ ලෙස රොද බැඳි ජාතිය විසින් රාජ්‍යයේ ශක්තිය තීරණය කරනු ලබන බව ද අපි දනිමු. සිංහල ජාතියේ පැවැත්ම තීරණය කරනු ලැබ ඇත්තේ එය විසින් හඳුනා ගනු ලැබූ පොදු සංස්කෘතික අරමුණ වන “බුද්ධ ශාසනයේ චිරස්ථිතිය” යන්න විසිනි. මෙම හඳුනා ගැනීම තුළ ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්‍ෂාව සහ පැවැත්ම තහවුරු කෙරිණි. සිංහල ජාතියේ සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉතිහාසය වුව ද වාර්තා කරනු ලැබ ඇත්තේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ කී දෑ සටහන් කිරීමක ස්වරූපයෙනි. ජාතියත් ශාසනයත් දැඩිව එකිනෙක හා බැඳී පවතින හෙයින් ඒ එකක ඉතිහාසය තුළින් අනෙකෙහි ඉතිහාසය ද ප්‍රකාශ වන්නේ ය. ශාසනයෙහි චිරස්ථිතිය වෙනුවෙන් කළ කී දෑ පිළිබඳ ඉතිහාසය වාර්තා කිරීම තුළින් සිංහල ජාතියේ ඉතිහාසය ද ප්‍රකාශ වී තිබෙන්නේ එහෙයිනි.

පොදු සංස්කෘතික අරමුණක් තෝරා ගත් කල එය සංකේතවත් කළ හැකි අයුරින් ඒ සඳහා කැපවන ජාතියෙහි ධජය නිර්මාණය විය යුත්තේ ය. අපගේ ජාතික ධජය විසින් එම කාර්යය ඉටු වී තිබේ ද? මෙම ලිපියෙන් අපි ඒ ගැන විමසා බලමු.

බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහක් පමණ ගත වූ පසු බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඇරැඹිණි. කලක් යවන (ග්‍රීක) බලයට යටත් ව පැවැති ඝාන්ධාරයේ ද ඒ ආභාෂය ලැබුණු මථුරාවේ ද මුල් ම බුද්ධ රූප නිර්මාණය සිදු විය. මෙ ලෙසින් බුද්ධ ප්‍රතිමා හඳුන්වා දීමට පෙර ද එයින් පසුව ද බුදුන්වහන්සේ නිරූපණය කිරීමට විවිධ වූ සංකේත යොදා ගැනීමට බෞද්ධයෝ ක්‍රියා කළහ. ඔවුහු ඒ උදෙසා ධර්ම චක්‍රය, බෝධි වෘක්‍ෂය, සිරිපතුල, වජ්‍රාසනය, පාත්‍රය, සිංහ රූපය යන සංකේත යොදා ගනු ලැබූහ.

සිංහ සංකේතයෙන් රාජකීයත්වය ද, ශක්තිය ද, බලය ද නිරූපණය කෙරෙයි. බුද්ධ දේශනාව ද බොහෝ විට සීහනාදයක් ලෙසින් හඳුන්වා දී තිබේ. මහා සීහනාද සූත්‍රය, චූල සීහනාද සූත්‍රය, චක්කවත්ති සීහනාද සූත්‍රය, කස්සප සීහනාද සූත්‍රය, උදුම්බරික සීහනාද සූත්‍රය වැනි දේශනා ඒ අනුව නම් කෙරී ඇති බව ද පැහැදිළි ය. මජ්ඣිම නිකායෙහි මූල පණ්ණාසකය තුළ සීහනාද වර්ගයක් ද වෙයි. බුද්ධ දේශනාවෙහි ශක්තිය සහ බලය මෙ කී හැඳින්වීම්වලින් නිරූපණය කළා විය හැකි ය.

සාරානාත් අශෝක ස්ථම්භය මුදුණෙහි නෙලා තිබෙන සිංහ රූප සතර ඇත්තේ ධර්මචක්‍ර සතරකට ද ඒවා පිහිටුවා ඇති පද්මාසනයකට ද ඉහළිනි. බෞද්ධයන් විසින් පද්මාසනයක් මත නිරූපණය කරන්නේ බුද්ධ රූප සහ බෝධිසත්ව රූප පමණකි. එහෙයින් පද්මාසනයට ද, ඒ මත නිරූපිත ධර්ම චක්‍ර සතරට ද ඉහළින් නිර්මාණය කළ සිංහ රූපවලින් සංකේතවත් වනුයේ බුදුරජාණන්වහන්සේ බවට සැකයක් නොමැත. වර්තමාන ඉන්දියානු ජනරජයෙහි රාජ්‍ය ලාංඡනය වශයෙන් තෝරා ගෙන ඇත්තේ ද මෙකී සාරානාත් කුළුණු ශීර්ෂය ය.

අපගේ ජාතික ධජයෙහි ද සිංහයෙක් වෙයි. එම සිංහයා නිර්මාණය කෙරී ඇත්තේ අසිපතක් අතින් ගත් අයුරිනි. මෙම අසිපත කුමක් ද?

අප බැඳ දමා ඇති රැහැන් වේ නම් නිදහස වෙනුවෙන් ඒවා කපා දැමිය යුතු වේ. අපගේ මනස ද විවිධ වූ බැමිවලින් වෙලී ඇති බව බුදුදහමින් දේශිත ය. මෙ කී බැමි නිසා අපි සංසාරයේ දුක් විඳිමු. එම බැමි කපා දැමිය හැකි නම් අපට අප පතන උතුම් වූ නිවන අවබෝධ කරගත හැකි ය. එම බැමි කපා දැමිය හැකි වන්නේ ප්‍රඥාව නමැති අසිපතිනි.

අසිපත යනු ප්‍රඥාවේ සංකේතය වේ. එය ද බෞද්ධයන්ගේ සංකේතයකි. මංජු ශ්‍රී බෝධිසත්වයන්වහන්සේ ප්‍රඥාවට අධිපති ය. මෙම බෝධිසත්වයන්වහන්සේ නිරූපණය උදෙසා නිර්මාණය කරන ලද රූපවල අතින් දරා සිටින අසිපතින් නිරූපණය කෙරෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව ය.

බුදුරජාණන්වහන්සේ නිරූපණය උදෙසා යොදා ගනු ලබන සිංහ සංකේතයෙන් ද, ප්‍රඥාව නිරුපණය උදෙසා යොදා ගනු ලබන අසිපතින් ද අපගේ ජාතියේ විහ්නය නිර්මාණය කෙරී තිබේ. එහෙයින්, බුද්ධ ශාසනය සහ එහි චිරස්ථිතිය වෙනුවෙන් සිංහල ජාතිය තුළ වන දැඩි කැපැවීම නිරූපණය උදෙසා මෙම සංකේතයෙහි ඇති යෝග්‍යභාවය අප හට අවබෝධ කරගත හැකි ය.

එ නමුදු, අද වන විට අප අතර සිටින ඇතැම්හු මෙම කරුණ නො දැන සිංහල ජාතියේ විහ්නයට අවමන් කරති. ඔවුන් මෙම සිංහයා හඳුන්වන්නේ හුදු තිරිසනකු වශයෙනි. ලෝකයෙහි දීර්ඝතම බෞද්ධ ඉතිහාසයට හිමිකම් කියන රටක ජනයා තම ජාතියේ විහ්නය වශයෙන් තෝරා ගනු ලැබ ඇත්තේ බෞද්ධ සංකේතයක් බව ඔවුනට වටහා ගත නො හැකි ය. සැබැවින්ම මෙම විහ්නය පමණක් නොව ජාතියේ මූලාරම්භකයා වශයෙන් සැළකෙන සිංහයා ද අප හට මෙ ලෙසින් හඳුනා ගත හැකි ය. ලබන සතියේ අපි ඒ ගැන කතා කරමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *