Opinion

සාගර ජලය හැඬුවා මදිද

Summary

අද කෝවිඩ් වලට පෙර තිබු ජීවිතය ගැන මතක් කරමින් හූල්ලමින් ඉන්නවා. කවදාහරි දවසක මුහුද ගැන හූල්ලන්නෙත් ඒ විදිහට.

මුහුදත් එක්ක සෑහෙන කාලයක් හැදුන වැඩුන කෙනෙක් විදිහට මුහුදට ආදරය කරන්න පටන් ගත්තෙ සෑහෙන්න කුඩා අවදියකදි. ලංකාවේ හැම මුහුදු තීරයකම මම ඇවිදලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට යන්න ඉඩ නොලැබෙන රක්ෂිත කලාපවල නොඉඳුල් මුහුදු තීරයන්වල ක්ශේත්‍ර පර්යේෂණවලට පින් සිද්ද වෙන්න මට ඇවිදින්න ඉඩකඩ ලැබිලා තියෙනවා, කිමිදිලා තියෙනවා. මාදැල් අදිද්දි ඒවායේ අතුරු ඵලයක් විදිහට ගොඩට එන විවිධාකාර මුහුදු ජීවීන් මම පොඩිකාලේ ඉඳන් එකතු කරලා තියෙනවා, ඒවායින් මම ඉගෙන ගත්ත දේවල් බොහෝමයි.

මගේ ගම මොරටුව. මොරටුව, මොරටුවැල්ල, ලුනාව, අඟුලාන ඉඳන් රත්මලාන ගල්කිස්ස දක්වාම වෙරළ කරා බිත්තර දැමීමට ඇදෙන කැස්බෑවුන් නරඹන්න, ඒ කූඩු වීදි සුනඛයන්ගෙන් ආරක්ෂා කරලා වහලා කොටු කරලා තියන්න සමහර රෑ නිදිවර්ජිතව වෙරළ පුරා ඇවිදලා තියෙනවා. ඕවට මම වද දීලා තනියට එක්කන් ගිය මගේ මිත්‍රයො සාක්ෂි. ඒ වගේ සත්තු මට හරි පුදුමාකාර දේවල්. දීර්ඝ ආයු කාලයක් විඳින කැස්බෑවො මුහුදු පතුල් තුල කොතරම් අප නොදකින දේවල් දකිනවාද කියන කවදාත් පිළිතුරු නොලැබෙන ගැටලුව කැස්බෑවෙක් දකින වාරයක් පාසා හිතට එනවා. පරිසර විද්‍යාවන් ඉගෙන ගන්න මම පෙළඹෙන්න එක හේතුවක් මුහුද. මොරටුව අතෑරලා තවත් කොළඹට ලන්වෙද්දි ⁣නින්දට යද්දි ඇහුන මුහුදෙ සද්දෙ මට මඟ හැරෙනවා. මුහුදු හුලඟත් එක්ක රළ වෙරළෙ හැපිලා එන ඒ නැලවිලි ගීය නැති නිසා මගේ නින්ද අවිධිමත් වෙනවා. මිනිස්සු මුහුදට ආදරේ කරනවා කියන්නෙ බොරුවක් නෙමෙයි. ඒ බැඳීම් සදාකාලිකයි. මුහුද දකින වාරයක් පාසා ඒ හැඟීම් අලුත් වෙනවා.

පස්සේ කාලෙකදි මම නීතිය සහ පරිසර විද්‍යා ක්ශේත්‍ර දෙකම එකතු කරලා මුහුද වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා හිතද්දි මතකෙට එන්නෙ කැස්බෑවො. මගේ පශ්චාත් උපාධි පර්යේෂණ නිබන්ධනයේ කැස්බෑවුන් සඳහා අඩක් වෙන් කරන්නෙ ලංකාවේ අවිධිමත් කැස්බෑ සංරක්ෂණයට විරුද්ධව මට හැකි පමණින් විරුද්ධ වෙන්න. මීට අවුරුදු පහකට හයකට විතර කලින් මම පෙනී හිටපු පාරිසරික ගැටලුවලින් ප්‍රධානම එකක් වුනේ කැස්බෑවුන්. ඒවට ඒ කාලේ විවිධාකාර මාෆියා වලින් තර්ජන ගර්ජන එහෙමත් ආවා. අවුරුදු හයක් ගතවෙද්දි දැන් අපි ඇතිකරලා තිබුන ගැටලු වඩාත් අන්තරායකාරී තත්වයකට වර්ධනය කරගෙන ඉන්නවා.

කැස්බෑ සංරක්ෂණයේ අවිධිමත් බව ගැන කතා කරපු අපිට අද ජුනි මාසේ 08 වෙනිදා වෙද්දි කැස්බෑ මළ සිරුරු 17 ක් සහ ඩොල්⁣ෆින් මළසිරුරු 03 ක් ලංකාවේ වෙරළ තීරය තුලින් වාර්තා වෙන්නෙ ඇයි කියන එකට පිළිතුරු හොයන්න වෙලා තියෙනවා. අපිට වඩා දැන උගත්, පළපුරුදුකම්, සුදුසුකම් සහිත ආචාර්යවරු, මහාචාර්යවරු අපි කරලා තියෙන විනාසවලින් වියුක්ත කරලා මේ අපරාධ සාධාරණීකරණය කරන තත්වයට ඇවිත් තියෙනවා.

මන් හිතන්නෙ ඊමේල් ලිපියක් මකා දමනවා වගේ සාගරය වසා දමන්න ඒ ඒ අයට හැකියාවක් නෑ. සාගරය කියන්නෙ ජීවයේ තිඹිරිගෙය. සපුශ්ප ශාඛ ලෝකේ ප්‍රචලිත වෙන්න කලින් මේ සාගර තුල මෝරුන් ගැවසුනා. සන්ධිපාදකයන් පොළවේ පය ගැසීමට පෙර ඛණ්ඩික වරළ් සහිත මත්ස්‍යන් වෙරළ තීරයන් අභිමුව පිහිනා ගියා. මේ අපි හැප්පෙන්නෙ අපි දන්න කියන වපසරියට වඩා සෑහෙන විශාල ස්වභාවධර්මයත් එක්ක. ඒ ගැන අපි දන්න දේවල්වලට වඩා නොදන්න දේවල් බොහෝමයි. ඒවායේ ප්‍රතිවිපාක ලැබෙන විට අපි සෑහෙන පරක්කු වැඩිවෙයි.

මේ සාධාරණීකරණය කරමින් යන්නෙ අපිට ජීවත් වෙන්න ,විඳින්න ඉතුරු වෙලා තියෙන නොමිලේ ලැබෙන සුඛෝපභෝගි පාරිසරික සේවාවන් විනාශය. කෝවිඩ් ඇතිවෙන්න කලින් සමාජශිලි ඇසුර අපි කොතරම් සුළුකොට තැකූවක්ද ? අද ඒවාට වැට කඩොලු නිර්මාණය වී ඇති වටපිටාවක අපි කෝවිඩ් වලට පෙර තිබු ජීවිතය ගැන මතක් කරමින් හූල්ලමින් ඉන්නවා. කවදාහරි දවසක මුහුද ගැන හූල්ලන්නෙත් ඒ විදිහට.

මතකයක් විදියට මේ ඡායාරූපය ඉතුරු කරන් ඉන්නවා. සාගර දිනය තුන්සිය හැටපස් දවසෙම සමරපු කාලයක වෙරළ තීරය රස විඳුපු කෙනෙක් විදිහට.

සුබ සාගර දිනයක් !

Leave a Reply

Your email address will not be published.