Opinion

සාමයට වඩා යුද්ධය ශිෂ්ට සම්පන්න ඇයි? දොස්තයෙව්ස්කි ඔබ අමතයි

Summary

“දික්ගැස්සෙන සාමය මගින් කරන්නේ මිනිස් හදවත් ගල් බවට පත්කිරීම කියලා ඇත්තටම කියන්න පුළුවන්. සාමය දිගටම පවතින විට මනුෂ්‍යාගේ කැමැත්ත, මනුෂ්‍යයා තුළ ඇති අයහපත් හා අසභ්‍ය සියල්ල පැත්තට බරවී යනවා. විශේෂයෙන් ම ධනය සහ ප්‍රාග්ධනය පැත්තට.”

මේ දොස්තයෙව්කි කිව්වට දොස්තයෙව්ස්කිගේ අදහස් නොවෙයි. නවකතා ලිව්ව දොස්තයෙව්ස්කි ජීවිතයේ අවසන් කාලයේ පුවත්පතක් පවත්වාගෙන ගියා. ඔහු එහි ලියූ දෑ පිටු 1200ක පමණ කෘතියක් ලෙසින් ‘ලේඛකයෙකුගේ දිනපොත’ නමින් පළව තිබෙනවා. මේ කෘතියට ඔහු  පුවත්පතට ලියූ ලිපි කෙටිකතා අර්ධ කෙටිකතා ආදී සියලු ගණයේ නිර්මාණ අයත් වෙනවා. මේ අදහස් ඇත්තේ දෙදෙනෙකු අතර සංවාදයක් ලෙසින්.

‘යුද්ධය මානව වර්ගයා මත පැටවුණ සාපයක් කියන එක එක අතකට මහ අශිෂ්ට අදහසක් කියලා කියන්න පුළුවන්. ඒ වෙනුවට යුද්ධය කියන්නෙ ඉතා ප්‍රයෝජනවත් දෙයක්”

‘කොහොමද එහෙම වෙන්නෙ? එක් ජනතාවක් තවත් ජනතාවකට එරෙහිව නැගී සිටිනවා. මිනිස්සු එකිනෙකා මරාගන්නවා. ඇයි ඒක එහෙම වෙන්න ඕනැ?”

“යුද්ධයේ දී ඇත්තටම සියල්ලම උත්තරීතර තත්වයෙන් තියෙනවා. ඒත් මං මුලින්ම කියන්න ඕනැ මිනිස්සු එකිනෙකා මරාගන්නවා කියන එක බොරුවක් කියලා. ඊට ප්‍රතිවිරුද්ධව ඔවුන් යන්නෙ තමන්ගෙ ජීවිත පරිත්‍යාග කරන්න. ඒක තමයි යුද්ධයේ ඇත්ත පසුබිම. මෙය සම්පූර්ණයෙන්ම වෙනස්. ආත්ම පරිත්‍යාගයට වඩා උත්තම දෙයක් නෑ. එහෙම නැතිනම් තමන්ගේ මාතෘභූමිය ආරක්ෂා කිරීම. මනුෂ්‍ය වර්ගයාට සුවිසල් පරමාර්ථයන්ගෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඇත්තටම මිනිස්සු යුද්ධයට ඔච්රම කැමති එමගින් ඔවුන්ට සුවිසල් පරමාර්ථයක කොටස්කරුවන් වීමට ලැබෙන නිසා කියා මට සැකයක් තිබෙනවා. ඒක වළක්වන්න අමාරුයි”

“ඔහොම කියන්නෙ විහිළුවට නෙමෙයි නේද”

“ඇත්තටම ඔව්. යුද්ධෙ කාලෙක කවුරුවත් අලසව උදාසීනව ඉන්නවද? ඇත්ත ඒකෙ අනිත් පැත්ත. හැමෝම උද්යෝගීමත්. හැමෝගෙම හදවත්වල උණුසුම් ව රුධිරය දුවනවා. සාමය කාලෙක අහන්න දකින්න තියෙන උදාසීන අලස කම්මැලි ගතිය යුද්ධෙ කාලෙක නෑ. අනිත් අතට යුද්ධෙ ඉවරවුණාට පස්සෙ වුණත් මිනිස්සු යුද්ධෙ ගැන කතා කරන්නෙ කොච්චර ආසාවෙන්ද? සමහරවිට තමන්ගෙ පැත්ත පැරදිලා තිබුණත්. ‘හප්පෝ වෙච්ච අපරාදයක්…අහස පොළව උහුලන දේවල් ද වුණේ’ කතාකරන කොට එහෙම කියන්නෙ ආචාරශීලීභාවය පෙන්නන්න විතරයි. ඒත් ඒ වෙනුවට හැමෝගෙම හිත්වල ඔඩුදුවපු සතුටක් ඇතිව කතා කරන්නෙ. ‘ම්ලේච්ඡයි’ ‘අශිෂ්ටයි’ ‘කුරිරුයි’ මිනිස්සු එහෙම කියයි. කවුරැවත් යුද්ධෙට ප්‍රශංසා කරන්නෙ නෑ”

“ඒත් ඔබ කතා කරන්නෙ සුවිසල් පරමාර්ථ ගැන. ඔබ කතාකරන්නෙ මනුෂ්‍යත්වය ගැන. යුද්ධය නැතිව සුවිසල් පරමාර්ථ පවතින්න විදිහක් නැද්ද? අනෙක් අතට ඊට ප්‍රතිවිරැද්ධව සාමය තියෙන කාලෙට නේද මිනිස්සුන්ට සුවිසල් පරමාර්ථ ඇතිව වැඩකරන්න ඉඩ ලැබෙන්නෙ?”

“නෑ කොහෙත්ම නෑ. ඒකෙ අනිත් පැත්ත තමයි ඇත්ත. දීර්ඝ කාලයක් සාමය පවතින විට සුවිසල් පරමාර්ථ මැරී යනවා. එහෙම පවතිනකොට ඒ වෙනුවට මතුවෙන්නෙ වැඩෙන්නෙ නරුමවාදය, උදාසීනභාවය, ඕනෑ එකක් ආකල්පය, ද්වේශසහගත උපහාසය. ඔහේ කාලය ගතකිරීමට වඩා පරමාර්ථයක් ජීවිතවල ඉතිරිවෙන්නෙ නෑ.  දික්ගැස්සෙන සාමය මගින් කරන්නේ මිනිස් හදවත් ගල් බවට පත්කිරීම කියලා ඇත්තටම කියන්න පුළුවන්. සාමය දිගටම පවතින විට මනුෂ්‍යාගේ කැමැත්ත, මනුෂ්‍යයා තුළ ඇති අයහපත් හා අසභ්‍ය සියල්ල පැත්තට බරවී යනවා. විශේෂයෙන් ම ධනය සහ ප්‍රාග්ධනය පැත්තට. යුද්ධය අවසන් වූ විගසම වගේ ගෞරවය, මිනිස්කම, ආත්ම පරිත්‍යාගය ගැන කතාකිරීම තවදුරටත් සිදුවෙනවා. ඒවා ගෞරවයෙන් හා වටිනාකමින් සැලකීම සිදුවෙනවා. ඒත් සාමය පවතින්න පවතින්න ඒවායේ වටිනාකම අඩුවෙනවා. බහිනවා. මනුෂ්‍ය ජීවිතයේ උත්තම දේවල් වර්ධනය වීම බාල වෙනවා. ඒ වෙනුවට ධනය හා සියල්ල සන්තක කරගැනීම වේගයෙන් වර්ධනය වෙනවා. අන්තිමට මවා පෙන්වීම හැර කිසිවක් ඉතිරිවෙන්නෙ නෑ. මිනිස් ගෞරවය මවාපෙන්වීම, ආත්ම පරිත්‍යාගය මවාපෙන්වීම, වගකීම මවාපෙන්වීම. මේවාට තවදුරටත් ගෞරව කිරීම සිදුවෙනවා.ඒත් වචනවලට හා පෙනුමට පමණයි. අව්‍යාජ ගෞරවයක් භක්තියක් ඉතිරිවෙන්නෙ නෑ. දිගටම පවතින සාමය විසින් නිෂ්පාදනය කරන්නේ අලසකම, හිස්බවින් පිම්බුණු හිත්, වංචාව හා දූෂණය හා භාග සිතිවිලි පමණයි. ගොරහැඩි ධනවත්කමට සුවිසල් පරමාර්ථ පෝෂණය කිරීමට හැකියාවක් නෑ. ඒ වෙනුවට එය අපේක්ෂා කරන්නේ පහත් පෙළේ ආහ්ලාදයන්. ඉන්ද්‍රිය සන්තර්පනය මුල් කරගත් පහත් අපේක්ෂාවන්.”

 2010 න් පස්සේ අපේ රටේ පවතින සාමය දකින විට සාමය ගැන මේ කියන ඇතැම් කතාවන් ඇත්ත කියලා හිතෙන්නෙ නැද්ද?

Leave a Reply

Your email address will not be published.