Opinion

සාලිය පීරිස්ගේ ජයග්‍රහණය ආණ්ඩුවේ විජයග්‍රහණයකි

Summary

ජනතාවට දඬුවම් දෙනවාට ජනතාව ද කැමතිය. ඒ තමන්ගේ නොහික්මුණු කම තමන් ම දන්නා බැවිනි. ඇත්තටම තමන්ම මොළය පාදාගන්නවාට වඩා කවුරුන් හෝ විසින් තමන්ගේ මොළය පාදවාදෙනු දැකීමට ජනතාව කැමතිය.

  • Save

ජනාධිපති නීතිඥ කුවේර ද සිල්වා පරදා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ජයග්‍රහණය කිරීම ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩුවීමේ ලකුණක් ලෙස සමහරු දකිති. එය එසේ නම් මම ඒ ගැන සතුටු වෙමි. මක්නිසාද යත් ජනතාවට ඕනෑ හැටියට ආණ්ඩු කිරීමට නොහැකි බැවිනි. නීතිඥයන්ට ඕනෑ හැටියට කොහොමටත් නොහැකි බැවිනි.

මේ රට ගොඩගැනීමට ඇති ලොකුම බාධාව ජනතාව බවට පත් ව ඇත. ජනතාව නටන්නේ ආණ්ඩුවට ඕනෑ හැටියට නොවේ. රූපවාහිනී චැනල් සහ සමාජ මාධ්‍ය ජාලාවන්ට ඕනෑ හැටියටය. ඒ ජනතාවට ඕනෑ හැටියට ආණ්ඩු කරන්නට ගියොත් රටකට අනාගතයක් නැත. ඒ නිසා මේ පරාජය හොඳය.

කෙසේවුවත් ජනතාවට දඬුවම් දෙනවාට ජනතාව ද කැමතිය. ඒ තමන්ගේ නොහික්මුණු කම තමන් ම දන්නා බැවිනි. ඇත්තටම තමන්ම මොළය පාදාගන්නවාට වඩා කවුරුන් හෝ විසින් තමන්ගේ මොළය පාදවාදෙනු දැකීමට ජනතාව කැමතිය. තමන්ගේ පදයට නටන නොව තමන්ට මොළය පාදවන එවන් ආණ්ඩුවකට ජනතාව අවසානයේ කැමති වීමට ද ඉඩ ඇත. එවන් ආණ්ඩුවක් යළි පත් කිරීමට ද ඉඩ ඇත. ඒ නිසා 2025 දී යළි ජයග්‍රහණය කිරීමට නම් ආණ්ඩුව දිගටම ජනතාවට පාඩම් ඉගැන්විය යුතුය. වෙනත් මාර්ගයක් නැත. ඒ සඳහා ශක්තිය හා ධෛර්යය ආණ්ඩුවට ඇතැයි සිතමි. අවසාන වශයෙන් රුසියානු ජනතාව පුටින්ට කැමති වන්නේ ද මේ අර්ථයෙන් යැයි සිතමි. පුටින් ජනතාවගේ පදයට නටන්නේ නැති බැවිනි. අවසානයේ රුසියානු ජනතාව ද පුටින්ගේ පදයට නටන්නට හිත හදාගන්නේ ඒ නිසා ය. ආණ්ඩුව පවතින කාලයේ ජනප්‍රිය නොවුණත් ඡන්දයක් ආවිට පුටින් දිනන්නේ ඒ නිසා ය. තමන්ට මෙන් නොව පුටින්ට රුසියාව ගැන වගකීමක් ඇති බව රුසියානු ජනතාව තේරුම් ගෙන ඇත. ඒ නිසා සාලිය පීරිස්ගේ ජයග්‍රහණය ගැන ගෝඨාභය මහතා කිසිසේත් ම කලබලයට පත් විය යුතු නැත. මෙය ම ගෝඨාභය මහතා 2025 දී නැවත ඡන්දය ඉල්ලුවොත් ස්ථිරව ම ජයගන්නා බවට පහළ වූ පෙරනිමිත්තකි.

මේ ඇවිලෙන්නේ ඇවිලුනේ සිල්වාට එරෙහිව පීරිස් සටනක් නොවේ. චීනයට එරෙහිව ඇමරිකා සටනකි. ඇමරිකාව අලූත්කඩේ දී ඒ සටන ජයග්‍රහණය කර ඇත. ඒ පිටුපස රනිල් වික්‍රමසිංහ මහතා ද සිටියි. එහෙත් එය අවසාන වශයෙන් ඇමරිකාවේ පරාජයක් හා චීනයේ ජයග්‍රහණයක් වන බව ඇමරිකාවේ දන්නේ ද නැත. ඇමරිකාවේ ද සල්ලි වියදම් කර බලයට පත් කරන ලද 2015 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හම්බන්තොට වරාය චිනයට විකුණා දැමුවේය. අද ඇමරිකාව සල්ලි වියදම් කරන්නේ ද චීනය ශක්තිමත් කිරීමටය. එවැනි ලෝක රටාවක් අද දියත් වී ඇත. මෙයට විරුද්ධව යම් හෝ සටනක් කළ හැක්කේ ගෝඨාභයට හා අපට පමණි. ඒ නිසා 2025 දී ඇමරිකානු හිතවාදී ජනතාවට පවා ගෝඨාභය මහතා හැර වෙනත් තෝරාගැනීමක් නැත. සාලිය පීරිස් කතාවෙන් මතුවන්නේ ඇත්තටම මතුවන ආණ්ඩු විරෝධී රැල්ලක් නොවේ මතුවෙන ආණ්ඩු හිතවාදී රැල්ලකි. ජනතාව අවසාන වශයෙන් සිටගනු ඇත්තේ නීතිඥයන් සිටගන්නා පැත්තට අනිත් පැත්තේය. රන්ජන් රාමනායකට ලැබුණු ජනතා අනුකම්පාව ගැන ද සිතන්න. ඒ නිසා නීතිඥ සංගමයේ ඡන්ද ප්‍රතිඵලය බොහෝ අය සිතන පරිදි ගෝඨාභය ජනාධිපතිවරයාගේ පරාජයක් නොව ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයකි.

අනිත් අතට මෙහි ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩු පක්ෂ ජනතා මානසිකත්වය පිළිබද ප්‍රශ්නයකටත් වඩා පෞරුෂත්වය පිළිබද ප්‍රශ්නයක් ද ඇත. ඡන්දය ඉල්ලූ දෙදෙනා අතරින් වඩා ප්‍රබල පෞරුෂයක් හිමි තැනැත්තා ජයග්‍රහණය කළ බව ද කිව හැක. එහි ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩු පක්ෂ රැල්ලක් පිළිබද කතාවක් නැත. ඉතිහාසයේ ද එවැනි බොහෝ දේ සිදුව ඇත.

ඇත්තටම මේ ආණ්ඩුවට ජනතාව ද නැත. දේශපාලනඥයන් ද නැත. මේ ආණ්ඩුව ආරක්ෂා කරගත යුත්තේ ද ඒ නිසාමය. දේශපාලනඥයන් සිතන්නේ රට ගැන නොව 2025 මැතිවරණය ගැන ය. රට ගැන සිතන්නේ ආණ්ඩුව පමණි. ජනතාව සිතන්නේ හා ජනතාවට සිතෙන්නේ බඩ ගැන පමණි. එයට වෙනස් ව හිතන ආණ්ඩුවක් දැනට ඇත. රටට ඇති එකම විකල්පය ද එය පමණි. එය රැකගත යුතුය. ආණ්ඩුවේ ඒ ප්‍රවණතාව ශක්තිමත් කළ යුතුය. 2025 ආණ්ඩුවට යළි ජයගැනීම සදහා වෙනත් මාවතක් නැත. රටට ජයගැනීම සදහා ද වෙනත් මාවතක් නැත.

දේශපාලනඥයන් සිතන්නේ 2025 මැතිවරණය ජයගැනීම ගැන පමණි. මා මේ කියන්නේ විපක්ෂ දේශපාලනඥයන් ගැන පමණක් නොවේ පක්ෂ දේශපාලනඥයන් ද ගැනය. දේශපාලනඥයන්ට බොහෝ විට ඇති මානසිකත්වය එය ම පමණි. බැසිල් – විමල් ගැටුම එතරම් හරබර ගැටුමක් නොවේය යන්න පුවත්පත් කතුතුමෙකි විසින් කර තිබූ ප්‍රකාශය ඇත්තකි. ඔවුන් දෙපිරිසම වැඩියෙන් කලබල වී ඇත්තේ රට ගැන නොව 2025 මැතිවරණය ගැන ය. කෙසේ වුවත් ව්‍යවස්ථාවෙන් ම ඇමරිකානු පුරවැසියෙකුට ජනාධිපතිවරණයට ඉල්ලීමට ප්‍රතිපාදන සැලසීම ජනතාවගේ ඡන්දයෙන් නොව ව්‍යවස්ථාවෙන් ජනාධිපති විය හැකි යැයි යන මෝඩ සිතිවිල්ල මත කළ දෙයකි. ඒ කළ තැනැත්තාට එය ඉල්ලූ තැනැත්තාට යනඑන මං නැතිව ඇත. හෘද සාක්ෂිය සමග සෙල්ලම් කිරීම හොද වැඩක් නොවේ.

රට විනාශවීම වැළැක්විය නොහැකි විය හැක. එහෙත් රට විනාශ වුණත් හෘද සාක්ෂිය ඊට වඩා ටික කලක් පවතියි. ඒ නිසා එය කළින්ම නැති කරන්නට හදන තැනැත්තා ද කලින් ම තමන්ගේ ඉදිරි ගමන අවහිර කරගනියි. බැසිල් රාජපක්ෂ මහතා ඉක්මන් වූයේ යැයි සිතෙන්නේ ඒ නිසා ය. එහෙත් තමාගේ වැරදි හදාගැනීටම එතුමා තවමත් ප්‍රමාද නැත. රට ගැන භක්තිය අවදි කරගන්නේ නම් බැසිල් මහතා අවදි වූ කුම්භකර්ණයෙකි. එහෙත් වටේ සිටින පිරිසට නම් එවන් ශක්තියක් නැත. ඔවුන්ට ඇති එකම ශක්තිය බැසිල් මහතා පමණි. ඔවුන්ගෙන් මිදීම බැසිල් මහතාගේ යහපතට ද රටේ යහපතට ද හේතු වේ.

ලංකාව යනු අලුත් කඩේ නොවේ. එය රංජන් රාමනායක මහතාගේ කතාවටත් වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap