Opinion

සිංහරාජය සහ පොල් අත්ත

Summary

මෙච්චර ආර්ථික බිඳවැටීමක් වෙලා තියෙද්දි ලීවලට විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙන්නේ කොහොමද?

  • Save

ලංකාගමට පාරක් කපනවා කියලා කියපු වෙලාවේ මම විකල්පයක් යෝජනා කළා. ඒත් දැන් ඒ පාර කපලා ඉවරයි. කරපු යෝජනාව ක්‍රියාත්මක නොකළත් හොඳක් වෙනවා නම් සතුටුවෙන්න මට පුළුවන්. “යහපතක් වේවා” කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ සම්බන්ධයෙන් මට කරන්න පුළුවන් වෙන දෙයක් නෑ.

සතියකට දෙකකට කලින් සිංහරාජය ගැන සද්දය ආයෙත් ඉස්සරහට ආවා. සෑහෙන දෙනෙක් ඒ ගැන කතා කළා. “මෙන්න සිංහරාජය කපනවා” කියලා එක පිරිසක් කිව්වා. ඒත් අනිත් පිරිස කියන්නේ “ඒක පුද්ගලික ඉඩමක්. සිංහරාජයේ ඉඳලා සෑහෙන දුරක තියෙන්නේ” කියලා. මේ සම්බන්ධයෙන් මට නම් කියන්න දෙයක් නෑ. මේකට අදාළ කරුණු කාරණා මම දන්නේ නෑ.
එක් පාර්ශ්වයක් විසින් මේ කාරණය බොහොම නාටකීය ස්වරූපයෙන් පෙන්නන බවත් අනිත් පිරිස සුපුරුදු පරිදි පළමු පාර්ශ්වයට පහරදෙමින් ඉන්න බවත් මම දැක්කා. ඒත් ඇත්ත මොකක්ද කියලා හිතන්න මම මහන්සි වුනේ නෑ. ටික දවසක් යද්දි ඔය ගැන වැඩි විස්තර එළියට එයි කියලා මට හිතෙනවා.

ගස් කැපිල්ල ගැන කතාවකුත් තියෙනවා. අපි දන්න කාලේ ඉඳලා මිනිස්සු ගස් කපනවා. මම මේ කියන්නේ තම තමන්ගේ පුද්ගලික උවමනාවලට කපන ගහක් දෙකක් ගැන නෙවෙයි. දේශපාලන බලය පාවිච්චි කරලා අනවසරයෙන් සහ මහ පරිමාණයෙන් ගස් කැපීම ගැනයි මේ කියන්නේ. මේක කාලයක් තිස්සේ ඉඳලා සිද්දවෙන දෙයක්.

පහුගිය දවස්වල සිංහරාජ කතාව ඉස්සරහට එන්න පදනම් වෙච්ච “බිම්බරක් සෙනඟ” ගීතය ගැන හිතලා බලන්න. මට මතක විදිහට මේ ගීතය අපිට මුලින් ම ඇහුණේ 1990 අවුරුද්දේ. ඒ කියන්නේ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව තියෙන කාලයේ. හැබැයි මේ ගීතය ලියන්න රත්න ශ්‍රී විජේසිංහ මහත්තයාට හේතුවෙලා තියෙන්නේ 1979 අවුරුද්දේ ලබපු අත්දැකීමක්. ඒ කාලයේ රත්න ශ්‍රී මහත්තයා වැඩ කරලා තියෙන්නේ මොණරාගල පැත්තේ ඉස්කෝලෙක.

මේ ගීතයේ අපිට අදාළ “ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් – කුංචනාදයෙන් ඇලළුන – වෘක්‍ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි.” කියන කොටස. ඉතින් රත්න ශ්‍රී මහත්තයාගේ මේ ගීතය හරහා කියන්නේ 1977 ආර්ථිකය විවෘත කිරීමෙන් පස්සේ ඇතිවෙච්ච පෙරැළියට සම්බන්ධ අත්දැකීමක්. මේ පෙරැළියේ ආනිශංස අපිත් දැකලා තියෙනවා. 1977 පටන් ගත්ත දේශපාලන හයිකාරකම් තවමත් යහමින් රජකරන බව අපි දන්නවා. ඉතින් දේශපාලන බලහත්කාරකම් පෙන්නලා කැලෑ නොකපා ඉන්නවා කියලා හිතන්න හේතුවකුත් නෑ. කට්ටිය ඔය පුටුවලට යන්නේ ඕවා කරන්න තමයි.
ඉතින් දවසක් පාසා කොළඹ එන ලී ලොරි අපි දකිනවා. එළවළු ලොරි, හාල් ලොරි, හරක් ලොරි කොළඹ එනවා වගේ ම ලී ලොරිත් කොළඹ එනවා. හැබැයි අනිත් ඒවාට වඩා ලී ලොරි හොඳින් කැපිලා පේනවා.

විවෘත ආර්ථිකය හින්දා අපේ පරිභෝජනයත් සෑහෙන්න වෙනස්වුනා. ඉස්සර කටුමැටි ගෙවල්වල හිටිය අපි දැන් ලොකු ගෙවල් හදනවා. ප්‍රේමදාස මහත්තයාගේ ගම්උදාවත් මේ වෙනසට බලපෑවා. අපේ පැත්තේ මිනිස්සු කාලයක් යන කල් හරි අපූරු වැඩකුත් කළා. අලුත් පන්නයට ගෙදරක් හැදුවාට මිනිස්සු හිටියේ පරණ ගෙදර. සෑහෙන කාලයක් යන කල් අලුත් ගෙදර හිස්ව තිබුණා. පරණ පරම්පරාව නැති වෙද්දි, අබල දුබල වෙද්දි තමයි කට්ටිය අලුත් ගෙවල්වලට මාරුවුනේ. පරණ ගෙවල් රස්නේ නෑ. අලුත් ඒවා හරි රස්නෙයි. ඒත් දැන් පරණ ගෙවල් අතුරුදහන් වෙලා. හැම තැනම තියෙන්නේ අලුත් පන්නයේ ගෙවල්.

ගෙවල් හදන්නත්, ඒවාට හරියන ගෘහ භාණ්ඩ ගන්නත් (හදන්නත්) ලී ඕන කරනවා. මුල් කාලේ අපි අපේ ම ගස්වලින් මේ උවමනාව පිරිමහගත්තා. පස්සේ පස්සේ කෙම්පස් වගේ රට ලී එන්නත් පටන්ගත්තා. කොහොම වුනත් මුල් ම කාලේ ඉඳලා ම අපිට මාළිගාවත්ත ලී මෝළේ හඬත් ඇහුණා. දැන් නම් ඒක ඇහෙන්නේ නෑ නේ ද?
කොරෝනාව හින්දා අපේ ආර්ථිකය හොඳට ම කඩා වැටිලා. මේ ආර්ථික බිඳවැටීම හින්දා මිනිස්සුත් පුදුමාකාර විදිහට අනාථ වෙලා ඉන්නේ. හුඟක් වැඩපොළවල් වැහිලා. මිනිස්සු සෑහෙන ප්‍රමාණයකට රස්සාත් අහිමි වෙලා. මේ අවුලෙන් ගොඩ එන ක්‍රමයක් ආණ්ඩුවට උපදෙස් දෙන අය දන්නවා කියලා නම් හිතන්න අමාරුයි. ඉතින් ආර්ථික අහේනීය තව තවත් දරුණු වෙන්න ඉඩ තියෙනවා.

මෙච්චර ආර්ථික බිඳවැටීමක් වෙලා තියෙද්දි ලීවලට විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙන්නේ කොහොමද? මිනිස්සු හෝ ගාලා ගෙවල් හදනවා ද? මිනිස්සු ඉවරයක් නැතුව ලී බඩු ගන්නවා ද? කොහොම හරි මුහුණපොත හරහා දිනපතා දකින ඡායාරූපවලින් කියන්නේ මේ ප්‍රශ්නවලට උත්තර නෙවෙයි ද?

මේ ඡායාරූප පළකරන අය කියන විදිහට කොළඹට එන ලී ලොරි ප්‍රමාණය පුදුමාකාර විදිහට ඉහළ ගිහිල්ලා. ඒ කියන්නේ ලීවලට තියෙන ඉල්ලුම පුදුමාකාර විදිහට ඉහළ ගිහිල්ලා. වඩු බාස්සුන්නැහෙලාත් දවල් රෑ නැතුව වැඩකරනවා ඇති. මේ වැඩේ හරහා විතරක් අපිට විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න බැරි ද?

සිංහරාජ සංවාදයත් ලී ලොරිවල ඡායාරූපත් දකිද්දි මට මෙහෙම දේවල් හිතෙනවා. ඒත් සිංහරාජය ගැනත් ලී ලොරි ගැනත් කියන්න මම දන්නේ නෑ. ඉතින් අපේ වත්තේ කපලා තියෙන පොල් අත්තක පින්තූරයක් මම මූණු පොතේ පළ කළා. “ඕක සුළු දෙයක්නේ. ගණන් ගන්න දෙයක් නෙවෙයි. මූණු පොතේ දාන්න දේකුත් නෙවෙයි” කියලා මගේ හොඳ යාළුවෙක් මට කිව්වා. ඒත් මම කැමැතියි පොල් අත්ත ගැන කතා කරන්න. ඒ ප්‍රවෘත්තිය මට ෂුවර්. ඒක ගැන නම් මම සහසුද්දෙන් ම දන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap