Opinion

සිංහලේ කේරළ සුවඳ

Summary

මනුෂ්‍ය සංහතියේ සංස්කෘතික නිර්මිත සම්බන්ධයෙන් මූල නිර්මිතයන් සෙවීම කල හැක්කක් නොවේ . අපට කල හැක්කේ ඒවායේ විකාශනයන්, ගතිකයන් සහ සහ-සම්බන්ධයන් සෙවීමය

  • Save

ලංකාවත් කේරළයත්  අතර ඇති සම්බන්ධකම් ගැන බොහෝ දෙනා  දනිති. ඇත්තටම එය මහ පුදුමාකාර සම්බන්ධයකි. ලංකාවේත් කෙරළයේත් වෙසෙන ජන සමූහයාගේ හැඩරුව අතිශයින්ම එක සමානය. මට අනුව මේ  කුලකයට දැමිය හැකි ලොව අනෙක් එකම ජාතිය බංගලිදේශ ජාතිකයන් පමණය.  කේරළයන් සහ සිංහලයන්ගේ කෑම  බීමද බොහෝ සෙයින් සමානය. දෙරටම වැසියන් තම ආහාර වලට ඇති පදම් පොල් එකතු  කර ගනිති. මේ දෙරටේ  පාරිසරික තත්වයන්ද ගහකොළ සතා සීපාවාද කෙස් ගහට සමානය. ලොව කුමන හෝ භූමියක් , එම භූමියට හොඳින් හුරුපුරුදු කෙනෙකුට දුටු සැනින් අඳුරා ගැනීමට හැකියාවක් තිබේ. මෙසේ වන්නේ ඕනෑම භූමියකට අනුබද්ධිත යම් පාරිසරික  වර්ණ සංයෝජනයක් තිබෙන නිසාත් , එම වර්ණ සංයෝජනය එකී භූමිය සමග අප සම්බන්ධ නම් අපේ මනසේ නොදැනුවත්වම  තැන්පත් වීමත් නිසාය. කේරළය හා ශ්‍රී ලංකාව අතර මේ වෙනසද  සූක්ෂම නිරීක්ෂකයකුට පවා හඳුනා ගැනීමට  අපහසුය. මේ දෙරටේ සංස්කෘතිකාංග, යාතු කර්ම බලිතොවිල් ආදියද අතිශය විචිත්‍රවත් ඥාති සම්බන්ධකම් දක්වති. මේ සියල්ලටත් වඩා කැපී පෙනෙන සුළු දෙය නම්  මේ දෙකලාපයටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී  බලපෑම එල්ලවුයේ  එක සමානව එක සමාන කාල පරිඡේදයක වීමත්    එයින් ඇති වී තිබෙන ප්‍රථිපලද එක සමාන වීමත්ය . එතෙක්  ස්වදේශීකව පැවති සිරිත් විරිත් සහ අලුත් ඉංග්‍රීසි සිරිත් විරිත් එකට එක්කාසු වී හටගෙන තිබෙන නව සංස්කෘතික භාවිත කට්ටලද දෙරටේම එක සමානය.

මෙලොව කිසිදු සංස්කෘතියකට තනිව හටගැනීමටත් තනිව වර්ධනය වීමටත් හැකියාවක් නැත. වෙනස් වීම , වර්තනය වීම , සහ එකට මුසු වීම ඕනෑම සංස්කෘතියක අත්‍යන්ත ගති ලක්ෂණ වන අතර සංස්කෘතීන් එකක් මත තවෙකක් අති  පිහිත වීමත් එකෙකින් අනෙකට විසරණය  වීමත් බහුලව සිදු වෙයි. මේ අයුරින් ලංකාවට අතිශයින්ම ලඟින් පිහිටා තිබුණු කේරලයේ සංස්කෘතික සුලඟ ලංකාවට වැදීම පිලිබඳ පුදුම වීමට දෙයක් නැත. අප අමතක නොකළ යුත්තේ කේරළයෙන් ලංකාවත් ලංකාවෙන් කේරලයත් පෝෂණය වුනු බවය. සංස්කෘතික විසරණය කිසි විටෙකවත් එක් පසෙකට පමණක් සිදු නොවේ.

ලංකාවේ කුල ඉතිහාසය හදාරන ඕනෑම කෙනෙකුට පසුගිය සියවස් කීපයේ අතීතය තුලදී කේරළය  අභිමුඛ වීම වැළක්විය හැක්කක් නොවේ. ඊට හේතුව නම් ලංකාවේ පහතරට පළාත් වල ගොවිගම නොවන ප්‍රධාන කුල ත්‍රිත්වයේම ඉතිහාස කතා කේරළයේ විවිධ පෙදෙස් හා බැඳී තිබීමයි . කරාව , දුරාව සහ සලාගම වන මේ කුල ත්‍රිත්වයෙනුත් වඩාත්ම කේරළය හා බැඳී තිබෙන්නේ දුරාව කුලයේ ඉතිහාසයයි. ලංකාවේ කුල අධ්‍යනය සම්බන්ධයෙන් ගොඩනැගී තිබෙන බටහිර මානව විද්‍යා ඇකඩමික මතයට අනුව දුරාව කුලය යනු ලන්දේසි පාලන කාලය තුලදී රා  මැදීමේ කර්මාන්තය සඳහා කේරළයෙන් මෙරටට ගෙන ආ රා මදින්නන්ගෙන් පැවත  එන කුලයයි. කේරළයේ සිට මෙරටට එවැනි ජන කොටසක් ගෙන ආ බවටත් ඔවුන් පසු කාලීනව දකුණු වෙරළ තීරයේ ස්ථිර ලෙස පදිංචි වූ බවටත් ඔප්පු කිරීමට ප්‍රමාණවත්  සාක්ෂි තිබේ. නමුත් යම් සංසිද්ධියකට ඇත්තේ එක ඉතිහාසයක් පමණක් නොවේ. දුරාව කුලයේ ඉතිහාසය ගැන ලියා තිබෙන එම කුලයට අයත් පැරණි උගතුන්ට අනුව දුරාව කුලය යනු මෙවැනි සංක්‍රමණයකින් ඇති වූවක් නොව ඊට බොහෝ කලකට පෙර සිට ලංකාවේ කුල සංයුතිය තුල තිබුණු එකකි. මෙම ඉතිහාසය දෙසට හැරුණහොත් දුරාවේ ඉතිහාසය  කෝට්ටේ යුගය හරහා දඹදෙණි යුගය දක්වාම දිව යන අතර ඉන් එක්  කතාවකට අනුව එම යුගයේ රජකළ දෙවන බුවනෙක බාහු රජතුමා විසින් කේරළයේ රජුගේ ඉල්ලීමකට අනුව  එරට පොල් කර්මාන්තය දියුණු කිරීමට මෙරටින් පොල් මැදීමේ ශ්‍රමිකයන් එරටට පිටත් කොට තිබේ. කේරලය යනු අදටත් ජනවාර්ගික ලෙස සරල බහුතරයක් නැති, විවිධ ජනවර්ග රාශියකින් සමන්විත සමාජයක් පවතින කලාපයකි. මින් වැඩිම ප්‍රතිශතයක් සිටින එසාවා ජනවර්ගය එම ප්‍රාන්තයේ සමස්ථ  ජනගහනයෙන් සීයට විස්සක් නියෝජනය කරන අතර ඔවුන් අතර පවතින ජනප්‍රවාදයකට අනුව ඔවුන් පැවත එන්නේ මීට සියවස් ගණනාවකට එපිට ලංකාවෙන් එරටට සංක්‍රමණය වුනු ජන කොටසකිනි. මේ ජනප්‍රවාදයත් ලංකාවේ ඉතිහාස කතාවත් මේ දෙරටේ ජනසංක්‍රමණ පිළිබද නව අධ්‍යනයක් කිරීමට කදිම දොරටුවක් විවර කරයි.

ජන සංක්‍රමණය  දෙපසටම  සිදු වූවා මෙන්ම සිරිත් විරිත් , දැනුම, ශිල්ප ක්‍රම සහ ඇදහිලි විධිද දෙපසටම විසරණය වන්නට ඇත. ලංකාවත්  කේරළයත්  යන දෙතැනම අලියාට ලැබී තිබෙන්නේ පූජනීය තත්වයකි. දළදා පෙරහැරේ කරඬුව වඩම්මවන ඇතා කේරළයේත් එවැනිම රාජකාරියක යෙදෙයි. ඊට අනුබද්ධිත සිරිත් විරිත්, ඇඳුම් පැළදුම් සියල්ලම අතිශයින්ම ඥාතීත්වයෙන්  බැඳී පවතින බව බැලු  බැල්මටම කිව හැක. මාතර පළාතේ සුප්‍රකට මලයාලි ගුරුකම් පැවතෙන්නේ කේරළයෙන් වන අතර කේරළ හින්දු බැතිමතුන් ලාංකික බෞද්ධයන් මෙන්ම බෝ  ගසට වන්දනා මාන කරති. පොල් කර්මාන්තයත් රා මදීමත් ගැන ඉහත කියවිණි. අධිරාජ්‍යවාදී යුගයේ හට ගත් කර්මාන්තයක් වන පොල් රා කර්මාන්තය මෙන්ම කොහු ලණු කර්මාන්තයද දෙරටටම පොදුය. මීට අමතරව බ්‍රිතාන්‍යයන් දෙරටේම පොල් වලට අමතරව තේ සහ රබර්ද වගා කළහ. කේරළයේ කලාරි පට්ටම් සටන් ශිල්ප ක්‍රමය සහ ලංකාවේ අංගම් ශිල්පය අතර ඇත්තේද විශාල සමාන කමකි. ඊට අමතරව මේ ශිල්ප දෙක ඉතිහාස කතා ගණනාවකින්ද  සම්බන්ධිතය.  දෙරටේම වැසියන් සුභ අවස්ථා වල කිරිබත් අනුභව කරති. කිරි උතුරුවති. අලුත් සහල් මංගල්‍ය පවත්වති. කෝලම් නටති.  බලි තොවිල් කරති. ගොක්කොල සැරසිලි කරති. ලංකාවේ උඩරට ප්‍රභූන්ගේ සහ රාජකීයන්ගේ පාරම්පරික ඇඳුම් ද කේරළයට නෑකම් කියන බව පසුගිය දිනක මා කියවූ ලිපියක දුටිමි. මේ ලැයිස්තුව තවත් බොහෝ දීර්ඝ වනවා මිස කෙටි වන්නේ නැත.

අපේ තේරුම් ගත යුතු වැදගත් කාරණා දෙකකි. පළමු වැන්න නම් සංස්කෘතිය විෂයෙහි ලා මූල  දේවල් (original) ලොව කොතනකවත් නොමැති බවය.  මනුෂ්‍ය සංහතියේ සංස්කෘතික නිර්මිත සම්බන්ධයෙන් මූල නිර්මිතයන් සෙවීම කල හැක්කක් නොවේ . අපට කල හැක්කේ ඒවායේ විකාශනයන්,  ගතිකයන් සහ සහ-සම්බන්ධයන් සෙවීමය. යමක් ශ්‍රේෂ්ඨ වීමට හෝ වටිනාකමක් සහිත වීමට නම් ඒ දෙය වෙනත් කිසිදු තැනක නොමැති මූල ප්‍රපංචයක් විය යුතුය යනුවෙන් වූ දෝෂ සහගත කල්පනාවකින් අපේ බොහෝ දෙනා පෙළෙති. මෙයින් ඇතැමෙක් සිංහලයන්ට එවැනි මූල නිර්මිත (original entities) කිසිත් නොමැති බව තීන්දු කොට සිංහල ශිෂ්ඨාචාරය පිරිහෙලති. තවත් ඇතැමෙකු සිංහලයන්ට එවැනි බොහෝ දේ ඇති බව පෙන්වීමට අතිශය අභව්‍ය විහිළුසහගත  ප්‍රබන්ධ ගොතති.  මේ දෙපිරිස මතුපිටින් එකිනෙකට විරුද්ධ දෙපිලක් නියෝජනය කලත් ගැඹුරු දාර්ශනික පරිකල්පනයෙහි  ලා සිටින්නේ එකම තැනකය. එකම කාසියක දෙපැත්ත බඳුය. අප තේරුම් ගත යුතු දෙවැනි කරුණ නම් මූල ප්‍රපංචයන් ලොව නොපවතිතත් අපට අපේ  යයි කිවහැකි දෙයක් නැති බව මෙයින් නොකියවෙන බවය. ලොව කොහෙන් පැමිණියද අපේ සංස්කෘතික කෝව  තුල පදම්  වූ පසු යමක් අපේ බවට රූපාන්තරණය වෙයි. මේ අනුව දළදා පෙරහරේ ඇතාද, පහතරට බලි තොවිල්ද, ගුරුකම් ද, කිරිබත් ද, පොල් රාද කිසිදු සැකයක් නොමැතිව අපේය. නමුත් ඒවායේ දැවටී තිබෙන කේරළ සුවඳ අප ප්‍රතික්ෂේප කල යුතුද නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap