Comment Opinion

සිංහල භාෂාවේ චීන වචන?

Summary

සජීවි භාෂාවක් පවතින්නේ අතුපතර විහිදෙමින් කොළ දළු ලා වැඩෙන ගහක් වගේ. එහෙම භාෂාවක් එක තැන පල්වෙන්නේ නෑ. නිතර ම වෙනස්වෙනවා. හැබැයි මේ වෙනසකම් ඇතිවෙන්න ඕන භාෂාවේ අනන්‍යතාව රැකගෙන. අඹ ගහක් අතුපතර විහිදිලා වැඩෙද්දි ඒක කොස් ගහක් බවට පත්වෙන්නේ නෑ. කොච්චර ලොකු මහත් වුනත් අඹ ගහ තමන්ගේ අනන්‍යතාව රැකගන්නවා. සජීවි භාෂාවක් වර්ධනය වෙන්නත් ඕන ඒ විදිහට.

සජීවි භාෂාවක් පවතින්නේ අතුපතර විහිදෙමින් කොළ දළු ලා වැඩෙන ගහක් වගේ. එහෙම භාෂාවක් එක තැන පල්වෙන්නේ නෑ. නිතර ම වෙනස්වෙනවා. හැබැයි මේ වෙනසකම් ඇතිවෙන්න ඕන භාෂාවේ අනන්‍යතාව රැකගෙන. අඹ ගහක් අතුපතර විහිදිලා වැඩෙද්දි ඒක කොස් ගහක් බවට පත්වෙන්නේ නෑ. කොච්චර ලොකු මහත් වුනත් අඹ ගහ තමන්ගේ අනන්‍යතාව රැකගන්නවා. සජීවි භාෂාවක් වර්ධනය වෙන්නත් ඕන ඒ විදිහට.
අනන්‍යතාව රැකගන්නවා කියන්නේ ගල් ගෙඩියක් වගේ එක තැන රැඳිලා තියෙනවා කියන එක නම් නෙවෙයි. භාෂාවක් ලොකු මහත්වෙද්දි ඒකට අලුත් ශබ්ද, අලුත් වචන, අලුත් යෙදුම් එකතුවෙන්න පුළුවන්. ඒ වගේ ම, තියෙන වචනවල සහ යෙදුම්වල අර්ථ වෙනස්වෙන්නත් පුළුවන්. අර්ථ වෙනස්වීම ආකාර දෙකකින් සිද්දවෙනවා. තියෙන අර්ථ රැකගෙන තවත් අර්ථ ගැනීම තමයි පළමුවැනි ක්‍රමය. තියෙන අර්ථය නැතිවෙලා අලුත් ම අර්ථයක් ගැනීම තමයි දෙවැනි ක්‍රමය.

සිංහල කියන්නෙත් සජීවි භාෂාවක්. අපේ භාෂාවට අලුත් ශබ්ද එකතුවෙන විදිහ, අලුත් වචන එකතුවෙන විදිහ, අලුත් යෙදුම් එකතුවෙන විදිහ අපි දැකලා තියෙනවා. අපේ කටට හුරු නැති ශබ්ද අපි කතාකරන භාෂාවේ දකින්න අමාරුයි. “ෆ” අකුර එහෙම එකක්. ඒත් අපි ලියද්දි මේ අකුර පාවිච්චිකරනවා. ඒ ශබ්දය මනසින් සහ ආයාසයකින් කියවන්න අපිට පුළුවන්. ඉංග්‍රීසි Z අකුරේ ශබ්දයට ගැලපෙන අකුරක් හඳුන්වලා දුන්නත් මේ වැඩේ ම වෙයි.
අලුත් වචන හැදිල්ල අපිට අමුතු දෙයක් නෙවෙයි. කුමාරතුංග මහත්තයා මේ වෙනුවෙන් කරපු සේවය ඉතාමත් ඉහළින් ඇගැයෙනවා. විවිධ විෂයය කරුණුවලට අදාළ පාරිභාෂික වචන හැදිල්ලකුත් සිද්දවෙනවා. මෑත කාලයේ දී පරිගණක සහ ජංගම දුරකථන පාවිච්චිය එක්ක හැදිච්ච වචන ගොඩකුත් තියෙනවා. මාක්ස්වාදී දේශපාලනය විසින් හඳුන්වලා දීපු වචන ප්‍රමාණයත් සුළුපටු නෑ. අලුත් දැනුම නිර්මාණය වෙද්දිත් පිටස්තර දැනුම රට ඇතුළට ගලාගෙන එද්දිත් මේ විදිහට අලුත් වචන හදන්න වෙනවා.

යම් භාෂාවක් කතාකරන මිනිස්සු වෙනත් භාෂාවක් කතාකරන මිනිස්සුත් එක්ක නිතර නිතර ගනුදෙනු කරද්දි අලුත් ශබ්ද සහ වචන භාවිතයට එකතුවෙනවා. ඒ ආගන්තුකයන්ගේ නම් ගම් කියන එකට පවා මේ ශබ්ද සහ වචන එකතුවීම ඕනෑකරනවා. මේක ද්විපාර්ශ්වික ගිවිසුමක් යටතේ සිද්දවෙන කටයුත්තක් නම් නෙවෙයි.

කතෝලික ආගම හා සම්බන්ධ වචන සෑහෙන ප්‍රමාණයක් අපි හදාගෙන තියෙන්නේ පෘතුගීසි භාෂාවේ බලපෑමෙන්. බෞතීස්ම, මඤ්ඤා, පඤ්ඤා, අල්තාරය, අන්දෝරුව, පාදිලි, නත්තල කියන වචන ඒ අතර තියෙනවා. කසාද, තුවා, සබන්, විනාකිරි, සපත්තු, අරක්කු, කබාය, කලිසම, බැනියම, සාය, සලාද, අච්චාරු, කජු, බෝංචි, ලිංගුස්, සීනි කියන වචන හදාගන්නත් පෘතුගීසි භාෂාව බලපාලා තියෙනවා. අල්මාරිය, පෙනේරය, අලවංගු, කල්දේරම, ගුදිරි, තාච්චි, පෝරණු, බන්දේසි, බාල්දි, බුජ, බස්තම්, ලේන්සු, මේස කියන වචන ලැබිලා තියෙන්නෙත් ඒ විදිහට.
පේර, ගඩුගුඩා, මැංගුස්ටීන්, රඹුටන්, දූරියන් කියන පළතුරුවල නම් සහ කොකිස්, දොදොල්, සූකිරි, ලෑතර කියන රස කැවිලිවල නම් අපි හදාගෙන තියෙන්නේ ලන්දේසි භාෂාව ආශ්‍රයෙන්. ඊට අමතරව බාල්ක, කලම්ප, තරප්පු, සොල්දර, ඉස්තෝප්පු, බරාද, සාලය, ලැටිස්, බෝක්කුව, ඉස්කුරුප්පුව, රාක්ක කියන වචනවලත් කේතල, පෝච්චි, ලන්තෑරුම්, බක්කි, සාස්පාන, ඉස්ති‍රික්කය කියන වචනවලත් ලන්දේසි මුල් තියෙනවා.

ඉංග්‍රීසි භාෂාව ඇසුරෙන් අපි හදාගෙන තියෙන වචන ප්‍රමාණයත් සුළුපටු නෑ. ලොරිය, ටයරය, ඇන්ජිම, බෝට්ටුව, ගේට්ටුව, වයරය, කමිටුව, බයිසිකලය, සයිකලය, සබ්මැරීනය, වෙළුම, මාදිලිය වගේ වචන අපේ භාෂාවට එකතුවෙලා තියෙන්නේ ඒවායේ මූලික ස්වරූපය රැකගෙන. මීට අමතරව, ඉංග්‍රීසි වචන සඳහා ගැලපෙන සිංහල වචන හදන්නත් අපේ භාෂා විශේෂඥයෝ කටයුතු කරලා තියෙනවා.

පාලි, සංස්කෘත, දෙමළ භාෂාවලින් අපේ භාෂාවට එකතුවෙච්ච වචන ගැන කියන්න ඕන නෑ. සිංහල සහ පාලි අතර තියෙන ළඟ බැඳීම අපි හැමෝම දන්නවා. හින්දි භාෂාවේ තියෙනවටත් වඩා තද සංස්කෘත බලපෑමක් සිංහල භාෂාවේ දකින්න පුළුවන්. අවුරුදු දාහකට වැඩි කාලයක් අපිත් එක්ක ගනුදෙනුකරන දෙමළ මිනිස්සුන්ගේ භාෂාවෙන් ඈත්වෙන්නත් අපිට බෑ. ඉතින් අපේ භාෂාවේ දෙමළ වචන මහ ගොඩකුත් තියෙනවා.

සෑහෙන කාලයක ඉඳලා අපි චීනය එක්කත් ගනුදෙනුකරනවා. මේ ගනුදෙනුවලින් අපේ භාෂාවට බලපෑමක් වෙලා තියෙනවා ද? මේ ගැන කරපු අධ්‍යයනයක් මම නම් දැකලා නෑ. ඒ කොහොම වුනත්, යම් චීන වචන ප්‍රමාණයක් අපේ භාෂාවට එකතුවෙලා තියෙන බව පැහැදිළියි. “චීනය” කියන්නේ චීන වචනයක් නෙවෙයි. ඒත් ඉස්සර ඉඳළා ම ඒ රට හඳුන්වන්න “සීනය”, “චීනය” කියන නම් අපි පාවිච්චිකරලා තියෙනවා. චීන්නු තමන්ගේ රට හඳුන්වන්නේ “චුං-කුඕ” (මධ්‍යම රාජධානිය) කියලා. කුංෆු, වූෂු වගේ වචනත් අපි පාවිච්චිකරනවා. ඒ සටන් කලාව ආශ්‍රිතව. ඇත්තෙන් ම, කුංෆු, වූෂු කියන වචන දෙක ම චීනයේ යෙදෙන්නේ සටන් කලාව හැඳින්වීමේ පොදු අර්ථයකින්. වූ, ෂූ කියන වචන දෙකේ තේරුම “සටන් කලාව” කියන එක ම තමයි. කුංෆු කියන යෙදුමේ අර්ථ ගොඩක් තියෙනවා.

කොන්ෆියුසියස්, ෆාහියන් වගේ නම් අපි ලබාගෙන තියෙන්නේ බටහිර මූලාශ්‍ර හරහා. ඉංග්‍රීසි භාෂාවෙන් චීනය දිහා බලද්දි මෙහෙම වෙනවා. “කුං ෆූ-ත්ස” (කුං ගුරුතුමා) කියන යෙදුම තමයි “කොන්ෆියුසියස්” කියලා නමක් විදිහට බටහිර භාෂාවලට පෙරළගෙන තියෙන්නේ. එහෙම නම් චීනයේ නෑ. චීන නම්වල ස්වභාවය අපි හැමෝ ම දන්නවා. ඒත් අපි මේ බටහිර “නම” සිංහලෙන් ලියනවා.

මම අවුරුදු විස්සක් විතර චීන අධ්‍යයන (Sinology) කාර්යයේ නිරතවෙලා ඉන්න කෙනෙක්. එහෙම විෂයයක් මේ ලෝකයේ තියෙනවා. (Indology, Tibetology, Japanology කියලත් අධ්‍යයන ක්‍ෂේත්‍ර තියෙනවා). මම කරුණු හොයන්නේ, හදාරන්නේ චීනය ගැන. චීනය කියන්නේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙන, පොහොසත් සංස්කෘතියක් තියෙන රටක්. ඉතින් මේ වැඩෙන් මම හඳුනාගත්ත රසවත් සහ ප්‍රයෝජනවත් දේවල් මහ ගොඩකුත් තියෙනවා. මේ විදිහට දැන හඳුනාගත්ත දේ අපේ අයත් එක්ක බෙදාගන්නත් මම කැමැතියි. මේ තමයි මගේ අධ්‍යයන ක්‍ෂේත්‍රය. කෘෂිකර්මය ගැන හදාරන කෙනෙක් ඒ ගැන කියනවා වගේ, වෙදකම් ගැන දන්න කෙනෙක් ඒ ගැන කියනවා වගේ මම හදාරන දේ ගැන කියන්න මට පුළුවන්. ඒක වැරැද්දක්, අපරාධයක් කියලා මම හිතන්නේ නෑ. “චීන ගැත්තා”, “චීන ඔත්තුකාරයා” වගේ නින්දා අපහාස විඳ විඳ මට පුළුවන් තරමින් මම මේ වැඩේ කරනවා.

චීන භාෂාව යම් ප්‍රමාණයකට ප්‍රගුණකරලා තියෙන හින්දා මේ දේවල් හොඳින් රසවිඳින්න, තේරුම්ගන්න මට පුළුවන්. ඒත් මේ දේවල් සිංහලෙන් කියද්දි මම හිරවෙනවා. චීන භාෂාවේ තියෙන සමහර ශබ්ද සිංහල භාෂාවේ නැති එක ගැන නම් මම වදවෙන්නේ නෑ. ඒ සඳහා ආසන්න ශබ්දය යෙදීම ප්‍රමාණවත් කියලා මට හිතෙනවා.

උදාහරණයක් විදිහට කියනවා නම් චීන භාෂාවේ “ච” ශබ්ද හතරක් තියෙනවා. පින්-යින් (Pinyin) හෝඩියේ J, Q, Zh සහ Ch අකුරුවලින් ඒ ශබ්ද දක්වනවා. J සහ Q ශබ්ද අපේ “ච” සහ “ඡ” ශබ්ද දෙකට සමානයි. එකක් අල්පප්‍රාණ. අනිත් එක මහප්‍රාණ. Zh කියන්නෙත් අල්පප්‍රාණ “ච” ශබ්දයක් තියෙන නිරූපණයක්. හැබැයි ඒක මූර්ධජ ශබ්දයක්. Ch යොදන්නේ මහප්‍රාණ මූර්ධජ “ඡ” ශබ්දය නිරූපණය කරන්න. මම මේ වෙනස ගැන හිතන්නේ නැතුව “ච” සහ “ඡ” අකුරු දෙක පාවිච්චිකරනවා. ඒක ප්‍රමාණවත් කියන එක තමයි මගේ අදහස.
පුද්ගල සහ ස්ථාන නම් හැරෙන්න අනිත් ඒවා සිංහලෙන් ම කියන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. උඩින් කියපු වූෂු, කුංෆු කියන වචනත් සිංහලෙන් කියන්න පුළුවන්. අදාළ වචනවල සිංහල තේරුම පාවිච්චිකරනවා නම් ඒ වැඩේ සිද්දවෙයි. හැබැයි එහෙම කරන්න අදාළ වචනවල අර්ථ ගැන යම් ප්‍රමාණයක හරි දැනුමක් තියෙන්න ඕන.

චීන නම් ලියද්දි මැදට කෙටි ඉරක් යොදන ක්‍රමයක් මම අනුගමනයකරනවා. මාඕ ත්ස-තුං, චෝ අන්-ලයි, පෙයි-චිං, ෂං-හයි, ථියැන්-අන්-මන් වගේ නම් මම ඒ විදිහට ලියනවා. මෙහෙම කරද්දි සිංහල භාෂාවේ තියෙන සංවෘත – විවෘත හඬ භාවිතය අදාළ කරගන්න පුළුවන් කියලා මට තේරෙනවා. මීට කලින් කවුරුවත් මෙහෙම කෙටි ඉරක් යොදලා ඒ වචන ලියනවා මම දැකලා නෑ. ඒත් නිතර ම, චීන නම් ගම් ලියන මට මේ ක්‍රමය ප්‍රායෝගිකයි කියලා හිතෙනවා.
සංවෘත ශබ්දවලින් පටන්ගන්න නම් සිංහලෙන් ලියන එක නම් හරි ම අමාරුයි. චෝ අන්-ලයි කියන නමේ “අන්” පටන්ගන්නේ සංවෘත “අ” ශබ්දයෙන්. “මංත්ස” (Mengzi) කියන වචනය සිංහලෙන් කියන්න ඕන “මංතුමා” කියලා. මෙතැන “මං” ශබ්දවෙන්නේ සංවෘත විදිහට. ඒත් “මංතුමා” කියන මේ වචනය දැක්ක ගමන් ම අපිට පුරුදු ඒක සංවෘත විදිහට කියන්න. එහෙම කියවද්දි ඇතිවෙන්නේ වෙනත් අර්ථයක්. චීන භාෂාවේ විවෘත විදිහට උච්චාරණය කරන “මං” (Mang) ශබ්දත් තියෙනවා. හ-නන් පළාතේ තියෙන “මං කන්ද” එහෙම එකක්. “ථියැන්-අන්-මන්” වගේ වචනයක් මැද්දේ සංවෘත ශබ්දයක් යෙදෙද්දි අපිට ඒක ඒ විදිහට ම කියවන්න පුළුවන්. කෙටි ඉරි යෙදීමෙන් ඒ සඳහා අනුබලයකුත් ලැබෙනවා. මෙතැන “අන්” සහ “මන්” දෙක ම අපි සංවෘත විදිහට කියවනවා. ප්‍රශ්නය තියෙන්නේ කලින් කිව්ව ආකාරයේ නම් පටන්ගන්න තැන්වල යෙදෙන සංවෘත ශබ්ද උච්චාරණය කරද්දියි.

අපේ භාෂාවේ පිළිවෙතට පටහැනි වැඩක් චීන වචන සිංහලෙන් ලියද්දි අපි කරනවා. වචන අග තියෙන “ඕ” ස්වර ශබ්දය ව්‍යඤ්ජන අකුරකින් ආවරණය නො කර ලිවීම තමයි ඒ වැඩේ. මාඕ, තාඕ, ලාඕ, තාඕ, චාඕ, ශියාඕ වගේ වචන ලියන්නේ ඒ ක්‍රමයට. මේ වචන මාවෝ, තාවෝ, ලාවෝ, චාවෝ, ශියාවෝ කියලා අපි ලියන්නේ නෑ. මේක අපි හැමෝ ම වගේ කරන වැඩක්. චීන වචන හුඟක් කෙටි හින්දා තමයි මෙහෙම වෙන්නේ.

මෙහෙම දෙයක් වෙන්නේ ස්වර කීපයක් එකට යෙදෙද්දි. මාඕ = ම් + ආ + ඕ කියන තැන “ආඕ” කියන ස්වර දෙක එකට යෙදෙනවා. මේ විදිහට හැදෙන්නේ “සංයුක්ත ස්වර” කියලා වයි. ඩී. ප්‍රියංකර මහත්තයා මට කියලා දුන්නා. (නොදන්නකමට මම ඒවාට කිව්වේ “මිශ්‍ර ස්වර” කියලා). ඊට අමතරව, එස්. එල්. කැකුළාවල මහත්තයා ලියපු “ව්‍යවහාර සිංහලයේ සංයුක්ත ස්වර” කියන ලිපිය මට දෙන්නත් එතුමා කාරුණික වුනා. මේ සම්බන්ධයෙන් ප්‍රියංකර මහත්තයාට පින්දෙනවා.
සිංහල භාෂාවේ නිතර යෙදෙන [ඉඋ], [එඉ], [එඋ], [ඇඉ], [ඇඋ], [අඉ], [අඋ], [ඔඉ], [ඔඋ], [උඉ], [ඇඋ] සහ [ආඉ] කියන සංයුක්ත ස්වර දොළහ ගැනත් ඊට වඩා අඩුවෙන් යෙදෙන [ඒඉ], [ඕඉ], [ඕඋ], [ඌඉ], [ඊඋ], [ඒඋ], [ඈඉ] සහ [ආඋ] කියන සංයුක්ත ස්වර අට ගැනත් විස්තර කැකුළාවල මහත්තයාගේ ලිපියේ තියෙනවා.

චීන භාෂාවේ එන සංයුක්ත ස්වර ශබ්ද පින්-යින් ක්‍රමයෙන් ලියන්නේ ai, ei, ao, ou, ua, uo, uai, ui, ia, ie, iao, iu, ü, üe කියන ක්‍රමයට. මේවා අදාළ සිංහල ස්වරාක්‍ෂරවලින් මෙහෙම ලියන්න පුළුවන්. ai [අඉ], ei [එඉ], ao [අඔ], ou [ඔඋ], ua [උඅ], uo [උඔ], uai [උඅඉ], ui [උඉ], ia [ඉඅ], ie [ඉඑ], iao [ඉඅඔ], iu [ඉඋ], ü [ය්‍යු], üe [ය්‍යුඑ].

මේ ශබ්ද ඒ විදිහට ම සිංහලෙන් ලියන්න ඕන කියලා මම හිතන්නේ නෑ. අපි දැනටත් “මඔ” කියන නම ලියන්නේ “මාඕ” කියලා. මෙහෙම දීර්ඝ විදිහට උච්චාරණය කරන එකේ වැරැද්දක් මම දකින්නේ නෑ. ඒත් ගැටලුව ඇතිවෙන්නේ ඒක තවදුරටත් ව්‍යඤ්ජන අකුරකින් ඔතලා “මාවෝ” කියලා කියද්දි. තං ශියාඕ-පිංගේ නමත් එහෙමයි. ඒ නමේ මැද කොටස “ශියාඕ” කියන්නේ නැතුව “ශියාවෝ” කියලා ලියද්දි ඒක සෑහෙන දුරකට වෙනස්වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වෙන්නේ “ඕ” අකුර නිරාවරණය කරලා ලිව්වොත් කියලා තමයි මට හිතෙන්නේ. දැනටමත් අපි එහෙම කරන හින්දා (මාඕ, තාඕ, ලාඕ, තාඕ, චාඕ, ශියාඕ වගේ වචන ලියන හින්දා) මේ භාවිතය ඉස්සරහටත් පවතියි කියලා මම හිතනවා.

ඇත්තෙන් ම, මේ නම් ගම් අපේ එදිනෙදා ව්‍යවහාරයට එන්න තියෙන ඉඩ ඉතාමත් අඩුයි. “ෆ” අකුර හඳුන්වලා දීලා සෑහෙන කාලයක් ගතවෙලා තිබුණත් අපි කතාකරද්දි ඒක කියන්නේ නෑ. ඒත් කියන්න ඕන වෙලාවට මනසින් හරි ආයාසයකින් හරි ඒක කරන්න අපිට පුළුවන්. චීන පුද්ගල සහ ස්ථාන නම් සිංහලෙන් ලියද්දිත්, ඒවා කියවද්දිත් අපිට මේ හා සමාන වැඩක් කරන්න පුළුවන්. ඒත් “ය්‍යුඑ” වගේ නමක් අපිට තවමත් හුරු නෑ. ඒත් වෙනත් විසඳුමක් ගැන මට හිතෙන්නෙත් නෑ.

මේ ගැන අදහස් දැනගන්න මම කැමැතියි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.