Opinion

සිතියම් මතින් නූතන රාජ්‍ය ගොඩනැංවීම

Summary

භූමිය මත පදනම් වුනු දේශසීමා යනු බටහිර නූතනත්වය සමග කරලියට ආ සංකල්පයකි. පෙර කාලයේදී “ රට” හෝ “ රාජධානිය” යන අදහස් පැවතියේ භූමිය මත පදනම් වනවාට වඩා මනුෂ්‍ය ක්‍රියාකාරකම් තුල පදනම් වෙමිනි.

  • Save

එක්දහස් අටසිය අනූව අවුරුද්දේ එක්තරා දිනක සියම් රටේ බැංකොක් නුවර රජ වාසලෙන් ඒ වන විට  බුරුමයේ පාලනය පිහිටුවා ගෙන සිටි  ඉංග්‍රීසි ආණ්ඩුවට අපූරු ලියමනක් යන්නේය. එහි සඳහන් වන්නේ  ඔබගේ දේශ සීමා ( දේශ සීමා යනුවෙන් ඔබ හඳුන්වන කුමන හෝ දෙය  ) ඔබට රිසි පරිදි  මහ පොලොව මත සලකුණු කිරීම කෙරෙහි සියම් රජුගේ කිසිම විරෝධතාවයක් නොමැති බවත්  එම කාර්යය ඔබට රිසි පරිදි කරගැනීමට එතුමන්ගේ පූර්ණ ආශිර්වාදය හිමි වන බවත්ය. මෙය ඉංග්‍රීසීන් මවිත කල ලියමනක් විය.

ඉංග්‍රීසීන් සහ අතීත උතුරු බුරුම ආවා රාජධානිය අතර අදියර තුනකදී යුධ මාලාවන් තුනක් ඇති විය. මෙයින් තුන් වැන්න  සිදු වූ 1885 අවුරුද්දේ දී  මණ්ඩලයේ රජකළ තිබෝ මින් රජතුමා  ඉංග්‍රීසීන් යටතට පත් වන අතර  ඉන් පසු දීර්ඝ ගමනකින් පසුව ඉන්දියාවේ රත්නගිරි පලාතට පිටුවහල් කරනු ලබන්නේය. ඒ වන විට බටහිර බුරුමයේ තිබුණු අරකන් රාජධානිය තමන් සතු කර ගැනීමෙන් එතෙක් ඔවුන් මුහුණ දුන් බරපතල  අභියෝග දෙකකට පිළිතුරු සම්පාදනය කරගැනීමට ඉංග්‍රීසීන් සමත් වී  සිටියහ. ඒවා නම් අති  විශාල ඉන්දියානු උප මහාද්වීපයේ බඩගින්න නිවීමට අවශ්‍ය සහල්  ලබා ගැනීමට අරකන් රාජධානියේ සරුසාරවත් කෙත් වතු උපයෝගී කරගන්නේ කෙසේද යන ගැටලුවත් , දකුණු බුරුම රාජධානියට අයත් වරාය අත්  පත් කොටගෙන එමගින් බෙංගාල බොක්කේ සමුද්‍රීය ආර්ථිකය සියතට ගන්නේ කෙසේද යන ගැටලුවත්ය. මීට අමතරව දැන් ඔවුන් තවත් අලුත් ගැටළු දෙකකට මුහුණ දී සිටියහ. ඒවා නම් ඉතා බලසම්පන්න රාජධානියක් වුනු සියම සමග පෙරමුණු දෙකකදී දේශ සීමා සලකුණු කරගැනීමට ( එනම් බුරුම – සියම් දේශසීමාව සහ සියම්  – මැලේෂියා දේශසීමාව ) තිබීමත්, සියමට නැගෙනහිරින් තිබුණු මුළු කලාපයම  ප්‍රංශ  ජාතිකයන් අතට පත් වී තිබීමත් ඔවුන් ඉතා අරමුණු සහගතව එතනින් බටහිරට පැතිරීමට යත්න දරමින් සිටීමත් යන ගැටළුය.  

ඉහත ලියුම ඉංග්‍රීසීන්ට ලැබෙන්නේ මෙම තත්වය යටතේදී ඔවුන් සියම් රජවාසලට යැවූ ලිපියකට පිළිතුරක් ලෙසය. ඒ වන සිට යුරෝපයේ  ගොඩනැංවී තිබුණු සහ යුරෝපීය  අධිරාජ්‍යවාදීන් විසින් ලෝකය පුරා ස්ථාපනය කරමින් තිබුණු “ නූතන භෞමික දේශසීමා “ වලින්  බුරුමයේ සීමාව සලකුණු කිරීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වී තිබුණු අතර රටක කෙළවරක්,  භූමියේ යම් තැනකින් නිශ්චිතව අවසන් වන පන්නයේ “ දේශ සීමා “ පිලිබඳව අදහසක් නොතිබුණු සියම් රජ වාසල මගින් ඔවුන් වෙත යැවුනේ ඉහත සඳහන් වුනු පිළිතුරයි.

මෙම තත්වය සියම් රාජධානිය අතිශය භයානක අනතුරක හෙලා තිබුනත් එම අනතුරට ප්‍රති උත්තරය පැවතියේත් අභියෝගය තුලමය. එක් අතකින් සියමට පහර දී යටත් කොටගෙන සමස්ථ බ්‍රිතාන්‍ය කිරීමටයම ප්‍රංශයට විවෘත කිරීමට බ්‍රිතාන්‍යයන්  පසුබට වුනු අතර අනෙක් අතින් සියම ආක්‍රමණය කිරීමට යත්න දරා සියම් හමුදා සහ බ්‍රිතාන්‍ය හමුදා එකාබද්ධව එල්ල කරන දැවැන්ත ප්‍රහාරයකට මුහුණ දීමට  ප්‍රංශය පසුබට විය. එතෙක් එකිනෙකට ස්වායත්තව සහ පරායත්තව පැවතුනු පෞර  රාජ්‍ය ගණනාවකින් සමන්විත වුනු වර්තමාන තායිලන්තයේ නූතන භූ දේශපාලනික සිතියම ඇඳෙන්නේ මෙම වටපිටාව තුලය.

භූමිය මත පදනම් වුනු දේශසීමා  යනු බටහිර   නූතනත්වය සමග කරලියට ආ සංකල්පයකි. අද අප ජීවත් වන ලෝකය තුල කඳු, හෙල් , මිටියාවත්, ගංගා, ඇල  දොළ අනුව යමින් රටවල් සහ රටවල් තුල වූ ප්‍රදේශ දේශ සීමා සලකුණු වන්නේ මේ නූතන සිතුවිල්ල අනුවය. ඉන් පෙර කාලයේදී “ රට” හෝ “ රාජධානිය” යන අදහස් පැවතියේ භූමිය මත පදනම් වනවාට වඩා  මනුෂ්‍ය  ක්‍රියාකාරකම් තුල පදනම් වෙමිනි. යම් බලවත් පාලකයකු සහ හමුදාවක් සිටි තැන්  නගර රාජ්‍ය  ලෙස  දියුණු වුනු අතර ඔවුන් ක්‍රියාවේ යෙදවූ බලයේ පරිමාණයට  අනුව අවට තිබුණු ජනාවාස ඔවුන් කෙරෙහි  අනුකූලතාවයක් දක්වමින් කටයුතු කළහ. මෙහිදී සැලකිය යුතු වැදගත්ම කාරණය නම් එවැනි ජනාවාස සහ  කුඩා  පරිමාණයේ  නගර එක්  විටකදී  එකකට වඩා වැඩි පෞර රාජ්‍යය ගණනකට අනුකූලතාවය දැක්වීමද සුලභ සිද්ධියක් වීමය. මේ අනුව අප තේරුම් ගත යුත්තේ නූතනත්වයට පෙර පෙරදිග රාජ්‍යයක දේශසීමා සලකුණු වුයේ භූමියට වඩා සංස්කෘතිය , ආගම සහ මනුෂ්‍ය අත්  දැකීම මත පදනම්ව බවයි. අතීත සියම හෝ අතීත බුරුමය බෞද්ධ රාජ්‍යයන් ලෙස අප හඳුන්වන්නේ ඒවා අද මෙන් ඒකීය  ලෙස සෑම  බිම් අඟලකම බලය විහිදුනු යකඩ රාජ්‍ය වූ නිසා නොව, එක් එක්  බල කේන්ද්‍රයන් වටා සංවිධානය වී තිබුනත් ආගමික සහ සංස්කෘතික භාවිතාව අතින් අතිශය සමාන ලක්ෂණ දැක්වූ ජනාවාස සමූහයක් වුනු නිසාය.

බටහිර නූතනත්වය ආක්‍රමනයක ස්වරූපයකින් නොපැමිණියේ නම් පෙරදිග රටක් කෙසේ වන්නට තිබුනේද යන්න සිතා ගැනීමට අපට ගන්නට තිබෙන එකම උදාහරණය වර්තමාන තායිලන්තයයි. එහි අද දවසේ සමාජ ගතිකයන් මෙන්ම පසුගිය සියවස් දෙක මුළුල්ලේ සිදු වුනු දේශපාලනික සංචලනයන් අනුව කිව හැක්කේ එය අනෙක් රට වලට සාපේක්ෂව එක අංශු මාත්‍රයක් හෝ අඩුවෙන් නූතනත්වයේ බලපෑමට හසු වී තිබෙන්නේ යයී කිව නොහැකි බවය. ඍජුව යටත් නොකර ගත්තද , නූතනත්වය විසින් අපේක්ෂා කරනු ලබන , භූමිය මත අඳින ලද දේශ සීමා වලින් වට වීමටද , එතනින් පසුව  ඇති වන “ රටවල් හරහා යෑමේ “ ගිවිසුම් සහ  කොන්දේසි වලට අනුගත වීමටද ( අසල්වැසි රාජ්‍යයන්ගේ එවැනි කොන්දේසි වලට යටත් වීමට සහ තමන්ගේ රාජ්‍යය තුල එවැනි කොන්දේසි පැනවීමට) , ඉන් පසුව මෙම දේශසීමා මත පදනම්ව එළඹුණු වෙළඳ ධනවාදී අර්ථ ක්‍රමයකට සීරු මාරු වීමටද සියමට සිදු විය. ඒ අනුව අපට නිගමනය කල හැක්කේ නූතනත්වය යනු අතින් ඇල්ලිය හැකි හෝ එසේ අල්ලා නැවැත්විය හැකි ප්‍රපංචයක් නොව ඊතර හෝ විද්‍යුත් ක්ෂේත්‍රයක් මෙන් සෑම  තැනකම පැතිර පවත්නා බල පරාමිතියක්  බවය.

තව ලිපි කීපයක් මගින් දීර්ඝව සාකච්ඡා කල  යුතු මෙම කරුණ පිලිබඳ අවසා වශයෙන් යමක් කිව යුතුය.  එනම් නූතනයට පූර්වජව පැවති රාජ්‍යය පිලිබඳ ව්‍යුහය කිසි ලෙසකින්වත් නූතන දේශපාලනික මාදිලියක් වන ෆෙඩරල් ව්‍යුහයට සමාන කල නොහැකි බවය. ඇත්ත වශයෙන්ම ෆෙඩරල්  ව්‍යුහයක් යනු ඉතා දැඩි ලෙස භූමිය මත සීමා සලකුණු කරන ලද ඉහත පවතී පූර්වජ තත්වයට හාත්පසින් වෙනස් මාදිලියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap