Opinion

සියදිවි නසාගැනීම උත්කර්ෂයට නැගීමට ගොස් ඉතිහාසය පැටලීම

Summary

කොහොමත් අපිට බලෙන් කොටලා පොවන ඉතිහාසය හරියට නිරීක්ෂණය කළොත් නිතරම ඒ පිටිපස්සේ වසන් කරපු ඉතා කැත අසික්ෂිත ඇත්තක් තියෙනවා.

ආනන්ද සමරකෝන්ගේ සිය දිවි නසා ගැනීම ගැන ධර්මසිරි බණ්ඩාරනායක කාලෙකට කලින් කරපු භවාතීෂ්‍ය කතාව ගැන සටහනක් ලියලා සතියක් ගත වුණත් මම තවම ධර්මසිරිගේ ඒ කතාව ගැන කල්පනා කරනවා. ඒ වගේ ප්‍රකාශයක් කරනකොට රටක් දන්න කලාකරුවෙක් විදියට ධර්මසිරි බණ්ඩාරනායක කොයි තරම් තමන්ගේ වචනවලට වග කියනවාද කියන එක සහ කාගේ හෝ කතාවක් ඇසූ ගමන් ම ඒ කතාව ආකාරවතී ශ්‍රද්ධාවෙන් පිළිගන්න රසික පරම්පරාවක් බිහි වීම ගැන කල්පනා කරනවා. මේ සටහන ලියන මා ද ඇතුළුව බොහෝ දෙනෙක් අයිති වෙන්නේ ආගමික සාහිත්‍යයේ එන ඕනෑම කරුණක් විද්‍යාත්මක මිනුම් දඬුවලින් කිරලා මැනලා ඒ කිසිවක් ඔප්පු කරන්නට බැරි නම් ; උපහාසයෙන් බැහැර කරන පරම්පරාවට. නමුත් මේ වගේ ආවේගශීලි කතාවක් ඇහෙනකොට අර තර්ක බුද්ධිය පෑල දොරින් පලා යන්නේ ඇයි ?

ධර්මසිරි මේ කතාවෙදි පැහැදිලිව ම කියනවා ආනන්ද සමරකෝන් මහත්තයාගේ පුත්‍රයා තමන් සමග කතා කළ බවක්. ඒ වගේ ම ඒ පුත්‍රයා ධර්මසිරි බණ්ඩාරනායකට ‘අංකල්’ ලෙස ඇමතූ බවත් ධර්මසිරි ඔහුට ‘පුතා’ ලෙස ඇමතූ බවත් එතැන කියවෙනවා.

– මාස දෙකකට කලින් ආනන්ද සමරකෝන් මහතාගේ පුත්‍රයා මට ටෙලිෆෝන් එකෙන් කතා කළා’
– තාත්තා ගැන ගුණ සමරු උළෙලක් තියෙනවා. අංකල්ව තෝරගෙන තියෙනවා තාත්තා ගැන කතා කරන්න’
– තාත්තා මැරිච්ච විදිය දන්නේ නැද්ද ?’
ආනන්ද සමරකෝන් මහත්තයාගේ පුතෙක් කොහෙද ඉන්නේ ? ආනන්ද සමරකෝන් මහත්තයා තමන්ගේ පළමු විවාහයෙන් වෙන් වෙන්නෙත් දරු ඵල නැති නිසා. දෙවැනි විවාහයෙන් ලැබුණු එකම පුත්‍රයා ‘ධම්මික අරුණදීප’ අවුරුදු පහේ දී අසනීපයකින් මිය ගියා.

අනෙක් කාරණය තමයි ආනන්ද සමරකෝන්ට පුතෙක් හිටියත් ධර්මසිරි බණ්ඩාරනායකට ‘අංකල්’ කියන වයසක ඉන්න පුළුවන් ද ? සමරකෝන් මැරෙන්නේ 1962 දී. ධර්මසිරි ඉපදුණේ මම දන්න විදියට 1950 දි. එහෙම නම් ආනන්ද සමරකෝන් ට 1962 දි පුතෙක් ලැබුණත් ධර්මසිරිට වඩා අවුරුදු 12 යි බාල. බොහෝ වෙලාවට ඔය කතා කරන්න ඇත්තේ ආනන්ද සමරකෝන්ගේ බාල සහෝදරයා සංගීතඥ බර්ටි සමරකෝන්ගේ පවුලේ පුත්‍රයෙක් වෙන්න ඕනේ. ඒත් මේ කතා කරපු කෙනා ආනන්ද සමරකෝන් ‘තාත්තා’ විදියට හැඳින්නුවා කියලා කිව්වාම ඒක සුලු පටු අතපසුවීමක් ද ?

ආනන්ද සමරකෝන් ගැන හරියට අධ්‍යනය කළා නම් මේ ජනකාන්ත කතන්දර එක්ක ඇත්ත කතාව සමබර ව තේරුම්ගන්න තිබුණා. ආනන්ද සමරකෝන් අවසාන කාලය දැඩි හිත් වේදනාවකින් ගත කළා තමයි. ඒත් ජාතික ගීතයේ පද වෙනස් කළ සිදුවීම ඒකට එක හේතුවක් විතරයි. තමන්ගේ එකම පුත්‍රයාගේ අකල් මරණය වගේ ම ගුවන් විදුලියේ සිංදු කියන්න ගිය තමන්ගේ ප්‍රියතම සිසුවියගේ අභාග්‍යසම්පන්න මරණය සමරකෝන්ට දැඩි කම්පනයක් වෙලා තිබුණා. ඒත් එක්කම නිර්දෝෂී සහ මහත්මා ගුණ ඇති ආනන්ද සමරකෝන්ව අපහසුතාවට පත් කරන්න ගුවන් විදුලි සංස්ථාව ඇතුළෙන් නිර්මාණය වුණු කටකතා නිසා සිසුවියගේ මරණය ගැන ඇති වුණු වේදනාව පීඩාවක් බවට පත් වුණා.

කොහොමත් අපිට බලෙන් කොටලා පොවන ඉතිහාසය හරියට නිරීක්ෂණය කළොත් නිතරම ඒ පිටිපස්සේ වසන් කරපු ඉතා කැත අසික්ෂිත ඇත්තක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපි පොඩි කාලේ ඉඳන් අහලා තිබුණේ බණ්ඩාරනායක අගමැතිට වෙඩි තියපු තල්දූවේ සෝමාරාම කියන බෞද්ධ භික්ෂුව බන්ධනාගාරයේ දී ක්‍රිස්තියානි ආගමට හැරිලා බෞතීස්ම වුණා කියලානේ. ඒත් සෝමාරාමව ක්‍රිස්තියානි ආගමට හරවන්නේත් බෞතීස්ම කරන්නේත් මරණ දඬුවම දවසට කලින් දවසේ බවත්, ඒ කුණු කොන්ත්‍රාත්තුව භාරගත්තේ කුප්‍රකට ඉතිහාසයක් තිබෙන ඇංග්ලිකන් පූජක මැතිව් පීරිස් බවත් දන්නේ කීයෙන් කී දෙනා ද ? මේ කාරණය නිසා ලංකා ඉතිහාසයේ මුල් වරට බෞද්ධ භික්ෂුවක් එල්ලා මැරුවේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ ප්‍රතිඵලයක් විදියටයි කියන කාරණය ඉතිහාසගත වීම වැළැක්විලා ඒ ඝාතකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙක් බවට හැරවුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දි ජනාධිපති වෙලා ඒ වෙනකොට ලංකා ඉතිහාසය කළඹපු කුරිරු ඝාතකයෙක් වෙලා මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් වෙලා තිබුණ ඇංග්ලිකන් පූජකවරයා මැතිව් පීරිස් ට ජනාධිපති සමාවක් දීලා නිදහස් කරපු බව දන්නේ කීයෙන් කී දෙනාද ? බහුතරයක් දන්නේ තල්දූවේ සෝමාරාම බන්ධනාගාරයේ දී ක්‍රිස්තියානි ආගමට හැරිලා බෞතීස්ම වුණා කියලා විතරයි.

ඉතිං ඔන්න ඔය නිසා ආනන්ද සමරකෝන් සිය දිවි නසා ගත්තේ ජාතික ගීය වෙනස් කළ නිසාමයි කියලා හැඟීම්බර කරුණක් ජනගත කළාම ඒකේ වාසිය ලැබෙන්නේ වෙන කාටවත් නෙමෙයි. සිංදු කියන්න ආව අවිවාහක ගායිකාවන්ට නීතිවිරෝධී ගබ්සා නිසා ජීවිතය අහිමි වෙන තැනට පාදඩකම් කරපු ඔය කියන කාල වකවානුවේ ගුවන් විදුලි සංස්ථාවේ හිටිය ලොක්කන්ට. ඒ හරිය විස්තරාත්මක ව දැනගන්න ඕනේ නම් හැඟීම්බර මිනුම් දඬුවලින් වියුක්ත වෙලා හරි ඉතිහාසය ‍හොයාගෙන , හදාරලා පොඩි දුර ගමනක් යන්න වෙනවා.

ඒත් මිදි කඩලා පදම් කරලා වයින් හදාගන්න එක අමාරු වැඩක් නිසා දෙපා මුලට වැටෙන මිදි රොඩු ටිකක් බීලා අමෘතය බිව්වා කියල හිතාගෙන සැනසෙන්නත් පුළුවන්.

2 thoughts on “සියදිවි නසාගැනීම උත්කර්ෂයට නැගීමට ගොස් ඉතිහාසය පැටලීම
Leave a Reply

Your email address will not be published. Required fields are marked *