Opinion

සිරිල් ගාමිණී පියතුමා (නො)දත් දේ සහ මිලේනියම් සිටි තෙවන කොටස

Summary

පාස්කු ප්‍රහාරයට යහපාලන ආන්ඩුවේ මෛත්‍රීපාල විතරක් දඩුකදේ ගහන්න කියලා කෑගහන කාදිනල්, රනිල් වික්‍රමසිංහ ගැන මීක් නැත්තේ ඇයි කියන සැකය අපිට විතරද එන්නේ. මොකද බටහිර ජාතින් ක්‍රිස්තියානි පල්ලිය හරහා මේ කරන්න යන එකේ අරමුණයි, රනිල් වික්‍රමසිංහගේ අරමුණයි දෙකම එක නිසාද ?

ලෝගුවට මුවාවී, පල්ලිය ඉස්සරහට දමා, කාදිනල්ව පාවිච්චි කොට, 2025දී ගේම් එක චෙන්ජ් කිරීමට භූමිය සැදීමයි.

රංජිත් ප්‍රේමවර්ධන

නොදත්දේ දත්දේසේ දෙසාබෑමට ගොස් සිරිල් ගාමිණී පියතුමා ඇන ගත්තේය. දැන් ඇටිකෙහෙල් කෑ උගුඩුවාසේ CID එකෙන් කට්ටි පනිමින් සිටී. දේශපාලනේ කරන්න හදන ඕනෑම අයෙකුටම හිමි පොදු ධර්මතාවය දැන් සිරිල් ගාමිණී පියතුමාටද හිමිය. ඒ මඩ නාගැනීමය. අවාසනාව සිරිල් ගමිණී පියතුමා සමග හිටගැනීමට ගොස් කාදිනල්ද මඩ නාගන්නේය.

සිරිල් ගාමිණී පියතුමාගේ බුද්ධි අංශ වෛරය අහබුවක් නොවන බව ඔහුගේ ක්‍රියාකලාපය බැලුවාම පෙනේ. පාස්කු ඉරිදා කොමිසමවත් නොකී අලුත්ම තියරියක් ඔහු සමාජ ගතකරමින් සිටී. කාදිනල් තරහා මෛත්‍රී සමගය. එය යම්තරමකට සාදාරණය. නමුත් සිරිල් ගාමිණී පියතුමා තරහා බුද්ධි අංශ සමගය. කතාව වෙනම එකකි.

බුද්ධි අංශ ජාතික ආරක්ෂාව මුල් කොට සලකන අතර එදා මෙදාතුර එම අරමුණ ඔස්සේ ක්‍රියාත්මකව ඇත. දේශීය හෝ විදේශීය තර්ජන හදුනා ගනිමින් එම තර්ජන වැලැක්වීමට ක්‍රියාත්මකවීම ඔවුන්ගේ කාර්යභාරය වේ. දේශපාලකයන්ට මෙම තර්ජන ආශීර්වාදයක් වූවාට ජනතාවට එසේ නොවේ. බුද්ධි අංශ රජය ආරක්ෂා කිරීමට නොව, රාජ්‍යය සහ ජනතාව ආරක්ෂා කිරීමට බැදී සිටී.

2001 දී රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයට එල්ටීටීඊ එකත් එක්ක සහසංවාසයේ යෙදීමට බුද්ධි අංශ බාදාවක් විය. ඒ ඔවුන් එල්ටීටීඊය කරන මුලාව පිලිබඳව දිගින් දිගටම වාර්තා කිරීම නිසාය. එල්ටීටීඊය හරහා භූදේශපාලනේ කරපු කට්ටියටද – ඩයස්පෝරාව හරහා දේශපාලනේ කරපු කට්ටියටද – පොදුවේ ජාත්‍යන්තරයටද මේක අවුල්ය. ඉතින් 2002දී රනිල්ගේ පලමු රාජකාරිවූයේ “මිලේනියම්සිටි ආරක්ෂක නිවස” නමින් ලස්සන කතාවක් තිර පිටපත් කොට, කීකරු උඩුගම්පොළ ලවා එය ක්‍රියාත්මක කොට, බුද්ධි අංශ හාන්සි කොට, එල්ටීටීඊයත් සමග නිදිවදින්නය. වැඩේ ගැස්සුනේය. එල්ටීටීඊය හිටියටත් වඩා හොදට ශක්තිමත් වුනේය. ගුවන් යානාත් ගත්තේය. හැබැයි බුද්ධි අංශත් හොම්බෙන් යවා, 2005දී රනිල් වික්‍රමසිංහත් ගෙදර ගියේය.

“මිලේනියම්සිටි” පලමු කොටස එසේ අහවර විය.

2009 දී ආරක්ෂක අංශවල ඇස්, ඉස්, මස්, ලේ, ජීවිත කැපකිරීම් මත සියලු ඔස්තාර්ලා පරද්දන්න බෑ කිවූ එල්ටීටීඊය හතර ගාතෙන් වැටුනේය. එල්ටීටීඊය හරහා භූදේශපාලනේ කරපු කට්ටියටද – ඩයස්පෝරාව හරහා දේශපාලනේ කරපු කට්ටියටද – පොදුවේ ජාත්‍යන්තරයටද මේක ෆුල්ම අවුල්ය. ජාතිකවාදී ආණ්ඩු අරහංය.

උත්තරේ රනිල් වික්‍රමසිංහ ලවා “රත්තරං අශ්වයන්” නමින් තවත් ලස්සන කතාවක් තිර පිටපත් කොට, මෛත්‍රීපාල ලවා එය ක්‍රියාත්මක කොට, දෙමල – මුස්ලිම් ජන්ද හරහා 2015දී යහපාලනය නමින් බලයට ඒමය. යහපාලන රජයටද බුද්ධි අංශ වහකදුරුය. මොකද දැන් බුද්ධි අංශ මුස්ලිම් අන්තවාදයක් ගැන කියනවාය. මේක යහපාලන රජයේ හවුල්කාර මුස්ලිම් පක්ෂ වලටත් අවුල්ය. ඉතින් යහපාලන රජය අන්තවාදය නවත්වන එක පසක තියා, කීකරු ශානි අබේසේකර ලවා බුද්ධි අංශ දඩයම පටන්ගන්නේය. ශානිගේ කෙරුවාව “වන් ශොට්ගේ” හඩපටවල හොදටම ඇත. යහපාලන අදබාලයෝ බුද්ධි අංශ බාගයක් හිරේ දමා, ජීවිත ආරක්ෂාවට කට්ටියකට පැනලා යන්න සලස්වා, ජාතික ආරක්ෂාව බල්ලට දමා, බුද්ධි සහ ආරක්ෂක අංශවල අත්බැද, අන්තවාදය වැඩෙන්නටදී, මුස්ලිම් නායකයෝ සතුටු කොට, සන්හිදියාව සොයා ගියේය.

හැබැයි වැඩේ ආයිත් ගැස්සුනේය. සන්හිදියා මායාව අස්සෙ සහරාන්ලා හොදට ශක්තිමත්ව වැඩුනේය, මතවාදය පෝශණය කලේය, කට්ටිය බදවා ගත්තේය, කට්ටිය පුහුණු කලේය. 95ස් පාරක් කියපු දේ තබේකට මායිම් නොකර සිට, පාස්කු ඉරිදා ප්‍රහාරය වෙන්නට ඇර, බුද්ධි අංශ වලටත් ඇර, රටටමත් ඇර, 2019දී මෛත්‍රී – රනිල් ගෙදර ගියෝය.

“මිලේනියම්සිටි” දෙවන කොටස එසේ අහවර විය.

2019දී ආපු ආණ්ඩුව ජාතිකවාදීය. ඉස්සර එල්ටීටීඊය හරහා භූදේශපාලනේ කරපු කට්ටියටද – ඩයස්පෝරාව හරහා දේශපාලනේ කරපු කට්ටියටද – පොදුවේ ජාත්‍යන්තරයටද ජාතිකවාදී ආන්ඩු දිරවන්නේ නැත. එවැනි ආන්ඩු “මානව හිමිකම්” වලට තර්ජනයකි. කකුල් වෙට්ටු දමා පෙරලිය යුතුය. සිරිල් ගාමිණී පියතුමා ලෝගුවට මුවාවී රග දක්වන්නේ ඒ නාට්‍යය වේ.

යහපාලන ගොන් තියරි නිසා සහරාන් පාස්කු ප්‍රහාරය කලා කියන එක පොඩි එකෙකුටත් තේරෙන වෙලාවේ, “පාස්කු ප්‍රහාරය සහ බුද්ධි අංශ” කියන කතාව ලස්සනට තිර පිටපත් කොට, කාදිනල් ලවා එය ක්‍රියාත්මක කොට, පාස්කු ප්‍රහාරය බුද්ධි අංශ පිට පටවලා, ඒක හීනියට ගෝඨාභය රාජපක්ෂගේ ඇගේ ගහලා, යහපාලනේ අත්වල තියෙන ලේ ටික හෝදලා, 2025දී ආයිත් සමනල් ආන්ඩුවක් ගේන්නන ගේම තමයි සිරිල් ගාමිණී පියතුමා කරන්නේ.

පාස්කු ප්‍රහාරය බුද්ධි අංශවලට බැර කරමින් සිරිල් ගාමිණී පියතුමා මේ කරන්නේ වෙනකක් නොව “මිලේනියම්සිටි” තෙවන කොටසයි.

පාස්කු ප්‍රහාරයට යහපාලන ආන්ඩුවේ මෛත්‍රීපාල විතරක් දඩුකදේ ගහන්න කියලා කෑගහන කාදිනල්, රනිල් වික්‍රමසිංහ ගැන මීක් නැත්තේ ඇයි කියන සැකය අපිට විතරද එන්නේ. මොකද බටහිර ජාතින් ක්‍රිස්තියානි පල්ලිය හරහා මේ කරන්න යන එකේ අරමුණයි, රනිල් වික්‍රමසිංහගේ අරමුණයි දෙකම එක නිසාද ?

ලෝගුවට මුවාවී, පල්ලිය ඉස්සරහට දමා, කාදිනල්ව පාවිච්චි කොට, 2025දී ගේම් එක චෙන්ජ් කිරීමට භූමිය සැදීමයි.

ඉතින් නොදත්දේ දත්දේසේ දෙසාබා, ඇටිකෙහෙල් කෑ උගුඩුවාසේ කොරවී, CID එකෙන් කට්ටි පැනීමට පෙර සිරිල් ගාමිණී පියතුමා කලයුතුව තිබුනේ හෝම් වර්ක්ස් කර, තිර පිටපත හරියටම ලියාගෙන පැමීණීමය.

Leave a Reply

Your email address will not be published.