COLUMN

සිස්ටම් චේන්ජ් එක

Summary

සිස්ටම් චේන්ජ් කතා කොච්චර කිව්වත් අපිට ඇහෙන්නේ මේ තියෙන ක්‍රමය ඇතුළේ ම පරම පවිත්‍ර විදිහට වැඩකරඤ්ඤං කියන පොරොන්දු විතරයි. එහෙම පොරොන්දුවලින් අපිට වැඩක් නෑ. කරන්න බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක සරලව, කාටත් තේරුම්ගන්න පුළුවන් විදිහට ඉදිරිපත්කරන්න.

සිස්ටම් චේන්ජ් කතා කොච්චර කිව්වත් අපිට ඇහෙන්නේ මේ තියෙන ක්‍රමය ඇතුළේ ම පරම පවිත්‍ර විදිහට වැඩකරඤ්ඤං කියන පොරොන්දු විතරයි. එහෙම පොරොන්දුවලින් අපිට වැඩක් නෑ. කරන්න බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක සරලව, කාටත් තේරුම්ගන්න පුළුවන් විදිහට ඉදිරිපත්කරන්න.
“බෞද්ධ ජනරජ ප්‍රවාදය” තුළින් අපි යෝජනාකරන්නේ මෙහෙම පාලන ක්‍රමයක්.
මේ තුළින් ජනතා පරමාධිපත්‍යය පුළුල් විදිහට අර්ථදක්වනවා.
=== === ===
ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට ජනතාවගේ උපදේශන බලතල, පාලන බලතල, සාමූහික අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.
=== === ===
මේ අර්ථදැක්වීම අනුව රාජ්‍යය කරවන අලුත් පාලන ආකෘතියක් අපි ඉදිරිපත්කරනවා.
ජනතාවගේ උපදේශන බලය ක්‍රියාත්මකකරන්නේ “උත්තරීතර උපදේශක සභාව” විසින්. ඒ සඳහා මොන ආකාරයේ නියෝජිතයෝ පත්වෙන්න ඕන ද, ඒ අය තේරි පත්වෙන්නේ කොහොම ද, ඒ සභාවේ වගකීම් මොනවා ද කියන එක බෞද්ධ ජනරජ ප්‍රවාදයෙන් පැහැදිළි කරලා තියෙනවා.
“උත්තරීතර උපදේශක සභාව” තමයි ජනරජයේ ජාතික ප්‍රතිපත්ති තීරණයකරන්නේ. ඉතින් අවුරුදු පහෙන් පහට ජාතික ප්‍රතිපත්ති අලුත් කරන්න ඕන නෑ. ඒ අය දෙන උපදෙස් අනුව තමයි “ජාතික ව්‍යවස්ථාදායක සභාව” නීති, ව්‍යවස්ථා සම්පාදනයකරන්නේ. මේ උපදේශක සභාව නිර්ණයකරන මූලධර්ම සහ පිළිවෙත්වලට අනුගතව තමයි ජනරජයේ විධායකය කටයුතුකරන්න ඕන.

මේ ක්‍රමයේ දී විධායකය සහ ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන් ම වෙන්කරනවා.
නිර්පාක්‍ෂික ක්‍රමයට තෝරාගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත ගම් සභා/ නාගරික සභාවලින් බිම් මට්ටමේ පාලන කටයුතු සිද්දවෙනවා. ඉතින් මේ බිම් මට්ටමේ සභාවල ආණ්ඩු පක්‍ෂ සහ විපක්‍ෂ නෑ. එකතුවෙලා, සම්මුතියෙන් තමන්ට පැවැරෙන වගකීම් ඉටුකරන්න ඕන.

දැනට ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශ “කෝරළ” කියලා නම්කරනවා. ඒ බල ප්‍රදේශ වෙනුවෙන් “කෝරළ සභා” පිහිටුවනවා. කෝරළ සභාවේ සභාපති හැරෙන්න අනිත් නියෝජිතයෝ ගම් සභා / නාගරික සභාවලින් පත්වෙනවා. සභාපති විතරක් බහුපාක්‍ෂික මැතිවරණ ක්‍රමයට තෝරගන්නවා. ඒත් පක්‍ෂ, විපක්‍ෂ පිල්වලට කෝරළ සභා බෙදෙන්නෙත් නෑ.

“කෝරළ බුද්ධි මණ්ඩලය” කියලා ආයතනයක් පිහිටුවනවා. ජාතික ව්‍යවස්ථාදායක සභාවට සහ ජාතික අධිකරණ සභාවට නියෝජිතයෝ පත්වෙන්නේ මේ බුද්ධි මණ්ඩලවලින්. ඒ සඳහා විධිමත්, ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනවා.
කෝරළ සභා සභාපතිවරුන්ගේ නියෝජනයෙන් තමයි “රාජ්‍ය මන්ත්‍රණ සභාව” හැදෙන්නේ. ඒක විධායක ආයතනයක්. මේ සභාව තුළ නම් ආණ්ඩු පක්‍ෂයක් සහ විපක්‍ෂයක් තියෙනවා. ඒ හරහා විධායකය මෙල්ලකරන ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා.
විධායක ජනාධිපතිවරයා තමයි ජනරජයේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා ජාතික විධායක සභාව හවුල්වෙනවා. ජාතික විධායක සභාවට විෂයානුබද්ධ සහ භූමියේ බලය තියෙන නියෝජිතයෝ සම්බන්ධවෙනවා.

ජනාධිපතිවරයා පත් කරගැනීමට සහ කෝරළ සභා සභාපතිවරු පත් කරගැනීමට පමණක් බහුපාක්‍ෂික මැතිවරණ ක්‍රමය සීමාවෙනවා. ඉවරයක් නැතුව ඇතිවෙන බෙදීම් වළක්වන්න ප්‍රාථමික මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක වියදම් නැති ක්‍රමයක්. පරමාධිපත්‍යය බලය තුළට ඇතුළත් ජනතාවගේ සාමූහික අයිතිවාසිකම් ආකාර දෙකකට දක්වලා තියෙනවා. ඒ, “ජනරජයේ අනන්‍යතාව තහවුරු කෙරෙන සාමුහික අයිතිවාසිකම්” සහ “පොදු සාමූහික අයිතිවාසිකම්” කියන විදිහට. බුද්ධ ශාසනය, සිංහල භාෂාව, දේශීය දැනුම සහ නිර්මාණය කෙරෙන දේශීය නීතිය අයත්වෙන්නේ ජනරජයේ අනන්‍යතාව තහවුරු කෙරෙන සාමූහික අයිතිවාසිකම්වලට. ඉතින් ඒවාට ප්‍රමුඛතාව ලැබෙනවා. ඒ වගේ ම, ඒවා සුරක්‍ෂිත කොට පෝෂණයකිරීමේ වගකීම රජයට පැවැරෙනවා.

මේ යෝජිත පාලන ක්‍රමයට අමතරව ජාතික ආර්ථික මාදිලියක්, අධ්‍යාපන ක්‍රමයක් සහ නීති ක්‍රමයක් බෞද්ධ ජනරජ ප්‍රවාදය තුළින් ඉදිරිපත් කරලා තියෙනවා.
මිනිස්සුන්ගේ සහ ජනරජයේ ශක්තිය වර්ධනය වෙන ආකාරයේ වෙනසක් නොකර මේ තියෙන ක්‍රමය හරහා රට හදන්න බෑ. ඉතින් ඔය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශ නිකම් හිස් වචන විතරයි. හදන එවුන්වත් ඕවා බලන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published.