කුප්පmania

සුදු පිරුවටෙන් වහපු මෙගාපොලිස් මෙගා හොරකම

Summary

පැවැති රාජපක්ෂ පාලනයට බොරු අභූත අපරාධ චෝදනා එල්ල කරන මේ සුදු පිරුවටකාරයන්ගේ ඇත්ත හෙළිදරව් කිරීම විය යුතුය.

  • Save

[සියලු ලේඛන සහිතයි !]

හෙළ උරුමය කර තබා ගෙන ආලපාළු ආර්ථිකයක් ගැන නන් දෙඩුවාට සුදු පිරුවට ඇඳගෙන හිටියාට කවුරුවත් සුදනන් වෙන්නෙ නැත. එහෙම වෙස් ගත්ත වුන් අතර අපට  බොහෝ විට  හමු වන්නේ ලෝක හොරුන්ය. පාඨලී චම්පික රණවක යනු ඊටම ගැලපෙන මෙගා හොරෙකි.

සංවිධානාත්මකව ඉතා සුක්ෂමව හොරකම් කරන්න මෙහෙම අය බොහෝ දක්ෂය. තමන් ගාව ඉන්නේ නියම  වියතුන්ය උගතුන්ය වෘත්තිකයන්ය වැඩ වලින් පන්නරය ලැබූ වැඩ්ඩන්ය කියමින් මහජන මුදල් ගසා කෑමට මේ අය රුසියෝය, එඩිතරය, සූක්ෂමය, කපටිය.

ඒක කොහොම වුණත් අපි මේ කතා කරන්නේ සුදු පිරුවට වලට මුවා වී රජයේ මුදල් බිලියන ගනනින් කොල්ල කෑ, ඒ වෙනුවෙන් ලොකු පන්නරයක් තියෙන ඇමැති චම්පික හා ගෝලබාලයෝ ගැන කතාවකි.  දුෂණයට නාස්තියට ඉඩක් නෑ කිව්ව යහපාලන යුගයේ කතාවක් වීම මෙහි ඇති අනෙක් සුවිශේෂත්වයයි.  මේ ගනු දෙනුවේ ආරම්බය පරණය. ඒත් යටිමඩි ගැසීමේ මේ කතාව අලුත්ය.

මොකක්ද මේ ගනු දෙනුව.

කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතට යාබදව පිහිටි අක්කර 2 යි රූඩ් 1 යි පර්චස් 21.4 ක් වූ විශාල ඉඩම, සී/ස ලේක් ලෙෂර් හොල්ඩිං සමාගමට (සහ රෑන්ක් කාර් පාර්ක් සමාගමට) අවුරුදු 50 කට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  කැබිනට් මන්ඩලයේ අනුමැතිය සහිතව නාගරික සංවර්ධන අධිකාරිය විසින් බදු දීම.  2007 වසරේදී රුපියල් මිලියන 2,785 කට මේ බදු මුදල තක්සේරු කර තිබිණි.  එහෙත් අදාල සමාගම 2013 සැප්තැම්බර් 25 වෙන දින දක්වාම අදාල බදු මුදලෙන් ගෙවා තිබුණේ රුපියල් මිලියන 557 ක පමණි. එනම් අදාල සම්පූර්ණ මුදලෙන්  සියයට 20 ක් පමණි.  අදාල ඉඩමේ බදු අයිතිය සමාගම වෙත පැවැරීමට නම් ඉතිරි මුදලත් හා බදු ආදියත් සමඟ තවත් රු මිලියන 2220 කට වැඩි මුදල් නාගරික සංවර්ධන අධිකාරියට ලැබිය යුතු විය. එහෙත් යහපාලන ආණ්ඩුව පත් වෙන තෙක් ඒ මුදල් ගෙවීම හෝ ඒ සම්බන්ධයෙන් කළ සිහි කැඳවීම් වලට හෝ අදාල සමාගම කිසිදු ප්‍රතිචාරයක් ලබා දී තිබුණේ නැත.  ගනු දෙනුවේ මුල් අදියර එසේය.

යහපාලන සෙල්ලම පටන් ගත් හැටි.

අදාල සමාගම හා නාගරික සංවර්ධන අධිකාරිය අතර මෙම ඉඩම බදු දීම සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකිරීම මත නාගරික සංවර්ධන අධිකාරිය නෛතික පියවරයන් ගත යුතුව තිබිණි. ඒ අනුව. 2013 න් පසුව මේ ඉඩම වෙනුවෙන් නියමිත ගෙවීම නොකළ බැවින් මෙම ඉඩම යළි අධිකාරිය වෙත පවරා ගැනිමට නීතිමය පදනමක් තිබිණි. නමුත් 2016 දක්වා ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් අධිකරියේ නීති අංශය මඟින් අධිකාරියෙහි සභාපතිවරයාව දැනුම්වත් කිරීමද සිදු කර තිබිණි.
ඒ අනුව එම සමාගම විසින් පෙර ගෙවූ රු මිලියන 557 ක අත්තිකරම් මුදල රාජසන්තක කර ඉඩම පවරා ගැනීමේ හැකියාවද තිබිණි.

මේ අතර කාලය තුල නොගෙවූ හිඟ මුදල් වෙනුවෙන් සියයට 12ක් වාර්ෂික පොලී අනුපාතයට මුදල් එකතු වීමද විය යුතුය. එම මුදල්ද සමඟ හිඟ මුදල් ගෙවන ලෙස කළ දැන්වීමට කිසිදු ප්‍රතිචාරයක් සමාගමෙන් ලැබී නොතිබීම මත මෙම ඉඩම පහසුවෙන් රජයට කිසිදු අලාබයක් නොවන ලෙස යළි පවරා ගැනීමේ හැකියාව තිබිණි.

ගහපු හතරවරං ගැටේ.

යහපාලන ආණ්ඩුව පත් වූයේ පෙර ආණ්ඩුවෙ කප්පරක් වැරදි කියාගෙනය. ඒ වැරදි නිවැරදි කරනු ඇතැයි රට වැසියෝද මහත් බලාපොරොත්තු සහගතව සිටියහ. එහෙත් සිදු වූයේ අනෙකකි.

මේ බදු ඉඩම වෙනුවෙන් අදාල මුදල් නොලැබීම මත එම ඉඩම යළි පවරා ගන්නා ලෙස එවකට විෂභාර අමාත්‍යවරයා  වූ මහා නගර හා බස්නාහිර පළාත් අමාත්‍ය පාඨලී චම්පික රණවක, නාගරික සංවර්ධන අධිකාරියට නියෝගයක් ද කර තිබිණි. එය නිවැරදිය. එය විය යුතුව තිබූ දෙයයි.එහෙත් ඒ රට වැසියාත් ආණ්ඩුවත් රැවැටූ ප්‍රයෝගයක් පමණක් බව හෙළි වූයේ පසුවය.

2016 මැයි 26 වන දින  මහා නගර හා බස්නාහිර පළාත් අමාත්‍යංශය, රජයේ ඉඩම් සන්තක කර ගැනීමේ නීතිමය ප්‍රතිපාදන අනුව ඉඩම පවරා ගන්නා ලෙස නියෝග කෙරුණද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ ජගත් මුණසිංහ ඒ නියෝග කුණු කූඩයට දැමුවේය.  ඇමැතිවරයාගේ නියෝගයක් එහෙම කුණු කූඩයට දාන්න තරම් හැකියාවක් අධිකාරියේ සභාපතිට  තිබීම පුදුම සහගතය.

අධිකාරිය අමාත්‍යංශයට වඩා බලවත් වීම

අමාත්‍යංශයේ නියෝගය අනුව අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය  විසින් 2017 පෙබරවාරි 07 වෙනිදා ගත් තීරණය වූයේ අදාල සමාගම සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට එළබෙන ලෙසත් ඒ වෙනුවෙන් නීති උපදෙස් ලබා ගන්න ලෙසත්ය.

නමුත් අධිකාරියේ සභාපතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන් ඒ අනුව කටයුතු කළේ නැත. අත්තිකාරම් මුදල් රාජසන්තක කළේ නැත. ඉඩම පවරා ගත්තේද නැත.   නමුත් සමාගම සමඟ සාකච්ඡා කර එකඟතාවයකට නම් පැමිණ තිබිණි.  ඒ දූෂිත ගනු දෙනුවක් ගැන වූ එකඟතාවයකි.

අරුම පුදුම ගනු දෙනුව

 සමාගම ගිවිසුම කඩකර වරදක් කර තිබියදීත්, රටේ නීතිය අනුව අත්තිකාරම් මුදල් රාජසන්තක කිරීම කළ යුතුව තිබියදීත්. අධිකාරිය සිදු කළේ සමාගම ගෙවා තිබූ රු මිලියන 557 ට සියයට 12 ක පොලී මුදලක් ගනනය කර එම මුදල අදාල සමාගමට ආපහු ගෙවීමය. එය මුදලින් රුපියල් 330,249,000 ක් හෙවත් රු මිලියන 330 කි.  මෙවැනි අරුම පුදුම ගනුදෙනු මේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉතිහාසයේ තබා ලෝකයෙ කොහෙවත් සිදු නොවූ අමුතු ගනු දෙනුවකි.

එපමණක් නොවේ. ඒ වන විට රජයේ තක්සේරුව අනුව ඉඩමේ බදු වටිනාකම රු මිලියන 3620 දක්වා ඉහළ ගොස් තිබිණි.  ඒ අනුව පෙර ගෙවා තිබූ මුදල වන මිලියන 557 ත් ඒ වෙනුවෙන් අධිකාරිය ලබා දුන් අපූර්ව පොලිය වන මිලියන 330 ත් එකතු කර එනම් මිලියන 887.249 ක මුදල් , නව තක්සෙරු මුදලෙන් අඩුකර ඉතිරි මුදලට ඉඩම සමාගම වෙත පැවැරීමට මේ අධිකාරියේ ලොක්කෝ, සමාගම හා එකඟ වී තිබිණි. එවිට රු මිලියන 2732.751 සහ බදු මුදල් ආදිය එකතු කළ වටිනාකමට ගනු දෙනුව තීන්දු විය.

වැරදිකරුට දොල පිදේනි දීම

බදු මුදල් ගෙවීම පැහැර හැරීම අදාල සමාගමේ වරදකි. නමුත් ඒ වරද අධිකාරියට පවරාගෙන සමාගමට පොලී මුදලකුත් ගෙවීම සිදුකර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය යනු ඉතිරිකිරීම් ගිණුම් පවත්වාගෙන යන බැංකුවක් නොවේ. සාමාන්‍යයෙන් තැන්පත් මුදලක් වෙනුවෙන් එතරම් පොලියක් බැංකුවක්වත් ගෙවන්නේ නැත.

අනෙක් කාරණය නම් මෙම ඉඩම නියමිත ගිවිසුම් පරිදි පැවැරීම සිදු නොවී තිබුණත් එම ඉඩමෙහි ව්‍යාපාර කටයුතු කිරීම ‍සමාගම විසින් සිදුකර තිබීමය. රථ ගාලක් ලෙස එම ඉඩමෙන් වසර ගනනාවක් ආදායම් උපදවා තිබිණි. ඒ කරුණ ගැන පවා අධිකාරිය නොසලකා හැර තිබිණි.  අධිකාරිය දුෂණයට ඉඩක් නොතබා නිවැරදි ලෙස කටයුතු කළා නම් විය යුතුව තිබුණේ සමාගම ඉඩම බුක්ති විඳීම සහ ආදායමක් ලබා ගැනීමට අනුපාතිකව පෙර ගෙවා තිබූ අත්තිකාරම් මුදලට ඒ කොටසක් හිලව් කිරීමය. එහෙත් අධිකාරිය කළේ සියයට 12 ක අධික පොලියක් සමාගමට ගෙවීමය.
එසේම මෙම ඉඩම වෙනුවෙන් ලද යුතු මුලු මුදල ලබා ගෙන එය බැංකුවක ස්ථාවර තැන්පතුවක සියයට 12 පොලියට තැන්පත් කළා නම්  වසර 3 ක කාලය සඳහා රු මිලියන 983.79 ක පොලී ආදායමක්ද අධිකාරියට ලබා ගත හැකිව තිබිණි.  

විගණකාධිපති හොර ගනුදෙනුව හෙළිකර ගැනීම

මේ  ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව  2017 මාර්තු  16 වෙනි දින නිකුත් කළ විගණන විමසුමෙහි ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි මේ අයතා ගනු දෙනුවකි. හිතාමතා කළ වැරදි ගනු දෙනුවකි.

මෙම විගණන විමසුමට අනුව 2017 දී  රු මිලියන් 330 ක  පොලී මුදල් ගෙවීමේ එකඟතාවය ඇතුලුව සමාගම හා පැමිණි එකඟතා ගිවිසුම සියල්ල රහසිගත ගනුදෙනු ස්වරූපයෙන් සිදුව තිබේ. කොටින්ම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පවා මේ ගනුදෙනු සඟවා ඇත. විෂයභාර අමාත්‍යංශයේ ලේකම්රයාගෙනුත් සඟවා ඇත.

සභාපතිගේ පෞද්ගලික තීන්දු

 මේ තීන්දු තීරණ අධිකාරියේ සභාපතිවරයාගේ සහ ඔහුට හිතවත් ඉහළ නිළධාරීන්ගේ හිතුමතේට පෞද්ගලික තීරණ ලෙස ගැනීම නීති විරෝධී වේ.
විගණන විමසුම අනුව රු මිලියන් 330 ක් අලාබයක් මේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනා සිදු කර තිබේ.  එහෙත් යහපාලන යුගයේ දේශපාලන මැදිහත්වීම මත මේ නිළධාරීන්ට එරෙහිව කිසිවක් සිදු කෙරුණෙ නැත.  අදාල ඇමැතිවරයා මහා දූෂණ විරෝධියකු ලෙස පෙනී සිටියත් තමන්ගේ විශ්ව විද්‍යාල සමකාලින සගයන් වූ මේ නිලධාරීන්ට එරෙහිව කිසිවක් කළේ නැත.

ඇමැති මේ දූෂිත ගනු දෙනුව ගැන නොදැන සිටියාද ?

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාම මේ සම්බන්ධයෙන් 2017 අප්‍රේල් මස 02 වෙනිදා රාවය පුවත් පතට සිදුකරන ලද ප්‍රකාශ අනුව, මේ ගනු දෙනු කිසිවක් ඇමැතිවරයා නොදැන සිදු කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

සත්‍ය වශයෙන්ම මේ දූෂිත ගනු දෙනුව ඇමැතිවරයා නොදැන සිටි දෙයක් නොවේ. 2017 මාර්තු මස 27 වන දින මහා නගර හා බස්නාහිර පළාත් අමාත්‍යංශය විසින්ම සිදු කළ අභ්‍යන්තර විමර්ශනය මඟින් මේ ගැන ඇමැතිවරයා දැනුම්වත් කර තිබේ. නැවත 2018 පෙබරවාරී 05 වන දින එම අමාත්‍යංශ ලේකම් ඉංජිනේරූ නිහාල් රූපසිංහ මහතාද මේ දූෂිත ගනුදෙනුව ගැන, සාක්ෂි සහිතව  නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතවම දන්වා සිටියේ  මෙය අතිශය දුෂිත ගනු දෙනුවක් බවය. එසේම සමාගමට ගෙවන ලද රු මිලියන 330 වහාම ආපසු අය කර ගත යුතු බවත් ඔහු දන්වා ඇතත් එකදු සතයක් හෝ  අය කර ගත්තේ නැත.

වරද නිවැරදි කරන්න බැරි ඇයි?

මේවා මෙහෙම වූයේ මේ රුපියල් මිලියන් 330 ක් සමාගමට ලාබයක් අත්පත් කර දීම වෙනුවෙන් මේ නිලධාරීන්ට සං‍තෝසම් වශයෙන්  මිලියන් ගනනින් ලැබීම මත වන්නට ද පුලුවනි. ඒ ගැනද ඇතැම් තොරතුරු හෙළිව තිබේ.  එහෙම නොවී මෙහෙම වැඩ වෙන්න වෙනත් විදිහක් නැත.  මේ ඒවාට කප් ගහපු කට්ටියය.

ඇමැතිවරයා මුල් අවස්ථාවේදී ඉඩම ආපසු පවරාගන්නා ලෙස දුන් නියෝගය නොසලකා සභාපතිවරයා කටයුතු කිරීම සහ මේ දූෂිත ගනුදෙනුවේ වරදකරුවන් අතටම අසුවී  තිබියදී ඇමැතිවරයා ඔවුන්ට එරෙහිව කටයුතු නොකිරීම අතර  ඇති සම්බන්ධතාවය මේ හොරකමේ අල ගිය මුල ගිය තැන් ගැන වටහා ගැනීම පහසු කරයි.

ඒ කාලේ පැනමා පේපර්ස් වැනි කළු සල්ලි තැන්පත් කරන්න පහසුකම් තිබුණු විදේශගත ගිණුම් හිමි විද්‍යා අමරපාල වැනි  පුද්ගලයන්ද ගජ මිතුරන් වී රාජ්‍ය ආයතනවල ඉහළ නිලතලවලට පත්කර තිබුණු බවත් රහසක් නොවේ.  මෙම ගනුදෙනුවට අදාල සංතෝසම් ගනුදෙනු සිංගප්පූරුවේදී සිදුව තිබෙන බවටත් සාක්ෂි මේ වන විට හෙළිව තිබේ.

අපි කියන්නේ මොකක් ද?

යහපාලනයේ දූෂිත නාස්තිකාර තවත් එක් කතාවක් එහෙම සිදුවිය. රජයට මිලියන 330ක් පාඩු කළ මේ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම අපගේ අපේක්ෂාවය. ඊට පැහැදිලි සාක්ෂි ඇත.

පැවැති රාජපක්ෂ පාලනයට බොරු අභූත අපරාධ චෝදනා එල්ල කරන මේ සුදු පිරුවටකාරයන්ගේ ඇත්ත හෙළිදරව් කිරීම විය යුතුය. නැතිනම් මේ දූෂිතයන් හැමදාමත් මේ රටේ අහිංසක මිනිස්සු රවට්ටමින් මහජන දේපොළ හොරකම් කරමින් වුන්ගේ බඩගෝස්තරය හොයා ගැනීමේ ක්‍රමවේදය  තවදුරටත් සිදුවිය හැකි නිසාය .ඒ වැලැක්වීමට නම් දූෂණයට වංචාවට එරෙහිව රටේ නීතිය අප්‍රමාදව ක්‍රියාත්මක කළයුතු නිසාය.

  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
  • Save
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap