Opinion

හදවතේ චම්පා

Summary

බලවත් පාලකයකුට නැතිනම් සමාජ ව්‍යාපාරයකට හැකියාව තිබෙනවා යම් ජන කොටසක් භාවිතා කරන භාෂාවක් එක විටම විශාල වෙනසකට ලක් කරන්න.

  • Save

මේ ලෝකෙ භාෂා  හයදහස් පන්සීයක්  පමණත්  විවිධ භාෂා ව්‍යවහාර  තිස්දහසකට අධික  ප්‍රමාණයකුත්  තිබෙනවා කියල කියනවා. නමුත් මේ සියල්ල  අතරින් ලිඛිත භාෂා විදිහට තියෙන්නේ දෙතුන් දහසක් විතරයි. මේ අතුරිනුත් තමන්ටම කියල අනන්‍ය අක්ෂර මාලාවක් තිබෙන්නේ  ඊටත් වඩා අඩු භාෂා ප්‍රමාණයකට. ථෙරවාදී බුදු දහමේ විදග්ධ භාෂාව විදිහට සැලකෙන පාලි භාෂාවටත් තමන්ටම කියල අක්ෂර මාලාවක් නැහැ. පාලි පාඨ  ලංකාවේ සිංහල අක්ෂර වලිනුත්, මියන්මාරයේදී බුරුම අක්ෂර වලිනුත්, තායිලන්තයේදී තායි අක්ෂර වලිනුත් , යුරෝපයේදී ඉංග්‍රීසි , ප්‍රංශ සහ ජර්මන් අක්ෂර වලිනුත්  ඉන්දියාවේදී  නාගරී අක්ෂර වලිනුත් ලියවෙනවා අපිට දකින්න ලැබෙන්නේ ඒ නිසයි.

බලවත් පාලකයකුට නැතිනම් සමාජ ව්‍යාපාරයකට  හැකියාව තිබෙනවා යම් ජන කොටසක් භාවිතා කරන භාෂාවක් එක විටම විශාල වෙනසකට ලක් කරන්න. ක්‍රි.ව අට වන සියවසේ වර්තමාන මියන්මාරය මුල් කරගෙන බිහි වෙච්ච  බගන් රාජධානියේ  දේශපාලන අධිකාරියට වුවමනා වුනා එතෙක් තමන්ටම අනන්‍යය වුනු අක්ෂර මාලාවක් නොතිබුණු  බුරුම භාෂාවට අලුතෙන් අක්ෂර මාලාවක්  හඳුන්වා දෙන්න. ඔවුන්ගෙ අරමුණ වුනේ  ඒ වෙනකොට පැතිරෙමින් තිබුණු බුද්ධ ධර්මය තමන්ගේම භාෂාවකින් ලියා තැබීම. ඉතින් ඔවුන් කලේ ඒ වෙනකොටත් දියුණු අක්ෂර මාලාවක් හිමි වෙලා තිබුණු දකුණු බුරුමයේ මොන් රාජධානියේ මොන් භාෂාව සහ ඉන්දියානු මහාද්වීපයේ දමිළ  වගේ භාෂාවන් ඇසුරු කරගෙන අලුතෙන් අක්ෂර මාලාවක් සම්පාදනය කරපු එක. එහෙම කරපු අක්ෂර මාලාව තමයි යම් යම් පරිණාමයන්ට ලක් වෙලා අද දක්වාම අපට දකින්න ලැබෙන්නේ. මේ වගේම දෙයක් සිද්ධ උනා තායිලන්තය නැතනම් අතීත සියම් රාජධානිය තුලත්. ක්‍රි.ව 1283 දී එරට පාලනය කරපු රාම්කම්පෙන් රජතුමා එතෙක් අනන්‍ය අක්ෂර මාලාවක් නොතිබුණු තායි භාෂාවට අනන්‍යය අක්ෂර මාලාවක් සම්පාදනය කළා.

පාලි භාෂාවට නම් කිසිම දිනක අක්ෂර  තිබුණු බවක්  වාර්තා වෙන්නෙ  නැහැ. නමුත් මේ වෙනකොට වෙනත් භාෂාවක අක්ෂර භාවිතා කරන ඓතිහාසික භාෂා හැම එකකම කතන්දරය ඒක  නොවෙයි. ඇතැම් භාෂා වල අක්ෂර හිතා මතාම  භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. මෙහෙම කරපු අවස්ථාවකට  වලට කදිම උදාහරණක් තමයි අතීත ශ්‍රී විජය අධිරාජ්‍යයය පිහිටලා තිබුණු  වර්තමාන මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල් අයත් පළාතේ භාවිතා වුනු පැරණි අක්ෂර මාලාව අත  හැරලා ඔවුන් රෝමානියානු ( එනම් ඉංග්‍රීසි) අක්ෂර වලට මාරු වුනු එක. මැලේසියාව යටත් කරගෙන හිටියේ ඉංග්‍රීසීන්. ඉන්දුනීසියාව පෘතුගීසීන්. පසුව මේ සමස්ථ පළාත රටවල් දෙකක් විදිහට නිදහස ලැබුවා. ඒ වෙනකොට ඔවුන් තමන්ගේ ආවේනික අක්ෂර අත හැරලා රෝමානියානු අක්ෂර වලට මාරු වෙලා තිබුණු නිසා අදටත් ඒ භාෂාව ලියවෙන්නෙ  රෝමානියානු  අකුරු වලින්.

මේ වැඩේම සිද්ධ වෙච්ච තවත් ඉන්දු චීන කලාපයේ  රටක් තිබෙනවා. ඒ තමයි වියට්නාමය.  වියට්නාමය, කාම්බෝජය සහ ලාඕසය යන රටවල් තුනම යටත් කරගත්තේ ප්‍රංශය විසින්. ප්‍රංශ ජාතිකයන්ට වුවමනා වුනා  මේ රටවල් සියල්ලේම ස්වදේශීය අක්ෂර මාලාවන් අභාවයට යවල එම භාෂාවන් ප්‍රංශ අක්ෂර වලින් ලියන්න. නමුත් ඔවුන්ගෙ උත්සාහය සාර්ථක උනේ උතුරු වියට්නාමය සම්බන්ධයෙන් පමණයි. ඇත්තටම මෙතන රටවල් තුනක් විදිහට  සඳහන් උනාට  ප්‍රංශ ජාතිකයන් යටත් කරගත්තේ රටවල් හතරක්. ඒ තමයි උතුරු වියට්නාමය  හෙවත් ඩයි වියට් රාජධානිය, එයට දකුණින් තිබුණු පසුව දකුණු  වියට්නාමය  ලෙස  හඳුන්වපු අද වෙනකොට වියට්නාමයටම අයිති චම්පා රාජධානිය , වර්තමාන කාම්බෝජය සහ වර්තමාන ලාඕසය. මේ අතුරින් උතුරු වියනාම් ඩයි වියට් රාජධානිය හැරුණු කොට අනෙක් සියලු රාජ්‍යයන් ථෙරවාදී බෞද්ධ රටවල්  . ප්‍රංශ ජාතිකයන්ගේ භාෂා ප්‍රතිසංස්කරණ මහායානය අදහපු උතුරු වියට්නාම්  ජනයා කරපිට බලෙන් හෝ පැටවිය හැකි උනත් ථෙරවාදී කලාපය සම්බන්ධයෙන් සාර්ථක උනේ නැහැ. කාමොබෝජයේ භාවිත වුනු ඛේමර් අක්ෂර කියන්නෙ  මේ මුළු කලාපයේම ඓතිහාසික අක්ෂර මාලා සම්පාදනය කරන්න මුල් වෙච්ච මූලාශ්‍රයක්. ඔවුන් කිසි සේත්ම එය අත් හැරීමට එකඟ උනේ නැහැ. ඒ වගේම තමයි ලාඕසය සහ චම්පා රාජධානියේ ඓතිහාසික ථෙරවාදී බෞද්ධයනුත්.

මේ අතුරින් චම්පා රාජධානියේ ථෙරවාදී බෞද්ධයන් ගැන විශේෂයෙන් සඳහන් කරන්නම අවශ්‍යයි.  චම්පා රාජධානිය කියන්නෙ අතීතයේ ඉතාම විශාල භූමි භාගයක පැතිරිලා තිබුණු දහනම වන සියවසේ ප්‍රංශ ජාතිකයන් මේ කලාපය යටත්  කරගන්න මොහොත වෙනකොටත් ස්වාධීනව පැවතුනු ථෙරවාදී රාජධානියක්. කොහොම වෙතත් ඔවුන් පරිපාලන වාසි මුල් කරගෙන ඒ භූමි භාගය වියට්නාමයටම ඈඳුවා. මෙතනදී පැරණි කාම්බෝජයට අයත්  යම් භූමියකුත්  වියට්නාමය යටතට පත් කෙරුනා. ඒ නිසාම තමයි අදටත් දකුණු වියට්නාමයේ  කාම්බෝජයට මායිම් වන පළාතේ කාම්බෝජ සම්භවයක් තිබෙන ජන කොටසක් ජීවත් වෙන්නේ. ඔවුනුත් අතීත චම්පා රාජධානියට අයත් වූ චම්පා වැසියනුත්  යන  දෙකොටසම අදටත් ථෙරවාදී බෞද්ධයන්. 1945 නිදහස ප්‍රධානය කිරීමට පෙර චම්පා රාජධානියේ, එහෙම නැත්නම් ඒ වෙනකොට වියට්නාමයේ දකුණු කොටසේ  , ජීවත් වුනු ජනයාගේ භාෂාවේ ලිඛිත කොටස ප්‍රංශ අක්ෂර වලට හරවන්න ප්‍රංශ පාලකයන්ට වුවමනා වුනා. නමුත් මේ ව්‍යායාමය  අසාර්ථක උනේ දරුණු ගණයේ  ලේ වැගිරීමකිනුත් පසුවයි.

චම්පා රාජධානියේ ථෙරවාදී බෞද්ධයන් යනු පසුගිය සියවස් කීපය මුළුල්ලේම දේශපාලනික, සංස්කෘතික සහ ආගමික යන තෙආකාරයටම මර්ධනයට පත් වෙච්ච පිරිසක්. පළමුව ඔවුන්ට උතුරින්  ආපු ඩයි වියට් ආක්‍රමණයන්ට මුහුණ දෙන්න සිදු වුනා. ඉන් පස්සෙ  මේ කලාපයම ප්‍රංශය යටත් කරගත්තා.  එයින් පසුව රටේ සමස්ථ භූමියම වියට්නාමයට එකතු කළා. ඉන් පස්සේ කාලෙක තමන්ගේම මිනිසුන් ජීවත් වෙච්ච, නමුත් ප්‍රංශ යටත් විජිත කාලයේදී කාම්බෝජයට එකතු වුනු භූමි භාගයක්  කාම්බෝජයේ අතිශය දරුණු කෙමරූජ් පාලනයට යටත් උනා. එහිදී එම ජනගහයෙන් සැලකිය යුතු කොටසක් මරණයට පත් වුනා වගේම බුද්ධ ශාසනය සහමුලින්ම අතු ගා දැමුනා. ඉන් පස්සේ කාලෙක ප්‍රංශයෙන් නිදහස ලැබුනට පසුව  වියට්නාමයේ වියට්කොං ගරිල්ලා වරුන් බලය අල්ලා ගැනීමෙන් පසුව ඔවුන්ගෙ  කොමියුනිස්ට් පාලනය යටතේත් බුදු සසුන මර්ධනය දිගටම කෙරීගෙන යනවා.

අද වෙනකොට දකුණු වියට්නාමයේ මීකොං  ඩෙල්ටාව අශ්‍රිතව ජීවත් වන ථෙරවාදී ජනගහණය ලක්ෂ දාහතක්. දැන් වියට්නාම් ආණ්ඩුව උත්සාහ කරනවා  එහි  ස්වදේශික භාෂාව භාවිතා කරන එක නවත්වලා එම කලාපයත් වියට්නාම් භාෂාවටත් එම භාෂාව මේ වන විට ලියෙමින්  පවතින රෝමානියානු අක්ෂර ක්‍රමයටත් මාරු කරන්න. දැනටත් ක්‍රියාත්මක පවතින ථෙරවාදී ආරාම හාරසියයක් පමණ අශ්‍රිතව පවතින බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය සහ පාලි භාෂාව ඉගැන්වීම නතර කිරීමට ඔවුන් බල කර සිටිනවා. දශක ගණනක් මුළුල්ලේ මේ නව පන්නයේ අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙච්ච බර ගණනක් වැඩිහිටි සහ තරුණ භික්ෂූන් වහන්සේ ඝාතනය  කරලත් තිබෙනවා.

චම්පා රාජධානිය කියන්නෙ ථෙරවාදී අපිට අමතක කරන්න බැරි ඓතිහාසික මතකයක්. ඒ කලාපයේ තිබෙන්නෙත් කාම්බෝජය හරහා සම්ප්‍රේෂණය වෙච්ච සිංහල ථෙරවාදය. චම්පා කියන්නෙ කලාපීය බෞද්ධ සහෝදරත්වයේ දිදුලන මැණිකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap