හැංගිමුත්තන් කොරෝනා
Summary
වත්තේ පොල් තියෙනවා. තිබ්බටු, කොහිල, කන්කුන් තියෙනවා. හාතාවාරිය, වැල් පෙනෙල තියෙනවා. තෙඹු තියෙනවා. තෙඹු කොළ සම්බෝල කෑවොත් සීනි කන්නේ නැති මගේ සීනි තවත් අඩු වෙයි ද? මොකක් වුනත් මට පණ ගැටගහන්න පුළුවන්.

ඇඳිරි නීතිය දාලා සතියක් ගතවුණා. කලින් අත්දැකීම්වල හැටියට සතියකට ඇතිවෙන්න එළවළු කළමනා ගත්තා. කලින් වතාවල ගමට එළවළු ලොරි ඇතුළු වෙනත් ජංගම සේවා සපයන ආවා. මැයි – ජුනි මාසයේ කඩත් ඇරලා තිබුණා.
ඒත් මේ වතාවේ කිසිම දෙයක් නෑ. ජංගමත් නෑ, කඩත් නෑ. කඩේ මුදලාලිට කෝල් එකක් දීලා ඇහුවා. “කඩ අරින්න දෙන්නේ නෑ මහත්තයා. හවස හය පහුවෙලා එන්න. තියෙන දෙයක් දෙන්නම්” මුදලාලි කිව්වා.
ඊයේ හවස හයෙන් පස්සේ මම කඩේ ගියා. එතැන ලොකු හැංගිමුත්තන් සෙල්ලමක්. මිනිස්සු එළියට වෙලා ඉන්නවා. එක්කෙනෙක් එළියට එද්දී මුදලාලි දොර ඇරලා තව එක් කෙනෙක් ඇතුළට ගන්නවා.
මගේ වාරය ආවාම මමත් ඇතුළට ගියා. ඇතුළේ බඩු ගන්න අය පස් දෙනෙක් ඉන්නවා. බඩු දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. ඔක්කොම අට දෙනයි. දොරවල් වහලා හින්දා ඇතුළේ වාතාශ්‍රයක් නෑ. ගන්න කියලා තියෙන්නෙත් ඔය ග්‍රොසරි බඩු විතරයි. එළවළු පුළුටක්වත් නෑ.
මම පරිප්පු කන්න ආස නෑ. ඒත් මොනවා කරන්න ද? පරිප්පු කිලෝවක් ගත්තා. සෝයා මීට් කියන මළ ජරාව කන්නත් ආස නෑ. ඒත් මොනවා කරන්න ද? ඒ පැකට් තුනකුත් ගත්තා. තව අඩුමකුඩුම ටිකක් ඇරගෙන මම ගෙදර ආවා.
වත්තේ පොල් තියෙනවා. තිබ්බටු, කොහිල, කන්කුන් තියෙනවා. හාතාවාරිය, වැල් පෙනෙල තියෙනවා. තෙඹු තියෙනවා. තෙඹු කොළ සම්බෝල කෑවොත් සීනි කන්නේ නැති මගේ සීනි තවත් අඩු වෙයි ද? මොකක් වුනත් මට පණ ගැටගහන්න පුළුවන්.
ඒත් මේ රටේ මිනිස්සු මෙහෙම හැංගිමුත්තන් කරන්න ඕන ද? ගමේ මුදලාලි මේ කරන්නේ හොර වැඩක් ද? මේ පුංචි කඩයක් දෙකක් අරින්න බැරි ඇයි?
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති