Opinion

හැට දෙලස්සයේ සිට හැට නව ලස්සය දක්වා…

Summary

හැට දෙලස්සය වේවා හැට නව ලස්සය වේවා මේ දෙක ඇතුළේම හිටියේ ලංකාවේ පුරවැසියන්ය. ජන්දය දිනාගත් පසුව පුද්ගලික වරප්‍රසාද වරදාන අපේක්ෂා කරන සුලුතරයක් හැරුණුකොට සාතිශය බහුතරය මේ වෙනස්කම් දෙකටම ජන්දය දුන්නේ ඇත්ත වෙනසක් අපේක්ෂාවෙන්ය. තමන් ජීවත් වුනාට වඩා හොඳ රටක් තම දරුවන්ට ලැබෙන විශ්වාසයෙන්ය. හැට දෙලස්සයේද හැට නවලස්සයේද අපේක්ෂා භංග වීම උපහාසයට ලක් කළ යුතු කාරණාවක් නොව අප රටක් හැටියට අප ගැනම දුක්විය යුතු කාරණාවකි. ඇත්තටම රටක් හැටියට අප අසමත්ය.

දෙ⁣දහස් පහළවේදී තමන් විසින්ම කැඳවූ ජනපතිවණයට මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ඉදිරිපත් වූයේ පරදින්නට නොවේය. එහෙත් රට තුළ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විශාල ජනමතයක් ගොඩනැගී තිබිණි. සිංහල බෞද්ධ ජන්දවලින් ගොඩ යා හැකි බව සිතූ ජනපතිවරයාගේ ගණන් තැබීම වැරදි බව ඔහුට තේරුම් ගියේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල තරුණ පිරිස් හා උගත් සමාජය ඔහු වෙනුවට ශ්‍රීලනිපයේම ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන පත්කරගන්නට ජන්දය දීමෙන් පසුවය. මෛත්‍රී දින්නේ ලක්ෂ හතරකින් පමණ වුවද ඔහුට ජන්දය දුන් සමස්තය “හැට දෙලස්සය” ලෙස හැඳින්විණි. අපද ඉන් එකෙකු විය.

රාජපක්ෂ විරෝධය මත ගොඩ නැගුණු රැල්ලෙන් බලයට ආවද ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් සාධනීය තීරණ හැරෙන්නට රටට සමස්තයක් ලෙස වැඩදායක යමක් ඉතිරි කරන්නට මෛත්‍රී රනිල් හවුල අසමත් විය. ඔවුන් දෙදෙනාගේ කඹ ඇදිල්ල තුළ රටේ ඇඟට දැණෙන අරාජිකත්වයක් නිර්මාණය විය. එයට අමතරව සිංහල බෞද්ධ ප්‍රදේශවල දේශපාලන බලය කොහොමටත් රාජපක්ෂලා සතු වීම නිසා ආණ්ඩුව හිටියේ අසීරු තැනකය. පාස්කු ප්‍රහාරය මේ තත්ත්වය තීව්‍ර කළේය. අන්තිමට ආණ්ඩුවට ජන්දය දුන් හැටදෙ ලස්සයේ ප්‍රාර්ථනා කුඩුපට්ටම් විය. රටට ශක්තිමත් නායකයෙකු අවශ්‍ය බව හැමතැනම කියැවිණි. හැ⁣ට දෙලස්සයේ එකෙකු වීම පාරේ බැහැලා යන්නට බැරි කාරණයක් විය.

වර්තමාන ජනපතිවරයා බලයට එන්නේ මේ සංදර්භය ඇතුළේය. ලක්ෂ හැට නවයක ජනතාවක් ඔහුට අසමාන බලයක් හිමිකර දුන්නෝය. ඔහුගෙන් රට ක්‍රමානුකූලව යම් කාලයක් පාලනය කිරීම බොහෝ දෙනාගේ බලාපො⁣රොත්තුව විය. ඒ බොහෝ දෙනා හැටනව ලස්සය ලෙස හැඳින්විණි. අපද ඉන් එකෙකු විය.

ජනපතිවරයා දැන් සෑහෙන කාලයක් රට පාලනය කර ඇත. නමුත් ආණ්ඩුවට හොඳක් කියන එකෙක් හොයා ගැනීම කිසාගෝතමියට නොමල ගෙයකින් අබ හොයා ගන්නවාටත් වඩා අසීරු වී ඇත. ඇත්තම කතාව දැන් හැට නව ලස්සයට වී ඇත්තේද අර හැට දෙලස්සයට වූ සන්නෑසියමය. පාරේ බැහැලා යන්නට බැරිය.

මේ ආණ්ඩුව කළ සියලු දේ නරක දේවල් නොවීය. ප්‍රමාද වී හෝ වැක්සීනකරණය යහපත් ලෙස සිදු කෙරිණි. කොරෝනාවත් සමග රට වසා දමන්නට සිදු වීමත් සංචාරක කර්මාන්තයට කණකොකා හැඬීමත් මොන ආණ්ඩුවක් හිටියත් කලමනාකරණය කරගන්නට පහසු නැති බව මැදහත් සිතක් ඇත්තෙකුට වැටහෙයි. සියලු දේ දොස් දකින විවේචකයන් කුමක් කීවද ඒ අපහසුතා පිළිගන්නට බහුතර ජනතාවක් අකමැතිව සිටියේද නැත…

නමුත්, බැසිල්ට පාර්ලිමේන්තු එන්නට කළ විසිවෙනි සංශෝධනය, දුමින්ද සිල්වා නිදහස් කිරීම, ගුරු සටන කලමණාකරනය කර ගන්නට නොහැකි වීම, කාබනික පොහොර අවුල, ජීවන වියදම් ප්‍රශ්නය පැත්තෙන් නිවැරදි තීන්දු නොගැනීම, කොරෝනාව ඇතුළේ අධ්‍යාපනය කලමණාකරනය කරගන්නට නොහැකි වීම වැනි කාරණා තුළ රජයකට තිබිය යුතු වලංගුභාවය මේ රජය නැති කර ගත්⁣ බව කිය යුතුය. ඇත්තටම සංඛ්‍යා ලේඛන කුමක් කීවද අතිබහුතර ජනතාවගේ හිත් ඇතුළේ ආණ්ඩුව ⁣අසමත්ය.

ආදරණීය මිත්‍රවරුනි,
හැට දෙලස්සය වේවා හැට නව ලස්සය වේවා මේ දෙක ඇතුළේම හිටියේ ලංකාවේ පුරවැසියන්ය. ජන්දය දිනාගත් පසුව පුද්ගලික වරප්‍රසාද වරදාන අපේක්ෂා කරන සුලුතරයක් හැරුණුකොට සාතිශය බහුතරය මේ වෙනස්කම් දෙකටම ජන්දය දුන්නේ ඇත්ත වෙනසක් අපේක්ෂාවෙන්ය. තමන් ජීවත් වුනාට වඩා හොඳ රටක් තම දරුවන්ට ලැබෙන විශ්වාසයෙන්ය. හැට දෙලස්සයේද හැට නවලස්සයේද අපේක්ෂා භංග වීම උපහාසයට ලක් කළ යුතු කාරණාවක් නොව අප රටක් හැටියට අප ගැනම දුක්විය යුතු කාරණාවකි. ඇත්තටම රටක් හැටියට අප අසමත්ය.
දැන්, රටක් හැටියට අප තෝරා ගත යුතු මාවත කුමක්ද?
ප්‍රේමදාස ජනපතිවරයාගේ පුත් සජිත්ද?
රාජපක්ෂ ජනපතිවරයාගේ පුත් නාමල්ද?
සිරිසේන ජනපතිවරයාගේ පුත් දහම්ද?
නැතිනම් ජවිපෙ නිර්මාතෘ විජේවිරගේ පුත් උවිඳුද?
පීඩිත පන්තියේ ගැලවුම්කාර අනුරද?
එසේ නැතිනම් මේ කවර පුතෙකුවත් නොවන ලංකා මාතාවගේ සැබෑ දේශජ දරුවෙකුද?
එයට ලංකාවේ භූ දේශපාලන වාස්තවිකයන් ඉඩ දේවිද?

ලක්මාල් කුලසේකර
ප.ලි – මොන නායකයා පාලනය කළද මේ රට නැත්තට නැති වන්නේ නැත.

Leave a Reply

Your email address will not be published.