COLUMN

හුඹස් බියක්

Summary

ඉන්දු බිංදු පැණි බින්දු..! මේ කවි පේළිය කියාගෙන තමයි අපේ ගෙදර වැඩ කරපු හේනෙපොල වඩු බාසුන්නැහැ අපේ ගෙදරට එන්නෙ උදෙන්ම. ඊට පස්සේ තියෙන ලොකුම ලෑල්ලේ අඳිනව ලොකූම ලොකු බිංදුවක්. මේ ක්‍රියාදාමය හොඳටම ඇති මගේ දෙවැනි අක්කව අඬවන්න. ඒ ඇගේ නම ඉන්දු නිසා..! අදටත් අපේ කෑම මේසේ යට පැත්තේ තියෙනවා ඔහු ඇඳපු ලොකූ බිංදුවක්. අතොරක් නැතිව කියවන මේ මනුස්සය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් – master craftsman කෙනෙක්. අපේ දෙවැනි අක්කව බයිට් කරන නිසා අපි මිනිහට නම දැම්ම බිංදු බාසුන්නැහැ කියල.

ඉන්දු බිංදු පැණි බින්දු..! මේ කවි පේළිය කියාගෙන තමයි අපේ ගෙදර වැඩ කරපු හේනෙපොල වඩු බාසුන්නැහැ අපේ ගෙදරට එන්නෙ උදෙන්ම. ඊට පස්සේ තියෙන ලොකුම ලෑල්ලේ අඳිනව ලොකූම ලොකු බිංදුවක්. මේ ක්‍රියාදාමය හොඳටම ඇති මගේ දෙවැනි අක්කව අඬවන්න. ඒ ඇගේ නම ඉන්දු නිසා..! අදටත් අපේ කෑම මේසේ යට පැත්තේ තියෙනවා ඔහු ඇඳපු ලොකූ බිංදුවක්. අතොරක් නැතිව කියවන මේ මනුස්සය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් – master craftsman කෙනෙක්. අපේ දෙවැනි අක්කව බයිට් කරන නිසා අපි මිනිහට නම දැම්ම බිංදු බාසුන්නැහැ කියල.

දැන් හැමෝටම කියන වාක්‍ය ”වඩු කර්මාන්තය කලාවක්නම් බිංදු බාසුන්නැහැ එහි පිකසෝ” හරිම තමයි. පිස්සු හැදෙනවා ඔහුගේ ආයුධ මුවහත් තැබීමේ සිට සියළු ශිල්ප බලන් ඉන්නකොට. ඒතරම් ලස්සනයි ඔහුගේ විධිය. මා පාසල් යන්න කලින් අවධියේ සිටම ඔහුගෙ පස්සෙන්මයි හිටියෙ. අදටත් ආසයි ඒ වැඩ ගැන මතක් වෙනකොට. කොහොමටත් මේ නිසා පොඩි කාලෙම මම වඩු වැඩ ගැන මහත් ආසාවක් ඇති උනා. නමුත් ඔහු සදා කල්ම හිටියේ එකම විදියට – බාසුන්නැහැ කෙනෙක් විදියට මිසක් ව්‍යවසයකයෙක් හෝ කොන්ත්‍රාත් කාරයෙක් උනේ නැහැ බිංදු. වැඩ තිබුනත් නැතත් මගේ දෙමව්පියන් බලල යන්න ඔහු වාරු තියෙනකම්ම ආවා ගියා.

හයේ පන්තියේදී මට ලැබෙනවා වඩු කර්මාන්තය විෂයක් ලෙස ඉගෙන ගන්න. අමරදාස සර් තමයි අපිට වඩු වැඩ කියල දුන්නෙ. මම මේ විෂය තෝරගත්තෙ ලැයිස්තුවෙ අනික් ඒවා නොබලමයි..! ඔහු ඉතා හොඳ ගුරුවරයෙක් උනා. බිංදුගේ ඇල්ලුව ගමන් අත කැපෙන ආයුධ වලට වඩා මොට්ට ඉස්කෝලෙ ආයුධ සෙට් එක අපිට නොබියව පාවිච්චි කරන්න දුන්න අමරදාස සර්. වසර අවසානෙ හැම ළමයම හැදුව table top mini book rack එකක්. මම ඒක හදල අවසන් කරගෙන ගෙදර ගෙනාවෙ රටක් දිනපු රජෙක් වගේ..! ඉතින් මගේ ජීවිතේ හරිම ආස පැතිකඩක් උනා වඩු කර්මාන්තය – carpentry. මේ කතාව මට හමු වූ තවත් වැඩ්ඩෙක් ගැන….

මම විශ්ව විද්‍යාල කටයුතු අවසන් කරපු ගමන් අපේ මහාචාර්ය තුමා P.A. De Silva නැතිනම් හැමෝම දන්න පෑඩ මට අඬ ගැසුව අළුතින් (ලොරියෙන් බාපු ගමන්) ලැබුණු CNC ලියවන පට්ටලේ දුවල බලන්න. මම එතකොට metrology lab එකේ instructor නැතිනම් ඉන්ටා. ඉතින් මම උදෙන්ම ඒක එක්ක ඔට්ටු වෙනවා – ඇලුමිනියම් කෑලි කපමින් – හැන්දෑවට metrology ප්‍රැක්ටිකල් කරමින්. එක දවසක් යනකොට පෑඩගෙ ළඟ ඉන්නව අඩි හතක් විතර උස සුද්දෙක්. ඔහුව මට හඳුන්වා දුන්න ජර්මනියෙන් ආ ඩොක්ටර් හාන්ස් වැනි නමකින්. මට නම හරියට මතක නැහැ. ඔහුට මා පෙන්වා පැහැදිළි කරා ඔහු කටුබැද්ද හන්දියේ අළුතින් අරඹන ටෙක් එකක මූලික කටයුතු වලට ආ කෙනෙක් බවටත් – දැනට ඉන්න හිටින්න තැනක් නැති නිසා අපේ කාර්යාලයේ තාවකාලිකව නවතින බවත්. ඒ අතරම මට බාර දුන්න ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියා. ඔහු වැඩි කතා නැති නිශ්ශබ්ද කෙනෙක්. මොනවා හෝ ලියමින් තමයි නිතරම හිටියේ sheet metal හෝ carpentry workshop office එකක. දවසක් ඔහු මගෙන් ඇසුවා හොඳ ලී ගන්නෙ කොහෙන්ද කියා. ඉතින් මා carpentry workshop එකට ගිහින් ඔහුගේ අවශ්‍යතාව පැහැදිලි කරන්න උදව් කලා. එතනින් ලැබුණු පිළිතුරු අනුව ඔහුට අවශ්‍ය ලී අප සතුව නැති බවත් – මොරටුවේ හොඳ වෙළඳ සැලක් පිලිබඳ ඔත්තුවකුත් සමග අපි ආව එළියට.

යන ගමන් අපි ගොඩ වැදුන අර අළුතින් අරඹන ටෙක් එකට. ඔහුට තියෙනව ඒකෙ අලුත්ම බිල්ඩිමක කාමරයක්. ඔහු මෙහි ගේන ආ පොත් පෙට්ටි රැසක් පමණයි එහි තිබුනෙ. පෙට්ටි උඩ ඉඳන් ඔහු පටන් ගත්ත ලී ලැයිස්තුව කියවන්න. එය මා ලියාගත යුතු බව දැනුන නිසා මම වටපිට බැලුව කොලයක් හොයා ගන්න. ඔහු විමතියෙන් ඇසුව කෝ උඹේ note book එක කියා..! ඇත්තටම මට එහෙම එකක් තිබුනෙ නැහැ. ඔහු මට තදින් අවවාද කලා මින් පසු කිසි දිනෙක note book එකක් නැතිව වැඩකට හෝ රැස්වීමකට යන්න එපා කියා. එයින් කියවෙන්නේ මම වැඩක් කරන්න කිසිම අදහසකින් තොරව නිකං ආපු කෙනෙක් බවලු.!! මම හිතුව මූට පිස්සු, මේ වැඩේට කොළ කෑල්ලක් හොඳටම ඇති කියා. ඔහු දුන්න මට කොලයක්, නමුත් පොරොන්දු කරගත්ත මම ඒ විස්තර හරි note book එකක නැවත ලියන බවටත් ආයේ කිසි දවසක පොත නැතිව වැඩකට නොයන බවටත්. ඔහු දුන්න ලී ලැයිස්තුව මම පරිවර්තකයෙක් වෙලා සම්පාදනය කලා – අර ලී වෙළඳසැලෙන්. හරි මිම්මට කපල ගත්තේ ලොකු කෑලි පොඩි කෑලි කලවමේ. ඒවා ඔහුගේ බිල්ඩිමේ බාල මම ආව ආපසු සරසවියට. ඔහුගේ මුළු සැලැස්ම නොදන්නවා උනාට මට තේරුණා ඒ වෙනකොට මිනිහට පොරොන්දු වූ දේවල් රජයෙන් නොලැබීම නිසා මිනිහ කෝපාවිෂ්ට වෙලා ඉන්නේ කියා. දවස් දෙකතුනක් ඔහු ආවෙ නැහැ අපේ පැත්තෙ, මම වැඩ ඇරිල යනගමන් ගියා ඔහුගේ පොත් පෙට්ටි කාමරේට. යනකොට මිනිහ overall එකක් ඇඳගෙන බරටම වඩු වැඩක..! ඒ වෙනකොටත් පොඩි මේසයක් සහ අමුතු පුටුවක් හදල තිබුනෙ. ආයුධ සහ ඇණ එහෙම site එකෙන් ලබාගෙන පාටයි. ඔහු මට කීව furniture ලැබෙනකන් දැන් මට මගේ වැඩ ටික කරගන්න පුළුවන් මෙහි නැවතිලා කියා. නමුත් කිව යුතුයි එක දෙයක්. ඒ නිර්මාණ අනර්ඝ නිමවුම් – බිංදුගේ ප්‍රමිතියමයි. මූට්ටු සහ නිමාව ඉස්තරම්. මම ඇසුව ඔහුගෙන් නුඹේ විනෝදාංශය carpentry ද කියා. ඔහු කීව නැහැ, මම ඉස්සර carpenter කෙනෙක්, educationist කෙනෙක් උනේ පස්සෙ කියා. මම ඇසුව තව විස්තර. ඔහු වෘත්තීය වඩු කාර්මිකයෙක් හැටියට අවුරුදු ගණනාවක් වැඩ කරල තමයි වැඩි දුර ඉගෙන ගෙන තියෙන්නෙ. අදායම අඩු වුනත් එයා කැමති වෙලා තියෙනව carpenter රස්සාව අතහැරලා trainer – educator කෙනෙක් වෙන්න. මුලික උපාධිය – ජර්මන් විධියට ඩිප්ලෝම් එක අරගෙන ආචාර්ය උපාධිය තෙක් ඉගෙනගෙන..! නමුත් වඩු වැඩ ඉතා හොඳින් තවමත් පුළුවන්.!! මම කල්පනා කරා අපේ බිංදුට මෙහෙම වෙන්න පුළුවන්ද කියල. මේ ආත්මෙදි බැරි බව මට පසක් උනා.

පසු කාලෙක මම ඔහුගෙන් අසා දැනගත්ත එහෙ ක්‍රමය ගැන. එහෙ අධ්‍යාපන ප්‍රවාහය එකම ධාරාවක්. කැමති තැනකින් පටන් අරං කැමති තැනකින් නවත්තන්න පුළුවන්. සේවයේ නියැලෙන ශ්‍රමිකයින්ට අවස්ථා උදා වෙනවා ජීවිතේ ඕන තැනකදී තමන්ට අවශ්‍ය දැනුම ලබා ගන්න. ඔහු තව කීව ඒක multiple entry / multiple exit ක්‍රමයක් කියා. අපේ ක්‍රමය single entry – single exit බටයක් බව මට ඒත්තු ගියා. ඒ දවස්වල මුළු ජීවිතයම උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගයකින් තීරණය උනු මගේ රටේ අය ගැන – විශේෂයෙන් බිංදු වගේ අය ගැන මට ඇති උනේ හරිම කණගාටුවක්. දැන්නම් තත්ත්වෙ සෑහෙන වෙනස් කියා මා හිතනවා, NVQ ශ්‍රේණි ගත කිරීම මගින් මෙය සෑහෙන්න ඉටු වෙලා ඇති කියල. නමුත් අර multiple entry/exit කතාව ගැන මම නිතර කල්පනා කරනව.

මට ඇති උනා හුඹස් අදහසක් (හුඹස් බියක් නෙවෙයි..!). මම කල්පනා කරා රටේ අධ්‍යාපන ක්‍රමය හරියට වේයො (ජනතාව) මහන්සි වෙලා හදන හුඹහක්‌ වගේ එහි ගුල් තියෙන්න ඕනේ එක එක උස මට්ටම වලින් කියා. එතකොට ඒකෙ තලගොයි – නයි සහ ඇතැම් කුරුල්ලොත් සෙවන ලබයි – ගෙවල් හදයි…. ඒ හැමෝම ඒකට අගයක් ලබා දේවී එය ආරක්ෂා කරගනීවි. එක පහළ ගුලකින් ඇතුල් වී උස තැනකින් එලියට එන හුඹසක් අපිටත් අවශ්‍යයි. මේ රට හැමෝම හැමගේම වෘත්තීය හැකියාවට ගරු කරන රටක් වෙයි. දැන් වගේ “we are the cream of this country..!” සහ උන් කව්ද? අපි කව්ද.?? මානසිකත්වයෙන් අනෙක් අය දිහා නොබල ඉන්න අපේ අය සුදානම් වේවි. සාමාන්‍ය පෙළ පවා අසමත්, නමුත් යම් ජීවන මාර්ගයක් පාදා ගත්තු කෙනෙකුට පසු කාලෙක මහත් අධ්‍යාපන උණක් හැදිලා ආචාර්ය උපාධියක් (දැන් වගේ මිළකට, පිණට හෝ හොරට නැතිව) ගන්න තරමට ඉස්සරහට යන්න පුළුවන්නම් මේ රට මොන තරම් ප්‍රගමනය වේවිද..? කවුරුත් ඒ ගැන හුඹස් බියක් ඇතිකරගත යුතු නැහැ – වංචා නැතිව දුවන හරි ක්‍රමයක් තියෙනවනම්.
මගේ carpentry උණ උත්සන්න වුණා. මෙහි තිබෙන මගේ ගෙදර workstation එක මම හැදුවෙ මටත් පවුලේ අනික් අයටත් එකට ලියන කියන වැඩ කරන්න. නමුත් ලොකු දෙන්න දැන් එහි එන්නෙ නැහැ – ඔවුන්ගේම කාමර වල. පොඩි දූ සිඟිත්ත නම් online පාඩම් ඔක්කොම opposite පුටුවෙ ඉඳගෙනමයි. මගේ අදටත් විනෝදංශෙ ඉඳ හිට ලී වලින් solid body ගිටාර් හදන එක.
ඒ වගේම – එදයින් පස්සේ මම දැනුත් note book එකක් ඇතිව තමයි රැස්වීම් සහ වැඩබිම් වලට යන්නෙ…

Leave a Reply

Your email address will not be published.