COLUMN

හොද මිනිහෙක් වෙයන් පුතේ!

Summary

අප නරක් වූ පමණින්, අපගේ ළමුන් ‘හොද කිරීමට’ උත්සාහ කිරීමේ ව්‍යාපාරය අත්හල යුතු නැත.

  • Save

‘හොද මිනිහෙක් වෙයන් පුතේ’ නමින් මගේ සීයා පොතක් ලියා තිබේ. අප කවදා හෝ මොන වගේ මිනිස්සුන් වේදැයි ඔහුට පූර්ව නිගමනයක් තිබූ සෙයකි. එහෙත් එය කියවා හොද මිනිහෙක් වීමට මගේ පියාට නොහැකි විය. ඒ නිසා මා ඒ පොත කියෙව්වේ උඩින් පල්ලෙනි. ප්‍රතිඵලය එකම විය. මටත් හොද මිනිහෙක් වීමට බැරි විය. මගේ පුතාට තවම තරමක පොත් කිවන්නට බැරිය. ඒ පොත ඔහු කවදා හෝ කියවාවිදැයි සැක සහිතය. ‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යන තියරියට අනුව නම් ඔහු දැන් එන පොටත් හොද නැත.

කෙසේ වෙතත් අපි කවුරැත් අපේ ළමයින් ‘හොද මිනිසුන් කිරීමේ’ මහා ප්‍රයත්නයක නිරන්තරව නිරත වී සිටිමු. පරම්පරා ගණනක අපගේ උත්සාහය ‘ගඟට කැපූ ඉණි මෙන්’ අසාර්ථක වීමට හේතු කාරණා මොනවාදැයි මම සොයා බැලූවෙමි.

‘මොකක්ද ‘හොද’ කියන්නේ? අපේ රටේ හොද මිනිස්සු නැද්ද? ඇයි අපිට හොද වෙන්න බැරි?’ මේ සරල ප්‍රශ්න මගේ දැන උගත් මිතුරන් කිහිප දෙනෙකුට යොමු කළෙමි.

කලාබර මිත්‍රයින්ගෙන් මට අඩු පාඩුවක් නැත. හිස්කෝප්ප පිරවිය හැකි උන් වැඩි දෙනෙකුගේ අදහස් පිහිටා ඇත්තේ රැහිතෙට මුත් හදවත් දියමන්තිය. එහෙත් විකුණා මුදල් කළ නොහැක.

“දැන් බලපං ලෝකෙට තියෙන අන්තිම ගහ බේර ගන්න ලෝකෙටම ඉන්නෙ එක ගෑණි නම් මොකක්ද මේ ගෑණුන්ගෙන් ඇති වැඩේ? අනිත් ගෑණු මොනවද කරේ මේ වෙනකම්? ගේ මුල්ලට වෙලා පොල් ගෑවද? ඔව් ඒක උන්ගෙ රස්සාව තමයි. ඒත් දැන් බලපං අර ගෑණි දැන් අර ගහටත් වැඩිය ලොකුවෙලා පිම්බිලා ඉන්න හැටි. මේවා අපේ ගෑණුන්ව හදපු උන්ගෙ අම්මලාගේ වැරදි”
(නිගමනය : හොද= පිරිමි. ගැහැණියක් අගය කළ යුතු නම් අඩු තරමින් ඇය ‘පිරිමියෙක් වගේ ගැහැණියක්’ කියා නම් කළ හැකි විය යුතුය)

සිය දුවා දරැවන් හොද මිනිසුන් කිරීමට ඔස්ට්‍රේලියාවේ පදිංචියට යෑමට සිතා සිටින මිතුරෙක් දෙවැනුව අදහස් දැක්වීය.

“මචං මම අන්තිමට ඔස්ට්‍රේලියාවේ ගිය වෙලාවේ එහේ මිනිස්සුන්ගෙ සංයමය දැකලා පුදුම වුණා. වාහනයක් එලවද්දි වුණත් උන්ට පුදුම ඉවසීමක් තියෙන්න. ඇත්තම කියනව නම් ඔස්ට්‍රේලියාවෙ මිනිස්සු අපිට වඩා බෞද්ධයි”

(නිගමනය: හොද = බෞද්ධ. හොද මිනිසෙකු වීමට නම් බෞද්ධයෙකු විය යුතුය. හොද කරන අබෞද්ධයින් පවා බෞද්ධය)

මා ඊළගට ඇමතුවේ ජාතීන් පිළිබද මනා අධ්‍යයනයක් ඇති ජාත්‍යන්තර මිත්‍රයෙකුටය. ඔහු සිංහලයා ගැන තවුසන් ටෝක්ස් දී, ජාතික සටන අන්තර්ජාතික තලයට ගෙන ගොස් කන්ටේනරයකින් ඉතාලියට පැන, එහි අශ්ව මස් විකුණන කඩයක සේවය කරන නිර්මාංශිකයෙකි.

“ජාතිය රන් විමනක් වේ’ කියන සිංදුව අහලා තියෙනව ද? අම්මපා සහතික ඇත්ත. මෙහාට ආවමයි තේරැණේ. අපි ආශ්‍රය කරන හැමෝම වගේ ඉතාලියට හොරෙන් පැනපු උන්. ඔක්කෝම හොරැ වුනත් උන් උපන් ජාතිය අනුව කොයි වගේ සත්තුද කියලා කියන්න පුලුවන්. ඉන්දියන්කාරයෝ නම් ආපෝ… හැබැයි මම උඹට රහසක් කියන්නම්. ලියන්න නම් එපා පුතෝ. ලංකාවෙත් මීගමුව පැත්තෙන් ආපු උන් ඉන්නවා නේද.. උනුත් ගූ හැලි තමයි ඉතිං”

(නිගමනය : හොද = උපන් ජාතිය අනුව තීරණය වේ. උපන් ස්ථානය හා වෙලාව අනුව සුළු සුළු වෙනස් කම් තිබිය හැක)

රටේ ඉහළ තානාන්තරයක් දරණ උගත් බුද්ධිමත් (කොන්ත්‍රාත් නිසා හෙළි කළ නොහැකි-සුළු වත්කමක් ඇති) මිතුරෙකු ගෙන් උපදෙස් ලැබීමට තරම් මම භාග්‍යවන්ත වීමි.

“දැන් බලපං මගේ ළමයි දෙන්නම ඉගෙන ගන්නේ පිටරට විශ්ව විද්‍යාල වල. උන් දෙන්නා ලංකාවට ආවම මෙහේ ඉන්න ගං කබරයොන්ට උන් එක්ක හැප්පෙන්නවත් බෑ. හොද රස්සාවක් කරන ගමන් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකකුත් කර ගත්තම කල්ල මරේ. හා නැද්ද? අපි කාටත් ඕනේ ළමයි ඉහළ තැන්වලට යවන්න නෙමෙයිද? ඒකම තමයි දුප්පත් එව්වෝන්ගෙ ළමයි පොල් ගස් නගින්නෙ, ඉහළට යන්න තියෙන ආශාවට”

(නිගමනය : හොද=උගත්/ධනවත්. මේ දෙකෙන් අඩු තරමේ එකක්වත් නැති නම් ළමයින්ගේ තත්ත්වය හොදම නැත)

උපන් දා සිට සම සමාජයක් බිහි කිරීමට වෙහෙසෙන එහෙත් සමාජයෙන් කිසිදු සම පිළිගැනීමක් නැති සියල්ලෝ මගේ මිතුරෝය.

“මට තියෙන ප්‍රශ්නෙ තමයි අපි කොච්චර හොද කරන්න හැදුවත් මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැති එක. ඒවගේම තක්කඩි හැමදාම බොරැකිව්වත් මිනිස්සු රැවටෙන එක. හොරැන්ට ඡන්දෙ දෙන එක. මෙතන තිනේනෙ ලොකු භාෂා ප්‍රශ්නක්. ලංකාවෙ එවුන් හොද කියන්නේ නරකට. නරක කියන්නෙ හොදට. අපි කරන්න තියෙන්නෙ සුළු දෙයයි. මේ වචන දෙක මාරැ කරලා පාවිච්චි කරමු”

(නිගමනය : හොද = දේශපාලනිකය. අතීතයේ පටන්ම අප ‘හොද’ යන වචනය භාවිත කර ඇත්තේ නරකටය. අපට නපුරක් කළ උන්ට කෙළ වුණු විට ‘ඕකුන්ට හොද වැඩේ’ කිව්වේ එබැවිණි.)

දැන් ‘හොද’ යන සංකල්පයේ තේරැම මට හොදටම පැටලී ඇත. ඒ නිසා මට හොද මිනිසෙකු වීමට බැරි වූ එකෙහි කිසි පුදුමයක් නැත.

අප නරක් වූ පමණින්, අපගේ ළමුන් ‘හොද කිරීමට’ උත්සාහ කිරීමේ ව්‍යාපාරය අත්හල යුතු නැත. දෙමාපියන්ට බැරි වූ සෑම දෙයම ළමයින් හරහා කර ගැනීමට බලාපොරොත්තු වීම සාමන්‍ය මනුස්ස ස්වභාවය වේ.

එමෙන්ම දෙමාපියන් ලෙස අප කළ සෑමදේම ළමයින් කරවනවා දැකුමට ද අප ප්‍රියය. බිය නොවන්න. ළමයින් අපගේ බලාපොරොත්තු කඩ නොකරනු ඇත. ඔවුන් ද අප වැනිම වනු ඇත.

අපගේ අඩිපාරේ යමින් අපේ ළමයින්ද ඔවුන්ගේ ළමයින් හොද කිරීමට උත්සාහ ගනු ඇත. ඔවුන් ද ඔවුන්ගේ ළමයින්ව. ඔවුන් ද ඔවුන්ගේ ළමයින්ව. ඔවුන් ද ඔවුන්ගේ ළමයින්ව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap