20 ගැන මත විමසුම
Summary
“…ඊට වඩා ජාතික ප්‍රශ්න තියෙනවා අපට…”මහජනයා කිව්වා. “…වනාතවිල්ලුව කේස් එකද..? ලංකාගමට සිංහරාජේ මැද්දෙන් කපන පාර ද…? අර මූද මැද්දේ ගිනි ගන්න තෙල් නැවද…?”

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දැනගන්න කිංබානට්තුමා පාරට බැස්සා .
සජබ නායක සබද සජිත් ඉන්නවා හොරෙන් ජනතාවගේ දුක සැප බල බල.
“…20 ගේනවට කැමතිද…?”
කිංබානට්තුමා සජබ නායක සබද සජිත් ගෙන් ඇහුවා.
“… විඩෙක කැමතියි …විඩෙක අකමැතියි …”
“…ඒ මොන කුණු හබ්බයක්ද…?”
“…මං ජනාධිපති වෙනවනෙ… එතකොට 20 නැතුව බෑ… ඒ හින්දා 20 ට කැමතියි … හැබැයි අපි ෆුල් ප්රජාතන්ත්රවාදීන් කියලා ලෝකෙට පෙන්නන්න ඕන නිසා 20 ට අකමැතියි ….”
සජබ නායක සබද සජිත් එහෙම කියලා හොරෙන්ම මාරු වුණා.
කිංබානට්තුමාට ඊළඟට හම්බවුනේ චම්පිකව.
“20 ගැන මොකද හිතන්නේ …?”
කිංබානට්තුමා චම්පික ගෙන් ඇහුවා.
” 20 ගේනවට අකමැතියි …හැබැයි 20 සම්මත වෙනවට කැමතියි…”
“…මොකක් කිව්වා …?”
කිංබානට්තුමා කරකවලා අත ඇරියා වගෙ.
“…20 ගේනවට අකමැති බොරුවට.. කවද හරි මං ජනාධිපති වෙන දාට 20 තියෙන්නම එපැයි …”
චම්පික ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා දැම්මා.
ඔන්න එතකොට ආසන බිංදුවේ රනිල් එනවා.
කිංබානට්තුමා ආසන බිංදුවේ රනිල්ගෙනුත් 20 ගැන ඇහුවා.
“…මං අර රටින් පැනපු ජයම්පතියට කියලා තිබුනේ වැරදිලා හරි මං ජනාධිපති වෙච්ච දවසක 19 අයින් කරන්න පුලුවන් විදියට ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන් කියලා ..
සත්තයි..සාගල පා …අයි ටෝල්ඩ් දැට් මෙන්…”
ආසන බිංදුවේ රනිල් එහෙම කියලා දෙනියාය ac එකකට අත දැම්මා.
ඊළඟට කිංබානට්තුමා මහින්ද ළගට ගියා.
“…20 ගෙනාවහම ඔබතුමා ගේ බලතල නේද කප්පාදු වෙන්නෙ …?”
“…ප්‍රශ්නයක් නෑ..!”
මහින්ද කිව්වා.
“..ඇයි ප්‍රශ්නයක් නෑ කියන්නේ ..?”
“… කවද හරි නාමල් ජනාධිපති වුණාම අද මට අහිමි වෙන බලතල සේරම එයාට ලැබෙනවනෙ…!”
මහින්ද සරලව පැහැදිලි කළා.
කිංබානට්තුමා අන්තිමට නතර වුණේ මහජනයා ළග .
“…20 ගේන එකට පක්ෂද…? විපක්ෂද…?”
“…ඊට වඩා ජාතික ප්‍රශ්න තියෙනවා අපට…”
මහජනයා කිව්වා.
“…වනාතවිල්ලුව කේස් එකද..?”
“…නෑ…!”
“….ලංකාගමට සිංහරාජේ මැද්දෙන් කපන පාර ද…?”
“….නෑ…!”
“…අර මූද මැද්දේ ගිනි ගන්න තෙල් නැවද…?”
“…ඒත් නෑ…!”
“… එහෙනං මොකක්ද ඔය සේරටම වඩා වැදගත් ජාතික ප්‍රශ්නෙ…?”
කිංබානට්තුමා අන්තිමට ඇහුවා.
“…සාරංග දිනක්ෂිව බැන්දට පස්සේ උමාලිට මොකද වෙන්නෙ …?????”