Opinion

2020: ඒ ඓතිහාසික වැරැද්ද

Summary

“එක රටක් එක නීතියක්” ඒ ඇඩ්වටයිසිං පිටපතේ තිබුණ ඉතා ම ආකර්ෂණීය පාඨයක්. ඒත් මේ වෙද්දි ඒ පාඨය ‘වඳුරු කුණුහරුපයක්’ බවට පත් වෙන තරමට ම විහිළුවට ලක් වෙලා තියනවා.

  • Save

“අපි බලාපොරොත්තු වුණේ පුටිං කෙනෙක් වුණාට දැන් රට පාලනය කරන්නෙ හිටංටත් අන්ත විදියට නේද..?”

මේ ඊයේ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉස්සරහ තිබුණ විරෝධතාවක දී මේ ආණ්ඩුව ගේන්න දරදිය ඇදපු හාමුදුරුනමක් කැමරාවට කියපු කතාවක්. විවිධාකාරයේ හේතු උඩ ආණ්ඩුව ගේන්න මහන්සි වුණ, මේ ආණ්ඩුව වෙනුවෙන් කතිරය ගහපු අය 2020 අවසන් වන මේ මොහොතේ බරපතළ අපේක්ෂා භංගත්වයකට පත් වෙලා තියනවා. මේ හැමෝටම ආණ්ඩුවේ ප්‍රධානීන් දෙන පොදු නිදහසට කාරණය තමයි “කොරෝනා නිසා හිතපු කිසිම දෙයක් කරගන්න බැරි වුණානෙ” කියන කතාව. ඒත් ඇත්ත ප්‍රශ්නෙ කොරෝනා ද? බැරි වෙලාවත් කොරෝනා ආවේ නැත්නම් ලංකාව මේ වෙනකොට හිතාගන්නත් බැරි තරම් සුඛිත මුදිත රාජ්‍යයක් වෙලා තියේවිද?

2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ ලංකාවේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් දියත් වුණු දැවැන්ත ම ඇඩ්වටයිසිං ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදියට. මේක අති විශාල ධන සම්භාරයක් පොම්ප වුණු, අති දැවැන්ත සම්පත් සම්භාරයක් භාවිතා වුණු, දීර්ඝ කාලයක් තිස්සේ දියත් වුණු ඉතිහාසගත වෙන විදියේ ඇඩ්වටයිසිං ව්‍යාපෘතියක්. මේ වැඩේ මව්වරු, පියවරු, බාප්පලා, මහප්පලා කවුද කියන එක ගැන පොදුවේ සමාජයේ කාටත් වගේ දැන් දළ අවබෝධයක් ලැබිලා තියෙනවා.

මේ ව්‍යාපෘතියේ තිරකතාවට අනුව අපිට හිතා ගන්නවත් බැරි තරම් නළු නිළියෝ නොයෙක් වේදිකාවල රඟපෑවා. ඒ සමහරු චීවර ඇඳගෙන වටාපත් අරගෙන රඟපානකොට තවත් සමහරු ටයි කෝට් ඇඳගෙන, කොළඹ තරු පහේ හෝටල්වල වියත් වේදිකාවල රඟපෑවා. තවත් සමහර නළු නිළියෝ උද්ඝෝෂණ ව්‍යාපාරවල, විරෝධතා පෙළපාලිවල රඟපාද්දි තවත් අය මාධ්‍ය නාලිකාවල, රූපවාහිනි වැඩසටහන්වල, ප්‍රවෘත්ති සාකච්ඡාවල ඉතාම තාත්ත්වික විදියට තමන්ට දීලා තිබුණු චරිත රඟපෑවා. ඒ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵල පහුගිය අවුරුද්දේ නොවැම්බර් 16 වැනිදා රෑ එළි වෙනකොට ලැබුණා.

මේ කොහොම වෙතත් කොයි ඇඩ්වටයිසිං ව්‍යාපෘතියටත් අදාළ පොදු ප්‍රශ්න කීපයක් තියෙනවා. නිදසුනක් විදියට ලක්ස් සබන් ගැටේ ගැන හදන දැන්වීමක් හිතමු. ලක්ස් වෙනුවෙන් හදන දැන්වීම්වලට ගන්නේ රටේ ඉන්න අතිශය සුරූපී, ඉතාම ලස්සන හමක් තියෙන නිළියො. ඒ නිළියෝ ලක්ස් සබන් ගාලා නානවා දැක්කම කාට වුණත් හිතෙන්නේ ලක්ස් ගෑවොත් මේ වගේ ලස්සන වෙනවා කියලා. ඒ නිසා ම අව් කාෂ්ඨකේ මහන්සි වෙලා වැඩ කරන, දවස් දෙකකට විතර සැරයක් පිං ළිඳට ගිහිල්ලා නාගන්න ගමේ සිරිපිනා හාමි අක්ක පවා ලක්ස් කැටේ අරන් ගානවා.

හැබැයි සිරිපිනා හාමි අක්කවත්, අර ඇඩ් එකේ පෙන්නන නිළියෝ වගේ වෙන්න හිතාගෙන සබන් ගාන කවුරුවත් කොච්චර සබන් ගෑවත් ලස්සන වෙන්නෙ නෑ. ඒත් ඒක තේරුම් ගන්න ටික කාලයක් සබන් ගාලම බලන්න වෙනවා. ගෝඨාභය මහත්තයා වෙනුවෙන් කරපු ඇඩ්වටයිසිං ව්‍යාපෘතියටත් දැන් සිද්ධ වෙලා තියෙන්නෙ ඒක. කොටින්ම කියනවා නම් ඒ ඇඩ් එකේ තිර පිටපතට අනුව කලින් චරිත රඟපාපු අය පවා මේ වෙනකොට ප්‍රසිද්ධියේ ම මැසිවිලි කියන්න පටන් අරගෙන තියෙනවා. එහෙම හිතුවාම කතිරේ ගහපු අය ගැන අමුතුවෙන් අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

“එක රටක් එක නීතියක්” ඒ ඇඩ්වටයිසිං පිටපතේ තිබුණ ඉතා ම ආකර්ෂණීය පාඨයක්. ඒත් මේ වෙද්දි ඒ පාඨය ‘වඳුරු කුණුහරුපයක්’ බවට පත් වෙන තරමට ම විහිළුවට ලක් වෙලා තියනවා. තොණ්ඩමන්ගේ පුතා මහ දවාලේ දින ගණනාවක් පෙරහැර පවත්වමින්, රථ පෙළපාලි යමින් ආණ්ඩුවේ “එක රටක් එක නීතියක්” ප්‍රතිපත්තිය නිර්වස්ත්‍ර කරලා ලෝකෙට ම පෙන්නුවා. කොරෝනා මරණ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ආදාහනය ද, භූමිදානය ද කියලා තීරණයක් ගන්න බැරුව ආණ්ඩුව හතර අතේ ළත වෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලේ ආණ්ඩුවේ ලොකු ලොක්කො ම නීතියට කොකා පෙන්නලා රට වටේ කරක් ගහනවා. වෙන එකක් තියා විපක්ෂයේ මන්ත්‍රී රිෂාඩ් බදියුඩීන් පවා රහස් පොලිස් කණ්ඩායම් 6කට සතියක් තිස්සේ කකුල් මාට්ටු දමමින් “එක රටක් එක නීතියක්” කතාව විහිළුවක් කියලා ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා තව දුරටත් තණකොළ කන එකෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කවුරුවත් මේ රටේ “එක නීතියක්” ක්‍රියාත්මක වෙනවයි කියලා විශ්වාස කරන්නේ නැහැ.

සිරිසේන මහත්තයාගෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙයි ආණ්ඩුව තීරණ ගන්න බැරි කැඳ හැලියක් බව හිතපු හුඟ දෙනෙක් කෙළින් තීරණ ගන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න ගෝඨාභය මහත්තයාට කතිරේ ගැහුවා. ඒත් අන්තිමේ දී සිද්ධ වුණේ නිල්වලා මුදලාලි කැසට් ගහනවාට වඩා වේගෙන් ගැසට් ගහපු එකත් ගහන පමාවෙන් ඒවා රිවස් කරපු එකත් විතරයි. සිරිසේන උන්නැහේ ගේ මල්ලි ඩඩ්ලි සිරිසේන එක රැයකින් ආණ්ඩුවේ සහල් මිල පාලනය ඔළුවෙන් හිටවලා පෙන්නුවා. ඉතිහාසයේ පළවෙනි පාරට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් කැබිනට් ඇමතිවරයෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රය ඇතුළෙදි කණට ගහලා තාමත් නිරුපද්‍රිතව ඉන්නවා. දිනපතා ම ආණ්ඩුව ඇතුළේ තියන ගැටුම් එළියට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි එළිපිටම ගහමරා ගන්නකොට ආණ්ඩුව ඇතුළේ ඉන්න ගෝඨා කණ්ඩායමයි, මහින්ද කණ්ඩායමයි, බැසිල් කණ්ඩායමයි එකිනෙකාට යටි උගුල් අටවනවා. කොච්චර වුණත් සිරිසේන – රනිල් ආණ්ඩුවේ ප්‍රශ්න තිබුණේ පාර්ශ්ව දෙකක් අතර විතරයි. ඒත් ඒක එළවලා ගෙනාපු “ස්ථාවර ආණ්ඩුවේ” එකෙකුට එකෙක් මූණ බලන්නේ නැහැ.

අද මේ රටේ පරිපාලනය අවුල් ජාලාවක් වෙලා. විශ්‍රාමික හමුදා නිලධාරීන් පරිපාලන තනතුරුවලට පත් කිරීම නිසා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් බරපතළ කළකිරීමකින් ඉන්නවා. ඒ නිසා ම ආණ්ඩුවේ පරිපාලන යාන්ත්‍රණය අක්‍රීය වෙලා රට එක ම තැන නතර වෙලා තියනවා. ඊට අමතරව රටට ම අඬබෙර ගහලා ආණ්ඩුවේ ඉහළ ම තනතුරුවලට පත් කරපු ව්‍යාපාරික නායකයෝ ඉල්ලා අස්වීමේ ලියුම් බාර දීලා පැදුරටත් නොකියා ගෙදර යනවා. “වියත් මගෙන්” කරළියට ආපු මැති ඇමතිවරු විතරක් නෙවෙයි ඉහළ තනතුරු ලබපු හුඟක් අය මේ වෙනකොට සමාජයට විහිළු සපයන තැනට තල්ලු වෙලා ඉවරයි. හැම තැනක ම බලාපොරොත්තු කඩවෙලා. අපේක්ෂා භංග වෙලා. නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති අසමත් පාලනයක් අපේ ඇස් ඉදිරිපිට ම නිර්මාණය වෙලා ඉවරයි.

අපි ආපහු මේ කතාවේ මුලට යමු. මේ කිසි දෙයක් කොරෝනා වසංගතයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නැහැ. වසංගතය හා සම්බන්ධව ආණ්ඩුව කරගෙන තියන අනාගැනීම වෙනම ම කතා කළ යුතු මාතෘකාවක්. ආර්ථිකය මේ වෙනකොට මුහුණ පාලා තියෙන අර්බුදය සහ ඒ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න කිසිම විකල්ප වැඩපිළිවෙලක් නොතිබීම වගේ දේ ගැන මම මෙතැන එක වචනයක් ලියලා නැහැ. මෙතැන සඳහන් කරලා තියන හැම වරදක් ම කොරෝනා වසංගතය ආවත් නාවත් මේ ආණ්ඩුව සිද්ධ කරනවා. ඒ නිසා මේ වෙලා තියෙන්නේ අසීමාන්තිකව මුදල්, සම්පත් සහ මාධ්‍ය බලය පොම්ප කරලා හදපු ඇඩ්වටයිසිං ව්‍යාපෘතිය ස්වාභාවික මරණයකට ලක්වීම විතරයි.

ඒත් නිකමට හිතන්න. 2020 ඉවර වෙනකොට රට වැටිලා තියන ප්‍රපාතය මෙහෙම නම්, 2021 අවසන් වෙනකොට අපි කොතැන ඉඳියි ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap