කොලම

කාටවත් කවුරැවත් නැති ලෝකයක්

Summary

බටහිර විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරැවක්. ඒක කියන්න තරම් නිර්භීතකමක් නලින් ද සිල්වා මහත්තයට තියෙනවා. ඒත් එහෙම ගත්තාම ඒ විදිහටම සිංහල බෞද්ධයා කියන්නෙත් පට්ටපල් බොරැවක්. ජාතික චින්තනය, මාක්ස්වාදය, කොමිසන් සභා ඔය ඔක්කොම පට්ටපල් බොරැ.

  • Save

සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව. සියලූ නම් ගම් මනහ්කල්පිතය.

ජයවීරගේ සිත කල්පනා සයුරේ කිමදෙමින් තිබුණත් අත කොම්පියුටරයේ යතුරැ පුවරැම මත ජීමේලය ඕපන් කිරීමට ක්‍රියාත්මක වෙමින් තිබිණි. ජීමේලය ඕපන් කිරීමට පමණක් නොව ජීමේලයේ අලුතින් ලැබී තිබුණු මේල් ඕපන් කිරීමට ද ක්‍රියාත්මක වුණේ රෝබෝ අතක් මෙන් ස්වයංක්‍රීයවමය. ඉන්පසුව පැමිණ තිබුණ එක් මේලයක් කියවීමට ද ඇස යොමුවුණේ ස්වයංක්‍රීයවමය. මේලය සිතින් කියෙව්වේ ද ස්වයංක්‍රීයව එය එවා තිබූ තැනැත්තා ගැන පවා නොසිතිමිනි. එවා ඇති තැනැත්තා වැදගත් වන්නේ එවා ඇති දේ අනුව ය යන නියමයට අනුව ජයවීරගේ සිත ක්‍රියාත්මක වූ බව කිව හැකිය.

“මේ බිහිවෙලා තියෙන්නෙ කාටවත් කවුරැවත් නැති ලෝකයක්”

‘සුජීව ප්‍රසන්නආරච්චිගෙ පොත් දාස් ගණනින් ලක්ෂ ගණනින් ගාමන්ට් ළමයින් අතර විකිණෙන්න පුළුවන්. ඒත් සුජීවට පුළුවන් ද ගාමන්ට් ගෑණු ළමයින් දහයක් රැස්වීමකට එකතු කරන්න. එහෙම නැතිනම් සුජීව මැරැණු දවසක ඔය ගාමන්ට් ගෑණු ළමයි පෝලිමේ එයිද? අනෙක් අතට ගාමන්ට් ළමයි වෙනුවෙන් පොත් ලිව්වත් ගාමන්ට් ළමයි වෙනුවෙන් සුජීව එක කඳුලක් හෙළලා තියෙනවද? උදයසිරි වික්‍රමරත්න නාට්‍ය කරනවා. සුජීවට තරම් නැතත් උදයසිරිගෙ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයටත් සෑහෙන්න රසිකයෝ පිරිසක් හිටියා. ඒත් උදයසිරිට පුළුවන් ද ඒ දාස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසෙන් දහයක්වත් යම්කිසි පොදු වැඩක් වෙනුවෙන් එකතු කරන්න. උදයසිරි කරන්නෙ යම් බොරැවක්. ඒ නාට්‍ය බලන අයත් කරන්නෙ යම් බොරැවක්.”

“ලියනගේ අමරකීර්ති ගැන වුණත් කතාව ඒකයි. අමරෙට කියන්න පුළුවන් එයා ලියන්නෙ ලිබරල් සමාජයක් වෙනුවෙන් කියලා. ඒත් අමරෙට අඩුම ගානේ එයා ලියන්නෙ ජනතාව වෙනුවෙන් කියලවත් කියන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ ජන බලවේගය වුණාට පස්සෙ ජනතාව අමරෙලගෙ ඔළුවෙ නෑ. පොත් ප්‍රකාශකයො පොත් ගහනවා. ඒ ජනතාව වෙනුවෙන්ද? පාඨකයා රවටන එක හැර වෙනත් අරමුණක් පොත් ප්‍රකාශකයන්ට තියෙනවද? “

“සෙනග ටිකක් ගොනු කරගෙන ඉන්නෙ දේශපාලනඥයන් විතරයි. ඒත් ඇත්තටම දැන් මිනිස්සුත් දේශපාලනඥයන් එක්ක නෑ. ඊයෙ දිනපු ආණ්ඩුව අද පරදින්නෙ ඒකයි. දේශපාලනඥයො එක්ක මිනිස්සු බැඳිලා ඉන්නවා නම් එහෙම වෙන්න බෑ. පිලිප් එක දිගට අවිස්සාවේල්ල දිනුව වගේ මෛත්‍රීපාල එක දිගට මැදවච්චිය දිනුව වගේ එහෙම දේවල් ආයෙ වෙන්නෙ නෑ. මිනිස්සු දැන් කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. තමන්ටමයි ඡන්දෙ දෙන්නෙ. තමන්ගෙ හිතේ තියෙන මනස්ගාත ටිකකට.”

“දේශපාලනඥයොත් මිනිස්සුන්ට කතා කරන්නෙ නෑ. දේශපාලනඥයො කතා කරන්නෙ මිනිස්සු ගාව තියෙන මනස්ගාත ටිකකට. අද තියෙන්නෙ කාටවත් කවුරැවත් නැති සමාජයක්. අහස පොළව දෙදරවන මහා ශබ්ද මැද්දෙ මහා හුදකලා වෙච්ච සමාජයක්. දිස්නෙ දිදී බබලන වෛර්ණ රෑප මැද්දෙ කවුරැවත් කාවවත් හඳුනන්නෙ නැති සමාජයක්. අපිට ට්‍රම්ප්ලව පුටින්ලව පේනවා. අල්ලපු ගෙදර මිනිහ පේන්නෙ නෑ. අසල්වැසියාට ප්‍රේමකරන්න බැරි අපි ලෝකෙට මෛත්‍රී කරනවා. (මේක බුද්ධාගම නැතිව ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් පෙනී හිටීමක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සෙත් බෞද්ධ භික්ෂුවක් කියනවනේ. මං අසල්වැසියාට ප්‍රේම කිරීම ගන්නෙත් මෛත්‍රීය වගේම බෞද්ධ සංකල්පයක් විදිහට බුදුදහම ඇතුළෙ. හැමෝම ලෝකයටම ප්‍රෙම් කරයි. ඒත් අසල්වැසියාට ප්‍රේම කරන්න අමාරැයි. ඒකයි එතන තියෙන සංකල්පය)”

“අපි අද කාටවත් බනින්නෙ නෑ. බනින්න නම් මොකක් හරි බැඳීමක් තියෙන්න ඕනැ. අපි මිනිහෙකුට බනින්නෙ ඒ මිනිහා ඉන්නවා කියලා දැනෙනවා නම් විතරයි. ඒත් අපිට අපි හැර වෙන මිනිස්සු ඉන්නවා කියලා දැනෙන්නෙ නෑ. ඉතිං අපි බනින්නෙ නෑ හැබැයි අපි සංකල්පවලට බනිනවා. සංකල්පවලට ආදරය කරනවා. හැබැයි ඒවා ඔක්කොම තියෙන්නෙ අපේ ඔළුවෙ විතරයි. බටහිර විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරැවක්. ඒක කියන්න තරම් නිර්භීතකමක් නලින් ද සිල්වා මහත්තයට තියෙනවා. ඒත් එහෙම ගත්තාම ඒ විදිහටම සිංහල බෞද්ධයා කියන්නෙත් පට්ටපල් බොරැවක්. ජාතික චින්තනය, මාක්ස්වාදය, කොමිසන් සභා ඔය ඔක්කොම පට්ටපල් බොරැ. හැබැයි මේ හැකියාව යම් විදිහකට ඉස්සර හිටපු සිංහල බෞද්ධයන්ට තිබුණා. යම් කල්ලියකට ඈදෙනවා කියන එක, යම් අයිඩෙන්ටී එකක් හදාගන්නවා කියන එක, හංවඩුවක් ගහගන්නවා කියන එක ගමේ මිනිස්සු අප්පිරියා කළා.”

“ප්‍රේම කළාට ප්‍රේමවන්තයා කියලා අයිඩෙන්ටී එකක් හදාගන්න ඒ කාලෙ මිනිස්සු කැමති වුණේ නෑ. දානේ දුන්නට දානපතියා වෙන්න කැමති වුණේ නෑ. (බොරැ කිව්වට බොරැකාරයා වෙන්නත් කැමතිවුණේ නෑ) ලේබල් අප්‍රිය කළා. ලේබල් නැති ජීවිතේකට ට්‍රයි කළා. ඒත් අද අපි ට්‍රයි කරන්නෙ ලේබල් එකට. දානපතියා වෙනවා. දානය ජීවිතේ නෑ. ඉස්සර ප්‍රේමය ටිකක් තිබිලා ප්‍රේමය වැඩිය තියෙනවා කියලා පෙන්නන්න හදන අය ගම්වල ප්‍රේමවන්තයා කියලා ලේබල් වැදිලා කැපිලා ගියා. දානපතියො වෙන්න හදන අය කැපිලා ගියා. දානපතියො එදා සුළු ධාරාව. ඒත් අද මහා ධාරාව. මාක්ස්වාදියෝ කියන්නෙම දානෙ දෙන්නෙ නැතිව දානපතියො වෙන්න හදන දසෙට් එකක්. චින්තනකාරයොත් එහෙමයි. ලිබරල්කාරයොත් එහෙමයි. ඇත්තටම කොයි ලේබල්කාරයොත් එහෙමයි. එදා ගමේ මිනිස්සු ලේබල්වලට අප්පිරියා කළේ ඒකයි. ඒක සුළු ධාරාව වුණේ ඒකයි. අද ලේබල් තියෙනවා. හරයක් නෑ. මදයක් නෑ. බටහිර විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරැවක්. නලින් සර් හරියටම හරි.”

“එතනින් එහාට අපිව තව හිතන්න බෑ. එහාට යන්නෙ නැතිව මෙහා පැත්තෙ එහාට මෙහාට හිතන්න පුළුවන්. ඒත් එහාට හිතන්න බෑ. රට ජාතිය ගාව එක්ක තියෙන වෛරය ගත්තාම සර් (නලින්) ගාව තියෙන වෛරය තරම් වෛරයක් කැක්කුමක් කවුරැවත් ගාව නෑ. ඒක ඇත්ත. ඒත් මහාචාර්යවරයෙක් හැටියට ඉඳල නලින් මහත්තයත් සමහර වෙලාවට පහේ ළමයි කරන වැඩත් කරනවා. ඒ කරන්නෙ වෙන කිසිම දෙයකට නෙමෙයි නලින් ද සිල්වා කියන්නෙත් පට්ටපල් බොරැවක් කියලා ඔප්පු කරන්න. එතනදීත් නලින් සර් අවංකයි. කොහොම වුණත් අද ජාතියේ ප්‍රධාන මාතෘකාව නලින් සර්. එහෙම වෙලා තියෙන්නෙ නලින් සර්ගෙ හැකියාවම හින්ද නෙමෙයි ජාතියට වෙන මාතෘකා නැති හින්ද. එතකොට බැසිල්……බැසිල්ට විරැද්ධව අපිට සටන් කරන්න බැරි අපි හැමෝම බැසිල්ලා හින්දා. අනිත් අතට බැසිල් පැරද්දුවත් අපි බැසිල්ලා”

මේ හැබැහින් තමා කියවූ ජීමේලයක් ද එනම් භෞතික ජීමේලයක් ද නැතිනම් දෙවියන් හෝ වෙනත් අද්භූත බලවේගයක් විසින් එවන ලදුව තමා කියවූවේ යැයි තමන්ගේ හිතේ ඇඳුණු අධිභෞතික ජීමේලයක් ද යන්න සිතාගැනීමට නොහැකි ව නිනව් නොමැතිව ජයවීර ටික වේලාවක් සිටියේය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap