Opinion

BMICHහි රඟ දැක්වූ කොළඹ සරසවියේ 0.6%ක උපාධිධාරි විගඩම

Summary

කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යීය උපාධි ප්‍රධා­නෝ­ත්ස­වය තෙදි­නක් පුරා ඉතා උත්ක­ර්ෂ­වත් අන්ද­මින් කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා පරි­ශ්‍ර­යේදී ඉකුත් සතියේ පැවැ­ත්විණි

 – By Rasika Kotudurage

කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යීය උපාධි ප්‍රධා­නෝ­ත්ස­වය තෙදි­නක් පුරා ඉතා උත්ක­ර්ෂ­වත් අන්ද­මින් කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා පරි­ශ්‍ර­යේදී ඉකුත් සතියේ පැවැ­ත්විණි. එසේ වුවත් ඉකුත් 17 වැනිදා කුල­පති ආචාර්ය මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද නාහිමි වෙතින් උපාධි මංජු­සාව පිළිනො‍ෙගන විරෝ­ධය පෑ දශම ගණ­නක සුළු පිරි­ස­කගේ ක්‍රියාව සමාජ ජාලා මාධ්‍ය හුවා දක්වනු පෙණිනි. කොවිඩ් වසං­ග­තය හමුවේ වසර දෙකක් පසු­ප­සට ඇදී ගොස් තිබූ මෙම උත්ස­වය සියලු සෞඛ්‍ය නීති රීති­ව­ලට යටත්ව උත්ස­ව­ශ්‍රී­යෙන් පැවැ­ත්වී­මට විශ්ව­වි­ද්‍යාල පාලන අධි­කා­රිය කට­යුතු කර තිබුණේ විශාල විද්‍යා­ර්ථීන් පිරි­ස­කගේ දැඩි ඉල්ලීම මතය. එවැනි පසු­බි­මක මෙවැනි ක්‍රියා­වක් සිදු වූයේ ඇයිද යන්න ගැටලු සහ­ග­තය.
1921 දී ලන්ඩන් විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බ­ද්ධව උපාධි පිරි­න­මන ආය­ත­න­යක් ලෙස කොළඹ යුනි­ව­ර්සිටි කොලී­ජිය ස්ථාපිත කළ අතර 1942 දී ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩි­කෝට් ආණ්ඩු­කා­ර­ව­රයා විසින් යුනි­ව­ර්සිටි කොලී­ජි­යට විශ්ව­වි­ද්‍යාල තත්ත්ව­යක් ලබා දුණි. ඒ අනුව ස්ථාපිත වූ ලංකා විශ්ව­වි­ද්‍යා­ලය 1972 අංක 1 දරන පනත මඟින් ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යා­ලය නමින් භෞතිෂ්ම විය. 1978 අංක 16 දරන විශ්ව­වි­ද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යා­ලය යටතේ පැවති අනෙ­කුත් මණ්ඩප පහට ස්වාධීන විශ්ව­වි­ද්‍යාල තත්ත්වය පිරි­නැමූ ආකා­ර­යෙන් ම කොළඹ මණ්ඩ­පය ද කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය ලෙස පිහි­ටුවී ය. එලෙස පිහිටු වූ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ 1942 සිට 1981 වසර දක්වා විශ්ව­වි­ද්‍යාල කුල­ප­ති­ව­රයා ලෙස කට­යුතු කර ඇත්තේ රාජ්‍ය නාය­කයා ය.

1978 විශ්ව­වි­ද්‍යාල පනත අනුව ආචාර්ය පී. ආර්. ඇන්ත­නීස් කුල­පති ලෙස පත් කර­න­තුරු එනම්, 1981 වසර වන­තෙක් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­ප­ති­ව­රයා ලෙස දිවං­ගත ජන­පති ජේ. ආර් ජය­ව­ර්ධන කට­යුතු කළේ ය.
මෙලෙස විශ්ව­වි­ද්‍යාල කුල­ප­ති­ව­රුන් පත්කි­රීම සඳහා විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වෙත බලය හිමි­ව­නුයේ 1978 අංක 16 දරන ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යාල පනතේ 32 වන වගන්ති ප්‍රකා­ර­වය. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් රටේ වැද­ගත් ගරු කට­යුතු අයකු කුල­පති ලෙස නම් කරන අතර, එම ධුරය විසින් විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රධා­න­ත්වය දර­මින් වසර පහක ධුර කාල­යක් මුල­සුන හොබ­වයි. කුල­ප­ති­ව­රයා යනු ගෞර­ව­නීය තන­තු­රක් වන අතර හෙතෙම විසින් ඉටු­ක­රනු ලබන්නේ චාරි­ත්‍ර­මය වග­කී­මකි. ඒ අනුව කුල­පති විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රධා­නියා වන අතර උපාධි ප්‍රධා­නෝ­ත්ස­වය සඳහා දින නියම කිරීම, ඒ සඳහා උචිත ස්ථානය තෝරා ගැනීම සහ සිය­ලුම උපාධි පිරි­න­මනු ලබන්නේ කුල­ප­ති­ව­රයා විසිනි. එසේ වුවත් කුල­පති සතු වැඩ­ක­ට­යුතු වලින් වැඩි­ම­නක් ඉටු කෙරෙන්නේ උප කුල­පති අතිනි. මෙම ගරු කට­යුතු තන­තුර අධ්‍ය­යන කට­යු­තු­වල හෝ ආග­මික කට­යු­තු­වල හෝ සිවිල් සංවි­ධාන කට­යු­තු­වල නිරත සම්භා­ව­නීය පුද්ග­ය­කුට පිරි­න­මනු ලැබීම සාමාන්‍ය සිරි­තය. ඒ අනුව බලන කල මෙය ශිෂ්ට­ස­ම්පන්න සමා­ජ­යක් අනු­මත කරන පත් කිරී­මකි. මීට ප්‍රථම ආචාර්ය ඔස්වල්ඩ් ගෝමස් හිමි­පා­ණන් විසින් මෙම තන­තුර හෙබ වූ අතර වර්ත­මා­නයේ පූජ්‍ය මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද නාහි­මි­යන් විසින් එම තන­තුර හොබ­වයි.

කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යීය උපාධි ප්‍රධා­නෝ­ත්ස­ව­යේදී උපාධි ලබා ගැනීම සඳහා විද්‍යා­ර්ථීන් 2,668 සුදු­සු­කම් ලබා තිබුණි. ඉන් 173 දෙනකු විවිධ හේතු නිසා නොපැ­මිණි අතර උත්සව අව­ස්ථාව සඳහා 2,495 දෙනකු සහ­භාගි වී තිබුණි. එය ප්‍රති­ශ­ත­යක් ලෙස ගත් කල සිය­යට අනූ­න­ව­යයි දශම තුනයි පහකි (99.35%). ඒ අව­ස්ථා­වේදී විද්‍යා­ර්ථීන් 15 දෙනෙකු පම­ණක් කුල­පති පූජ්‍ය මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද නාහි­මි­යන් අතින් චාරි­ත්‍රා­නු­කූ­ලව මංජු­සාව ලබා ගැනීම ප්‍රති­ක්ෂේප කර උප­කු­ල­ප­ති­නිය අතින් එය ලබා­ගෙන ඡායා­රූ­ප­ය­කට පෙනී සිටිනු දක්නට ලැබුණි. ඒ නීති පීඨයේ නව­දෙ­නකු හා කලා පීඨයේ හය දෙනකු ලෙසය. මෙලෙස ප්‍රති­ක්ෂේප කළ පිරිස ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට බිංදු­වයි දශම හයයි පහ (0.65%)කි.
උත්ස­වයේ මුල­සුන හොබ­වන කුල­ප­ති­ව­රයා ලෙස පූජ්‍ය උතු­මකු සිටි­යදී කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප කුල­ප­ති­නිය වන ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය චන්ද්‍රිකා විජේ­රත්න විසින් කුල­ප­ති­ව­රයා ප්‍රති­ක්ෂේප කළ පිරි­සට මංජුසා ප්‍රධා­නය කර ඔවුන් හා ඡායා­රූප ගැනීම සදා­චා­රා­ත්මක ද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. උත්සව සභාවේ මෙන්ම උපා­ධිය පිරි­නැ­මීමේ නිල කාර්යයේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කරන කුල­ප­ති­ව­රයා සභාවේ අසු­න්ගෙන සිටි­යදී ඔහු ප්‍රති­ක්ෂේ­ප­ කර යන විද්‍යා­ර්ථීන් අතින් සන්කර තමා වෙත කැඳවා මංජු­සාව සහ සහ­තික පත් ඇය විසින් පිරි­න­මනු එහි වීඩියෝ දර්ශ­න­වල මනාව සට­හන්ව තිබුණි. ඇත්තෙන්ම එය ශිෂ්ට­ස­ම්පන්න මහා­චා­ර්ය­ව­රි­යක වන උප­කු­ල­ප­ති­නිය විසින් නොකළ යුතුව තිබුණු බව මධ්‍යස්ථ මතය විය. මන්ද යත් ඇයගේ මෙම ක්‍රියාව නිසා හෑල්ලු­වට ලක්වන්නේ කුල­පති තන­තුර මෙන්ම මෙරට කීර්ති­මත් ස්වාමී­න්ව­හන්සේ නමකි. මේ සුළු­ත­ර­යක් දෙනා පිළි­ගැ­නීම මඟින් උප කුල­ප­ති­නිය සිදු කර ඇත්තේ ඔවුන්ගේ ක්‍රියා­වට අනු­බල දීමක් බව මේ පිළි­බඳ මධ්‍යස්ථ මත­ධා­රීන්ගේ අද­හස වේ. අනෙක් අතට මේ විද්‍යා­ර්ථීන් රජයේ රැකි­යා­ව­කට යන්නේ නම් අදාළ පත්වීම විෂ­ය­භාර අමා­ත්‍ය­ව­රයා විසින් ප්‍රධා­නය කරන්නේ නම් එය ප්‍රති­ක්ෂේප කර­න්නේද යන්න ඔවුහු විම­සති.

ඔවුන් මෙලෙස කුල­ප­ති­ව­රයා අතින් උපා­ධිය පිළි­නො­ගෙන උප­කු­ල­ප­ති­නිය අතින් එය පිළි­ගැ­නී­මට හේතුව ලෙස දක්වා තිබුණේ පූජ්‍ය මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමි­යන්ගේ අධ්‍යා­පන සුදු­සු­කම් පිළි­බඳ ගැට­ලුව හා දේශ­පා­ලන පත් කිරීම පිළි­බ­ඳ­වය. එලෙස සුදු­සු­කම් මත කුල­ප­ති­ව­ර­යකු පත් කිරීම ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යාල ඉති­හා­සයේ තිර­සාර සම්ප්‍ර­දා­යක් ව පැව­ති­යේද යන්න ප්‍රශ්නා­ර්ථ­යකි. බොහෝ නවක බඳවා ගැනීම් පුද්ගල අභි­ම­තා­ර්ථ­යන් අනුව සිදු වූ ඒවා බව විශ්ව­වි­ද්‍යාල පත්වීම් පිළි­බඳ ඉති­හා­සය අපට කියා දෙයි. මෙරට විශ්ව­වි­ද්‍යාල සම්ප්‍ර­දාය තුළ ද ප්‍රධාන දේශ­පා­ලන ප්‍රවා­හයේ දී මෙන් ඥාතී­ත්වය මත පද­නම් ව බඳවා ගැනීම් සිදු වේ.
වත්මන් උප­කු­ල­ප­ති­ව­රිය පත් කර ඇත්තේ ද ජනා­ධි­ප­ති­ව­රයා විසින් බව මොවුන් අම­තක කර තිබේ. එසේම සනා­තන සභාව නියෝ­ජ­නය කරනු ලබන්නේ ආචාර්ය මහා­චා­ර්ය­ව­රුන් විසින් පත්ක­ර­ගත් පීඨ­ාධි­ප­ති­වරු සහ උසස් අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා හරහා පත්වීම් ලැබූ සභි­ක­යන් විසිනි. මෙහිදී සනා­තන සභාව විසින් සිදු කරන්නේ සුදු­සු­කම් ලත් අය නම් කිරීම පමණි. අව­සාන තීර­ණය ලබා දෙන්නේ ජනා­ධි­ප­ති­ව­රයා ය. ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් අභ­යා­රා­මා­ධි­පති පූජ්‍ය මුරු­ත්තෙ­ට්ටුවෙ ආනන්ද හිමි­යන් කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යීය කුල­ප­ති­ව­රයා ලෙස පත් කර ඇත. එහි කිසිදු වර­දක් නොමැත.

කෑගල්ලේ ගැමි ගොවි පවු­ලක තෙවැ­නියා ලෙස 1943 ජන­වාරි 26 උපන් උන්ව­හන්සේ පත්බේ­රිය ධම්මා­ලෝක හිමිගේ ශිෂ්‍ය­යෙකු වශ­යෙන් 1952දී පැවිදි දිවි­යට ඇතු­ළත් ව ඇත. මාලි­ගා­කන්ද විදු­දය පිරි­වෙ­නේදී වැඩි­දුර අධ්‍යා­ප­නය ලැබූ හෙතෙම එදා සිට වර්ත­මා­නය දක්වා හෙද සංග­මයේ සභා­ප­ති­ත්වය උසු­ලන්නේ ය. එම සංග­මයේ නාය­ක­ත්ව­යෙන් 1976 දී හෙද ඉති­හා­සයේ පළමු වර්ජ­නය දියත් වන අතර, වසර 102ක් පැවති වහල් මුර සේවා ක්‍රම­යට තිත තැබුණේ එම සටන මඟිනි. 1980 පැවති මහා ජූලි වැඩ වර්ජ­න­යේදී ඊට අදාළ සියලු පාර්ශ්ව සම්බ­න්ධී­ක­ර­ණය කර­මින් මුරු­ත්තෙ­ට්ටුවේ හිමි­යන් ඊට ලබා දුන් දාය­ක­ත්වය සුවි­ශේෂී ය. 1981 එජා­පයේ අධ්‍යා­පන ධවල පත්‍රි­කා­වට එරෙ­හිව අර­ගල කළ බල­වේග අත­රද මුරු­ත්තෙ­ට්ටුවේ හිමි­යන්ගේ දාය­ක­ත්වය කැපී පෙනිණි. 1983 ජූලි 24 වැනිදා එජාප මැර­යන්ගේ අනු­ග්‍ර­හ­යෙන් දියත් වූ කළු ජූලිය අව­ස්ථා­වේදී සිය ගණ­නක් දෙමළ ජන­යාගේ ජීවිත ආරක්ෂා කර­දී­මට මුරු­ත්තෙ­ට්ටුවේ හිමියෝ මැදි­හත් වූයේ එයින් තමන් වහ­න්සේගේ ජීවි­ත­යට එල්ල වන අන­තුර පවා නොත­ක­මිනි. එජා­පයේ දරුණු මර්ද­නය මැද 1986 මාර්තු 18 සිට පුරා දින 29ක් තිස්සේ පෙරට ඇදුණු මහා හෙද වැඩ වර්ජ­නය ජය­ග්‍රා­හීව අව­සාන වූයේ මුරු­ත්තෙ­ට්ටුවේ හිමි­යන්ගේ අභීත නාය­ක­ත්වය යට­තේය.

80 ජූලි වර්ජ­න­යෙන් බිම­ටම ඇද­වැටී සිටි කම්කරු පන්ති­යට හා ප්‍රග­ති­ශී­ලීන්ට මේ ජය­ග්‍ර­හ­ණය මහත් ආස්වා­ද­යක් වූයේය. කර­ළි­යට එමින් තිබූ පළාත් සභා මර උගු­ලට එරෙ­හිව පක්ෂ හා සංවි­ධාන 21ක මැදි­හත් වීමෙන් 1986 ජූලි 26 වැනිදා “මව්බිම සුරැ­කීමේ ව්‍යාපා­රය” ආරම්භ වූ අතර, මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමියෝ ආර­ම්භයේ සිටම ඊට ක්‍රියා­කාරී නාය­ක­ත්ව­යක් සැප­යූහ. 1987 අප්‍රේල් 17 සහ අප්‍රේල් 21 යන දින­වල කොටි ත්‍රස්ත­වා­දීහු එල්ල කළ ප්‍රහාර මඟින් අහිං­සක වැසියෝ 248ක් ඝාත­න­යට ලක් වූ අතර, ඊට එරෙ­හිව ජන­තා­වට ආර­ක්ෂාව ඉල්ලා දැවැන්ත විරෝ­ධ­තා­වක් අප්‍රේල් 22 පැවැ­ත්විණි. ඇඳිරි නීතිය නොතකා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නිවස වට­ල­මින් පැවති මේ විරෝ­ධ­යට නාය­ක­ත්වය දුන් පිරිස අතර මුරු­ත්තෙ­ට්ටුවේ හිමි­යෝද මුල් තැනෙක වූහ.

1987 එජා­පයේ මැයි දින තහ­න­මට එරෙ­හිව නාරා­හේ­න්පිට අභ­යා­රා­ම­යේදී මැයි රැලියක් පැවැ­ත්වී­මට මව්බිම සුරැ­කීමේ ව්‍යාපා­රය කට­යුතු කළ අතර, එහි මුල­සුන හොබ­වන ලද්දේ මුරු­ත්තෙ­ට්ටුවේ හිමි­යන් විසිනි. එහිදී සිදු වූ වෙඩි තැබී­ම­කින් දෙදෙ­නෙක් ඝාත­න­යට ලක් වූහ. 1987 ජූලි 28 ඉන්දු ලංකා ගිවි­සු­මට එරෙ­හිව කොටුවේ පැවති දැවැන්ත විරෝ­ධ­තා­ව­ටද මුරු­ත්තෙ­ට්ටුවේ හිමියෝ නාය­ක­ත්වය දුන්හ.
එනිසා උන්ව­හන්සේ කළ කී දෑ හී තරම නොදන්නා දුහු­නන් කෙරෙහි උන්ව­හන්සේ කම්පා නොව­න්නේය. මේ දේවල් උන්ව­හ­න්සේට හොඳින් හුරු පුරු­දුය. නව­සිය අසූව දශ­කයේ මහා ශිෂ්‍ය සංග­මයේ නයූ­වකු වූ දීප්ති ළමා­හේවා පව­සන්නේ මෙය විශ්ව­වි­ද්‍යාල ජීවි­තයේ උප සංස්කෘ­තික ලක්ෂ­ණ­යක් බවත්, මෙලෙස විරෝ­ධය පෑම එහි ආවේ­ණික ලක්ෂ­ණ­යක් බවයි.

කෙසේ නමුත් උන්ව­හන්සේ අතින් උපා­ධිය පිළි­ගත් ප්‍රති­ශ­තය සිය­යට අනූ­න­ව­යයි දශම තුනයි පහකි (99.35%). ඒ අනුව වැඩි බහු­ත­ර­ය­කගේ පිළි­ගැ­නී­මෙන් අති­සා­ර්ථක අන්ද­මින් මෙම උපා­ධි­ප්‍ර­ධා­නෝ­ත්සව නිමා වුවද බහු­තර මාධ්‍ය විසින් හුවා දැක්වී­මට කට­යුතු කර තිබුණේ 0.65% ක ඉතාම සුළු පිරි­ස­කගේ ක්‍රියා කලා­පය ය. ඒ සඳහා සමාජ මාධ්‍ය විසින් ද ඉතාම සංවි­ධා­නා­ත්මක ලෙස ප්‍රචා­ර­ක ව්‍යාපා­ර­යක් දියත් කර තිබුණි. මෙම ක්‍රියාව පිටු­පස බංකො­ළොත් දේශ­පා­ලන වුව­ම­නා­වක්ද පෙනෙ­න්නට තිබේ. මෙය මුග්ධ­ය­කුට වීර වික්‍ර­ම­යක් වුවත් පළල් දැක්ම­කින් හෙබි අයකු බලන්නේ මින් සිදු­වන අග­තිය දෙසය. එය සිදු වන්නේ මේ ක්‍රියාව සිදු කළ සුළු­ත­ර­යට පම­ණක් නොව මුළු­ම­හත් ශිෂ්‍ය ප්‍රජා­ව­ට­මය. බුද්ධිමතුන්ටය. උගතුන්ටය. මේ රටේ උගත් පර­පු­ර­ට­මය. ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට සිය බල­තල ප්‍රකා­රව කුල­පති තන­තුර සඳහා ඕනෑම අයකු පත් කළ හැකිය. ඒ සඳහා අයි­ති­යක් විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාට ඇත. එලෙස පත් කළ කුල­ප­ති­ව­ර­යා­ගෙන් උපා­ධිය පිළි­නො­ගෙන උප­කු­ල­ප­ති­ව­රි­ය­ගෙන් එය පිළි­ගැ­නීම යනු මුහු­ණත් එක්ක තරහ වී නහය කපා­ගැ­නීම වැනි ක්‍රියා­වකි.

  • උපාධි ලබා ගැනීම සඳහා – සුදු­සු­කම් ලැබූ විද්‍යා­ර්ථීන් ගණන 2,668
  • උපාධි ලබා ගැනීම සඳහා – නොපැ­මිණි විද්‍යා­ර්ථීන් ගණන 173
  • උපාධි ලබා­ගත් විද්‍යා­ර්ථීන් ගණන 2,495
  • උපා­ධිය පිළි­ගත් පිරිස ප්‍රති­ශ­ත­යක් ලෙස 99.35%
  • ප්‍රති­ක්ෂේප කළ 15 දෙනා ප්‍රති­ශ­ත­යක් ලෙස 0.65%

බලෙන් ළඟට ඇවිත් ඡායාරූපවලට පෙනී සිටියා
– කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය චන්ද්‍රිකා එන්. විජේ­ර­ත්න­

Q : මේ උත්ස­වයේ මුල­සුන හෙබවූයේ ඔබ­ද? කුල­ප­ති­ හිමි ද?
A: මුල­සුන කුල­පති හාමු­දු­රු­වන්ට දීලා මම පසෙ­කට වී එතන
හිට­ගෙ­නයි හිටියේ.

Q: ඔබ ස්වාමින් වහන්සේ ප්‍රති­ක්ෂේප කරපු අයට තමන් ළඟට පැමි­ණෙන ලෙස සන් කර­මින් මංජු­සාව හෝ සහ­ති­කය පිරි­න­ම­නින් සිනා­මුසු මුහු­ණින් ඡායා­රූ­ප­යට පෙනී සිටින ආකාර දකින විට කුල­පති තන­තුර හෑල්ලු කිරී­මක් විත­රක් නෙමෙයි; සම්බුද්ධ ශාස­න­ය­ටත් අප­හාස වන අන්ද­මින් කටයුතු කළ බවයි බොහෝ දෙනා කියන්නේ.
A: මේ කට­යුත්ත මුල් වූ ආර්ට් ෆැක­ල්ටියේ ළමයි ටික කළු පටි බැඳගෙ ඇවිත් විරෝ­ධ­තා­ව­ක් පළ කරන්න සූදා­නම් වන බව අපට තොර­තුරු ලැබුණා. පෙර­ටු­ගාමී එකේ ළමයෙක් මට කතා කරලා මේ ගැන කිව්වාම අපි විද්ව­තුන් විදි­යට මෙතන හැසි­රෙන්න ඕන බව මං ඒ ළම­යට පැහැ­දිලි කළා. මං උපන් බෞද්ධ­යෙක් එහෙම සංඝ­ර­ත්න­යට අප­හස වෙන දෙයක් මං කරල නැහැ; කර­න්නෙත් නැහැ

Q: ඔබ කුල­පති හිමි­යන් ප්‍රති­ක්ෂේප කළ ශිෂ්‍ය ශිෂ්‍යා­වන් එක්ක බොහෝම ළෙන්ගතු විදි­යට ඡායා­රූ­ප­ව­ලට පෙනී සිටියේ ඇයි ? ඒකෙන් ඒ අයට අනි­ය­මින් උඩ­ගෙඩි දීමක් නේද සිදු කළේ?
A: ඔය කියන විදි­යට මම ඡායා­රූප ගන්න ගියෙත් නැහැ. ඒ අය බලෙන්ම වගේ ළඟට ඇවිත් ඡායා­රූ­ප­ව­ලට පෙනී සිටියා. ඊළඟ එක්කෙනා ඇවිත් මං ළඟින් හිට­ග­ත්ත­හ­මත්; මං අහක බලා­ගෙ­නයි හිටියේ.

ගුරුවරුන්ට වඩා ප්‍රාෙයා්ගික දේශපාලන දැනුමක් මේ හාමුදුරුවන්ට තියෙනවා
– දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­ දීප්ති කුමාර ගුණ­රත්න

මේ අය මේ විදි­යට හාමු­දු­රු­වන්ව ප්‍රති­ක්ෂේප කරන්නේ දැනුම මත පද­නම්ව නම්; මේ රටේ විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ බොහෝ සිටින්නේ යාව­ත්කා­ලීන නොවූ දැනු­මක් සහිත ආචාර්ය මහා­චා­ර්ය­ව­රුන්. එහෙම අය­ගෙන් සහ­ති­කය අරන්ද මේ අය රැඩි­කල් වෙන්න හදන්නේ. ඒක මේ විද්‍යා­ර්ථීන් තේරුම් අරන් තියෙ­න­වද; මේ හාමු­දු­රු­වන්ගේ දැනු­මම තමයි මේ විශ්ව­වි­ද්‍යා­ල­වල ඉන්න බොහෝ ගුරු­ව­රුන්ට තියෙන්නේ. වෙන­ස­කට තියෙන්නේ ඒ අයට උපාධි සහ­තික තියෙ­නවා; හාමු­දු­රු­වන්ට නැහැ; එච්ච­රයි. නමුත් ප්‍රායෝ­ගික දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යෙක් විදි­යට බැලු­වම මේ ගුරු­ව­රුන්ට වඩා ප්‍රායෝ­ගික දේශ­පා­ලන දැනු­මක් මේ හාමු­දු­රු­වන්ට තියෙ­නවා. ඒක මේ විද්‍යා­ර්ථීන් දන්න­වද?.

අපි ලෝකයාට දෙන පණිවිඩය ද මේ
– මහා­චාර්ය නීතීඥ ප්‍රතිභා මහා­නාම

මේ ක්‍රියා­වෙන් මුළු ලෝකෙ­ටම පෙණුනා අප තව­දු­ර­ටත් ශිෂ්ට­ස­ම්පන්න මිනි­සුන් නොවන බව. මොකද මේ ක්‍රියාව කරන්නේ සාමාන්‍ය මනු­ෂ්‍ය­යෙක් නෙමෙයි, උගත් බුද්ධි­මත් යම් ශික්ෂ­ණ­යක් ඇති අය. ඉතින් මොකක්ද ඉන් අපි ලෝක­යට දෙන පණි­වි­ඩය. මේක විශේ­ෂ­යෙන්ම අපේ විදේශ රැකියා වෙළෙඳපළට පවා බල­පෑ­මක් කර­නවා. මේවගේ තමන්ගේ කුල­ප­ති­ව­රයා හෑල්ලු­වට ලක්ක­රන උපා­ධි­ධා­රීන් මොන ව්‍යාපා­රි­ක­යද පිළි­ගන්නේ. තමන්ගේ ආගම දහ­මට ගරු ­නො­ක­රන, තම විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රධා­නි­යට ගරු නොක­රන කෙනෙක් තමන්ට කිසිදා ගෞරව නොක­රන බව ඔවුන් දන්නවා.

ඒ නිසා මේ ක්‍රියාව ඔවුන් ඔවුන්ට විත­රක් නෙමෙයි අනෙක් අය­ටත් කළ විශාල හානි­යක්. මෙවැනි මුග්ධ ක්‍රියා කරන්න කලින් තමන් කවුද? තමන් කරන්න යන දේ නිවැ­රදි ද? කියල කල්පනා කරල බලන්න සාමාන්‍ය දැනී­මක් මේ අයට තියෙන්න ඕන. මොකද එදා වගේ නෙමෙයි අද අපි දිහා මුළු ලෝක­යක් බලන් ඉන්නවා. ”

කවුද මේ ගයාත්‍රි නවරත්න

උපාධි මංජු­සාව නොගෙන විරෝ­ධය පෑ සියයට දශම හය අතර සිටි එක් තරු­ණියක් පිළි­බඳ සමාජ මාධ්‍ය­වල සටහන්ව තිබුණේ ඇය ගයාත්‍රී නව­රත්න නම් නීති පීඨ උපාධිධාරිනියක බවයි. එමෙන්ම නීතී­ඥ­ව­රි­යක ලෙස දිවු­රුම් දුන් අ‍යකු බවයි.

විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවි­ධා­න­යක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර‍ෙය් (CPA) හස්තයක් වන මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­නයේ (CMVE) කලක් සම්බ­න්ධී­කා­ර­ක­ව­රි­යක් ලෙස කට­යුතු කර ඇති ගයාත්‍රි වර්තමානයේ තවත් ප්‍රකට රාජ්‍ය නොවන සංවි­ධා­න­ය­ක් වන ආබා­ධිත සංවි­ධාන ඒකා­බද්ධ පෙර­මුණ (Disability Organizations Joint Front) හී නව සම්බ­න්ධී­කා­ර­ක­ව­රිය ලෙස කටයුතු කරයි.
එසේම ඇය අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ­ලයේ හිටපු කැඳ­වු­ම්ක­රු­වකු වන මහීල් බණ්ඩා­රගේ පෙම්ව­තිය බව ද සමාජ මාධ්‍යයන්හි සඳ­හන්ව තිබුණි. මහීල් බණ්ඩාර හිටපු අමාත්‍ය මංගල සම­ර­වීර විසින් පිහි­ටු­වනු ලැබූ ‘සැබෑ දේශ­ප්‍රේ­මියෝ’ තරුණ කණ්ඩා­යමේ ක්‍රියා­කාරී සාමා­ජි­ක­යකු වන අතර පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස වෙනු­වෙන් ක්‍රියා­කා­රීව පෙනී සිටි අයකු බව ද කියැවේ..

මෙම අවක්‍රියාවට සම්බන්ධ සියලු දෙනා සමාව ගත යුතුයි
– සර්ව ආගමික සමුළුව

පසු­ගිය 21 වැනිදා පැවති සර්ව ආග­මික නායකයන් කියා සිටියේ විශ්ව­වි­ද්‍යා­ලයේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­වයේ දී කුලපති හිමියන්ට නිගරු වන ආකා­ර­යෙන් සිසු-සිසු­වි­යන් සුළු පිරිසක් එසේ හැසි­රීම නින්දා සහ­ගත බවයි. එය විශ්ව­වි­ද්‍යා­ල­යට ද තමන් ලබා­ගත් උපා­ධි­ය­ටත් කළ අගෞ­රයක් බව පැවසූ ඔවුහු එම අව­ස්ථා­වේදී විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­නිය හැසි­රු‍ෙණ් බාල බොළඳ ආකා­ර­යට බවත් ඇය සිසුන්ගේ එම කට­යුත්ත දිරි­ග­න්වන ආකා­ර­යෙන් කට­යුතු කළ බවත් අවධාරණය කළහ. මේ අවක්‍රියා­වට දායක වූ සියලු දෙනා කුල­පති හිමි­ය­න්ගෙන් සමාව ගත යුතු බව ඔවුන්ගේ මතය විය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *