COLUMN

IMF පෙත්ත

Summary

අලුත් තුන්දෙනා (මුදල් ඇමැතිතුමා, මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා) IMF ගිහිල්ලා. දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය යටතේ IMF එක අපිට පවරන වැඩ ටිකක් තියෙනවා.

අලුත් තුන්දෙනා (මුදල් ඇමැතිතුමා, මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා) IMF ගිහිල්ලා. දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය යටතේ IMF එක අපිට පවරන වැඩ ටිකක් තියෙනවා.
එකක් තමයි පොලී අනුපාත ඉහළ දැමීම. ඒ, මහ බැංකුවට කරන්න පුළුවන් වැඩක්. ඇත්තෙන්ම අලුත් අධිපතිතුමා පත්වෙච්ච ගමන් ම ඒ වැඩේ කළා. ඇතිවෙන වෙනස්කම් බලලා සමහර විට තව වතාවක් පොලී අනුපාත වැඩිකරන්න ඉඩ තියෙනවා.
පොලී අනුපාත උඩ යද්දී ඒක ආර්ථික වර්ධනයට නරක විදිහට බලපානවා. නිෂ්පාදන කටයුතුවල නිරතවෙලා ඉන්න අයට ණය ගන්න එක අමාරුවෙනවා. ඒත් තියෙන තත්ත්වය යටතේ හදිසි ප්‍රතිකාර කරන්න වෙන බව අපි තේරුම්ගන්න ඕන.
මීට අමතරව ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේට මහ බැංකුව සම්බන්ධ වෙයි. රාජ්‍ය ණය කළමනාකරණය කියන්නේ මහ බැංකුවට පැවරිච්ච නියෝජිත කටයුත්තක්. ආණ්ඩුව වෙනුවෙන් මහ බැංකුව ඒ වැඩේ කරනවා. ඉතින් IMF එකත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේට කරගහන්න මහ බැංකුවට පුළුවන්.

IMF එක බලාපොරොත්තු වෙන අනිත් වෙනස්කම් නම් කරන්න වෙන්නේ ආණ්ඩුවට.
රජයේ ආදායම අඩුයි. වියදම හොඳට ම වැඩියි. බදු ඉහළ දාලා ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඉතින් වැට් බද්ද වැඩිකරන්න කියලා IMF එක ආණ්ඩුවට කියයි. දැන් තියෙන තත්ත්වය යටතේ මෙහෙම වැඩක් කරන්න ආණ්ඩුවට පුළුවන් ද?
ආණ්ඩුව සන්තකයේ තියාගෙන ඉන්න සමහර ආයතන වෙනත් පාර්ශ්වවලට විකුණන විසඳුමත් නිර්දේශ වෙයි. දැන් තියෙන දේශපාලන තත්ත්වය යටතේ ආණ්ඩුව එහෙම වැඩ කරයි ද? මේ සම්බන්ධයෙන් අංජනම් අරින්න අමාරුයි.
රජයේ සේවකයෝ යම් ප්‍රමාණයක් ගෙදර යවන්න, විශ්‍රාම ගන්වන්න කියන්නත් ඉඩ තියෙනවා. මෙහෙම දෙයක් කරන එකත් ලේසි නෑ.
මේ විදිහේ මහ වැඩ හැම එකක් ම පැවැරෙන්නේ ආණ්ඩුවට. මහ බැංකුවේ වගකීම එච්චර බරපතල නෑ. ඉතින් මේ IMF ව්‍යාපෘතිය තනිකරම වගේ දේශපාලන වැඩක්.

2009 අවුරුද්දේ තමන් මුහුණදීපු අර්බුදය වෙලාවේ ග්‍රීසිය IMF සරණ පැතුවා. 2010 – 2012, 2012 – 2016 කාල සීමා ආවරණය වෙන විදිහට IMF එක ග්‍රීසියේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වුණා. මුල් වටයේ දී, පඩි කැපීම් සහ සුබසාධන කප්පාදු ඇතුළු නිර්දේශ 45 ක් IMF එක ග්‍රීසියට ඉදිරිපත් කළා. ඒ නිර්දේශවලින් 32 ක් ග්‍රීසිය ක්‍රියාත්මක කළා. ඒත් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ඒ විදිහට ම ලැබුණේ නෑ. ආර්ථිකය විශාල ප්‍රමාණයකින් ඇකිලුණා. විරැකියාව සීයට 25 දක්වා වැඩිවුණා. තවත් ප්‍රශ්න ඇතිවුණා. ඉතින් මුල් වටය අසාර්ථක වෙච්ච බව IMF එක නිවේදනය කළා.

2012 දී ආරම්භ කරපු දෙවැනි වටයට ග්‍රීසියේ දේශපාලන අස්ථාවරත්වය විසින් බාධා කළා. අවුරුදු හතරක උත්සාහයකින් පස්සේ 2017 දී IMF එක නිකුත් කරපු ඇගැයීම් වාර්තාවත් එච්චර හොඳ එකක් නෙවෙයි. බලාපොරොත්තු වෙච්ච විදිහට අපනයන වැඩිවුණේ නෑ. ආර්ථිකය තවදුරටත් ඇකිලුණා. තව තවත් ප්‍රශ්න මහ ගොඩක් ඇතිවුණා. මෙහෙම වුණේ IMF එක ඉදිරිපත් කරපු නිර්දේශ 97 න් 61 ක් ම ග්‍රීක ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළාටත් පස්සේ. තමන් ඕනවට වඩා සුබවාදී විදිහට හිතපු බවක් තමයි IMF එක අන්තිමේ දී කිව්වේ. මේ වාර්තාව දෙද්දි මුලින් ම IMF පිහිට පතපු වෙලාවේ ඉඳලා අවුරුදු හයකට වැඩි කාලයක් ගතවෙලා ඉවරයි.
මේ කියන්නේ IMF යන්න එපා කියලා නෙවෙයි. මෙහෙම ගිය පමණින් ප්‍රශ්නය විසැඳෙන්නේ නෑ. ඇත්තෙන්ම සම්පූර්ණ බර කරට ගන්න ඕන අපි. වැරැදි හදාගන්න ඕන අපි. ආර්ථිකයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඕන අපි.
එහෙම නැතුව IMF එක හරි වෙනත් බාහිර ආයතනයක් හරි ඇවිල්ලා අපිව බේරගනියි කියලා හිතනවා නම් ඒක මායාවක්. ඒ හින්දා සුන්දර හීන දකින එක නවත්තන්න. දැන්වත් ප්‍රශ්නයේ බරපතලකම සහ තමන්ගේ වගකීම තේරුම්ගන්න.
එහෙම නැතිනම් තවදුරටත් පිස්සු කෙළලා ප්‍රශ්නය තව තවත් බරපතල කරගන්න. හුඟක් වෙලාවට මේ හපන්කම නම් කරයි. ඒක ගැන සැකයක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *