COLUMN

IMF සැත්කම සහ රනිල් මහත්තයා

Summary

ඕනෑම රටක ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඕන ඒ රටේ මිනිස්සු විසින්. මේ කාරණය අපේ රටටත් අදාළයි. වෙන රටකින් ඇවිල්ලා, ජාත්‍යන්තර සංවිධානයකින් ඇවිල්ලා අපේ ආර්ථික ප්‍රශ්න විසඳයි කියලා හිතනවා නම් ඒක තමන් ම රවට්ටාගැනීමක්. හතර වටෙන් හිඟාකලාත් මේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම […]

ඕනෑම රටක ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඕන ඒ රටේ මිනිස්සු විසින්. මේ කාරණය අපේ රටටත් අදාළයි. වෙන රටකින් ඇවිල්ලා, ජාත්‍යන්තර සංවිධානයකින් ඇවිල්ලා අපේ ආර්ථික ප්‍රශ්න විසඳයි කියලා හිතනවා නම් ඒක තමන් ම රවට්ටාගැනීමක්. හතර වටෙන් හිඟාකලාත් මේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම හිඟාකන ජාතියකට ඉස්සරහට යන්නත් බෑ. ඉතින් දැන් තියෙන මේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඕන අපි අපිමයි.
ආර්ථික අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් වැඩකරන්න ඕන සාමාන්‍ය මිනිස්සු වුනත් ඒ සඳහා තවත් පාර්ශ්ව දෙකක මැදිහත්විම අවශ්‍ය වෙනවා. දේශපාලන නායකත්වය ඒ අතරින් එකක්. හමුදාවක් මෙහෙයවන සෙන්පතියෝ පිරිසක් වගේ මේ ආර්ථික යුද්ධය වෙනුවෙන් ජනතාව මෙහෙයවීම දේශපාලන නායකත්වයේ වගකීමක්. මේ කාරණයට අදාළ දෙවැනි පාර්ශ්වය තමයි රටේ ඉන්න උගත්තු. මේ ප්‍රශ්න විසැඳීම වෙනුවෙන් අපි කරන්න ඕන දේ මොකක්ද, ඒ දේවල් කළ යුත්තේ කොහොම ද කියන එක කියලා දෙන්න ඕන උගත්තු. ඒ අයගේ මගපෙන්වීම නැතිනම් දේශපාලන නායකත්වයටත් ජනතාවටත් මේ යුද්ධයට කැපවෙන්න බෑ.
උගතුන්ගේ මගපෙන්වීම අවශ්‍ය වෙන්නේ ආර්ථික නිෂ්පාදනයට සෘජුවම අදාළ කාරණාවලට විතරක් නම් නෙවෙයි. මිනිස්සුන්ගේ උද්‍යොගය ඇවිලවීමත්, චිත්ත ධෛර්යය වැඩවීමත් මේ වෙනුවෙන් කළ යුතුයි. මිනිස්සුන්ගේ උද්‍යොගය ඇවිලවීමට සහ චිත්ත ධෛර්යය වැඩවීමට දායකවිය හැකි පූජ්‍ය පක්‍ෂය ඇතුළු අනෙකුත් සමාජ නායකයන් මේ සඳහා යොමු කරගැනීමේ වගකීම පැවැරෙන්නෙත් උගතුන්ට.
ආර්ථික යුද්ධයක් කියන්නෙත් මහා කැපැකිරීම් ගොඩක් මැද්දේ මෙහෙයවන්න ඕන එකක්. ආයුධවලින් කරන යුද්ධවල දී එ්වාට මැදිහත්වෙන අයට අලාභහානි සිද්දවෙනවා. සමහරු මියයනවා. තවත් සමහරු අනාථවෙනවා. තවත් සමහරුන්ගේ පවුල් කඩාකප්පල් වෙනවා. ආර්ථික යුද්ධ වුනත් මෙහෙම තමයි. 1978 ඉඳලා චීනය කරපු ආර්ථික යුද්ධය ගැන මම අධ්‍යයනය කරලා තියෙනවා. ඒ මෙහෙයුම කලින් තිබුණු “යකඩ පාත්තර” ඒ විදිහට ම රැකගෙන ඉස්සරහට ආපු ගමනක් නෙවෙයි. ඒ වැඩත් එක්ක සෑහෙන පිරිසකට රස්සා අහිමිවුණා. සමහරු මහපාරට ඇද වැටුණා. සෑහෙන පිරිසකගේ පවුල් කඩාකප්පල් වුණා. සමහර ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අවුල්වුණා. සමහරු වැරැදි වැඩට යොමුවෙලා හිරේ විලංගුවේ වැටුණා. සමහරු වංචාකාරයන්ගේ ගොදුරු බවට පත්වුණා. තවත් සමහරු දිවිනසාගත්තා.
අලුතින් කර්මාන්තයක් පටන්ගත්ත ගමන් ඒවායේ වැඩකරපු මිනිස්සුන්ට පඩි ලැබුණේ නෑ. පැලයක් හිටවපු ගමන් ගෙඩි කඩන්න බැරි බව චීන මිනිස්සු දැනගෙන හිටියා. ඉතින් ඒ කර්මාන්තාශාලා ලොකු මහත් වෙන කල් මොනවා හරි අයිල දෙයක් කාලා, දවල් රෑ නැතුව දුක් විඳගෙන ඒ මිනිස්සු වැඩකළා. ඉදිරියේ දී තමන්ට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් ඒ අය තමන්ගේ ශ්‍රමය වැගිරුවා. කාලය වැය කළා. අම්මලා තාත්තලා බලන්න යන්න, දරුමල්ලෝ එක්ක ඉන්න තියෙන අවස්ථාව අහිමි කරගත්තා. හුඟක් අය ගෙදර ගියේ අවුරුද්දට එක වතාවයි.
මිනිස්සු මෙහෙම කැපවෙන්නේ ඒ සඳහා අවශ්‍ය පෙළැඹවීම තියෙන හින්දා. උගතුන්ගේ මැදිහත්වීම, දේශපාලන නායකත්වයේ අවංක කැපවීම විසින් මේ පෙළැඹවීම සිද්දවෙනවා. මිනිස්සු විනයක් ඇතිව වැඩකරන්න පටන්ගන්නවා. තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කරගන්නවා. කළ යුතු දේ, නොකළ යුතු දේ තේරුම්ගන්නවා. නායකත්වය විසින් පවරන වැඩ ඒ විදිහට ම කරනවා. මේ කැපකිරීම් තනි තනිව කරන ඒවත් නෙවෙයි. යම් නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් වැඩ කරන පිරිස කණ්ඩායමක් විදිහට එකට බැ‍ඳෙනවා. හැම දෙනාම එකතුවෙලා නොනැවැතී, අඛණ්ඩව වැඩකරන්න පටන්ගන්නවා.
මෙහෙම පෙළැඹවීම් ඇතිකරවන්න ආර්ථික න්‍යායාචාර්යවරුන්ට බෑ. (ඒ අය විසින් කරන්න ඕන රාජකාරිය වෙන එකක්). මේ වෙනුවෙන් ඒකට අදාළ පිරිස් යොදවාගන්න ඕන. මේක මූලික වශයෙන් ම දේශපාලනික කටයුත්තක්. දේශප්‍රේමය, ජාතිමාමකත්වය වගේ ඉන්ධනත් මේ සඳහා උවමනාවෙනවා. මේ ඉන්ධන ආනයනය කරන්න බෑ. ණයට ඉල්ලගන්නත් බෑ. මේවා ජාතිය තුළින් ම නිෂ්පාදනය කරගත යුතුයි. ඒ වෙනුවෙන් යොදාගන්න අදහස් සහ මතවාද සමාජගත කිරීමේ වගකීම කලාකාරයන්ටත් පැවැරෙනවා.
මිනීමරු කොටි සංවිධානය පරද්දන්න කරපු මෙහෙයවීම්වලට සම්බන්ධවෙච්ච පාර්ශ්ව ගැන හිතලා බලන්න. ඒ වෙනුවෙන් මිනිස්සු පොළඹවන මතවාද තිබුණා. වෙනත් ප්‍රචාරණ කටයුතු සිද්දවුණා. උගත්තු සෑහෙන පිරිසක් ඒ වෙනුවෙන් ලිව්වා. කතා පැවැත්තුවා. ජනතාවට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන්න භික්‍ෂුන්වහන්සේලා කැපවුණා. ස්ථීරව කරන සටනක් වෙනුවෙන් දේශපාලන නායකත්වය පොළඹවාගත්තා. රටේ ජනමතයක් නිර්මාණය වුණා. තරුණ පිරිස් හමුදාවට බැඳුණා. හමුදා නායකත්වය වගකීම් භාරගත්තා. අවසාන සටන ආරම්භ වුණේ ඒ විදිහටයි. ඒ සටනේ දී සෑහෙන පිරිසක් ජීවිත පූජාකළා. තවත් සෑහෙන පිරිසක් ආබාධිතයන් බවට පත්වුණා. සමහරුන්ගේ පවුල් බිඳ වැටුණා. ළමයි අනාථ වුණා. සමහර ළමයින්ගේ පාසල් ගමන කඩාකප්පල් වුණා. මේ හැම කැපකිරීමක ම අවසානයේ කොටි සංවිධානය පරාජය කරන්න රටට පුළුවන් වුණා.
දැන් ආර්ථික යුද්ධය ගැන හිතන්න. IMF ගියා කියලා මේ ප්‍රශ්නය විසැ‍ඳෙන්නේ නෑ. අසාධ්‍ය ලෙඩ්ඩුන්ගේ අතපය කපනවා වගේ වැඩ ඒ හරහා යෝජනා වෙයි. ඒවා කරන්න ම ඕන නම් ඒ වෙනුවෙන් මිනිස්සු පොළඹවන්න පුළුවන් නායකත්වයක් ඕන. රනිල් මහත්තයා අගමැති කරලා මේ වැඩ කරන්න පුළුවන් ද? අතපය කපන වැඩවලට නම් ඒ මහත්තයා ඒක පයින් එකඟවෙයි. ඒත් ඒවා ක්‍රියාත්මක කරවන්න ඒ මහත්තයාට බෑ. ඉතින් මේ කරන්න හදන්නේ වෙන වැඩක් නෙවෙයි.
දැන් තියෙන ප්‍රශ්නවලින් ගොඩ එන්න නම් අපේ ආර්ථික ක්‍රියාකාරකම්වල කාර්යක්‍ෂමතාව වැඩිකරන්න ඕන. ජනතාවට බරක් වෙන විදිහට නඩත්තු කරන රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කරන්න ඕන. විශ්වවිද්‍යාල වගේ ආයතන නඩත්තු කරන විදිහ, ඉස්සරහට මෙහෙයවන විදිහ වෙනස්කරන්න ඕන. මිනිස්සු බිම් මට්ටමින් සංවිධානගත කරන්න ඕන. මේ වැඩ එකක්වත් රනිල් මහත්තයාගෙන් සිද්දවෙන්නේ නෑ. 2001 අවුරුද්දේ ඉඳලා ඒ මහත්තයා සමහර වැඩ කරන්න හැදුවා. ඒත් ලොකු ප්‍රශ්න එද්දි ඒවාට මූණදෙන්න රනිල් මහත්තයාට බෑ. මිනිස්සු පොළඹවාගන්න ඒ මහත්තයාට බෑ. සයිටම් ප්‍රශ්නයට ඒ මහත්තයා මූණදීපු විදිහ ගැන හිතන්න. සයිටම් කියන්නේ හොඳ විසඳුමක් නෙවෙයි. ඒත් ඒක ආරම්භයක් කරගෙන අලුත් ක්‍රමයකට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය යොමුකරන්න තිබුණා. ඒත් එහෙම කරන්න හැකියාවක් රනිල් මහත්තයාට තිබුණේ නෑ.
මට තේරෙන විදිහට නම් මේ ආර්ථික යුද්ධය කරන්න පුළුවන් මහින්ද මහත්තයාගේ හෝ ඒ හා සමාන කෙනෙක්ගේ නායකත්වයෙන්. ඒත් මහින්ද මහත්තයා මේක භාරගන්න බවක් පේන්න නෑ. හුඟක් වෙලාවට එතුමා දේශපාලනයෙන් විශ්‍රාමගන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට විකල්පයක් සූදානම් බවකුත් පේන්න නෑ. රනිල් මහත්තයා සහ බැසිල් මහත්තයාගේ එකතුවෙන් මොකක්ද කරන්න හදන බවක් තමයි කියන්නේ. ඒ දෙන්නා එකතුවෙලා IMF යයි. ඇමෙරිකාව සහ ඉන්දියාව මැදිහත් කරගනියි. ඒත් මේ ප්‍රශ්නය ඔය වැඩවලින් විසැ‍ඳෙන්නේ නෑ.
රටේ මිනිස්සුන්ගේ සරණ ඇර වෙනත් සරණක් හොයලා වැඩක් වෙන්නේ නෑ! ඒ වෙනුවෙන් මැදිහත්වෙන දේශපාලන නායකත්වයකට සහ උගත්තු පිරිසකට අවස්ථාවක් ලැබිලා තියෙනවා. සජිත් මහත්තයාට මේ වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. උද්ඝෝෂණ සහ වැඩවර්ජන මෙහෙයවන අනුර මහත්තයාට මේ වැඩ කරන්න බෑ.

Leave a Reply

Your email address will not be published.