Opinion

K.M.P රාජරත්න

Summary

Share via: Facebook Twitter LinkedIn Email Copy Link මට K.M.P රාජරත්න මහතා ගැන මා ඉතා කුඩා කාලයේදී කියා දුන්නේ අපේ තාත්තාය. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස ඉන් පසු මහජන එකසත් පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍යවරයකුද බවට පත් වුනු ඒ […]

  • Save

මට K.M.P රාජරත්න මහතා ගැන මා ඉතා කුඩා කාලයේදී කියා දුන්නේ අපේ තාත්තාය. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස ඉන් පසු මහජන එකසත් පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍යවරයකුද බවට පත් වුනු ඒ මහතා, සිංහල පමණක් පනතට සංශෝධන වශයෙන් , දෙමළ භාෂාවේ සාධාරණ භාවිතාව පිලිබඳ විධිවිධාන ගෙන ආ වෙලාවේ එම ආණ්ඩුවෙන් හා එම පක්ෂයෙන් ඉවත් වී ජාතික විමුක්ති පෙරමුණ නමින් අලුත් පක්ෂයක් සාදා ගත් අයුරුද වැලිමඩ හා ඌව පරණගම ආසන දෙකට තම බිරිඳත් කැටුව තරඟ කොට ඒවා ජයගත් අයුරුද අපේ තාත්තා මා හා කීවේ ආශ්වාදයෙන් යුක්තවය. රාජරත්න මහතා මෙම හපන්කම් කරන විට අපේ තාත්තා බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේ හයේ හතේ පංති වල ඉගැනුම ලැබීය. අපේ තාත්තාට අනුව එම පක්ෂයේ ලාබාලතම අනුගාමිකයා වුයේ තාත්තාය. ඔහුට අනුව රාජරත්න මහතා ඉතා වේගයෙන් කතා කල , කාර්යශූර, පරිත්‍යාගශීලී මිනිසකු විය.
තාත්තා කියා තිබූ විස්තර අනුව මගේ හිතේ මැවී තිබුනේ ඒ වන විට මැරුණු තැන් වල ගසුත් පැලවී තිබෙන තරම් තලස්තෑනි වියපත් රාජරත්න මහතෙකි. නමුත් මා නිවැරදි නොවන බව මට වැටහුනේ මා 2003 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ පසුය. එවකට පෙළෙමින් තිබුණු දේශපාලන උණ හේතුවෙන් ඉතා ඉක්මනින් අප සරසවිය තුල ජාතිකවාදී දේශපාලනයට සරි වුනු අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිහල උරුමය පක්ෂයේ මහ ඒජන්ත වශයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කල අපේ භෞතික විද්‍යා අංශයේ ආචාර්ය රන්ජිත් විජේවර්ධනයන් සමග ඉතා ඉක්මනින් කුළුපග වූයෙමු. රංජිත් සර් විවාපත් වී සිටින්නේ රාජරත්න මහතාගේ කණිටු දියණිය සමග බවද රාජරත්න මහතා පමණක් නොව කුසුමා රාජරත්න මැතිණියද තවමත් තම ඇතුල් කෝට්ටේ නිවසට වී යහතින් කල් ගෙවන බවද මට දැනගන්න හැකි වූයේ ඉන් පසුවය. මම වහාම බස් රථයක නැගී කොළඹ ආවෙමි. රාජරත්න මහතාගේ ජීවිත කතාව ලිවීමට මට අවශ්‍ය බව රංජිත් සර්ට මා කියා තිබුණු බැවින් ඔහු ඒ සඳහාද රාජරත්න මහතාගෙන් අවසර ගෙන තිබුණු අතර ඔහුගේ කතා පටිගත කිරීම සඳහා කුඩා පටිගතකරන යන්ත්‍රයක්ද කැසට් පට කීපයක්ද මා වෙත දී තිබිණ.

මේ දෙදහස් තුන වර්ෂයයි. මා රාජරත්න මහතා සමග කතාව ආරම්භ කලේ ඔහුගෙන් ප්‍රශ්ණයක් ඇසීමෙනි. අන්තිම දෙමළාගේ සමෙන් සපත්තුවක් සාදා එය පළඳන තෙක් තමන්ට නින්ද නොයන බව රාජරත්න මහතා රැස්වීමකදී හෝ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල බව ඔහු ගැන දන්නා සියලු දෙනා දැන සිටියහ. මා ඔහුගෙන් ඇසුවේ ඔබ එසේ ප්‍රකාශ කලේ ඇයිද යන්නයි. ඉතා නිවුණු ස්වරයෙන්ද ව්‍යක්ත සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්ද කතා කල එම මහතා මා හා කීවේ, එවැනි ප්‍රකාශයක් තමන් කිසිදා නොකළ බවත්, යලි බොරු කල නොහැකි ලෙස මෙවැනි මිත්‍යා මතයක් ප්‍රසිද්ධ කරවුයේ චෙල්වනායගම් බවත්ය. මා ඉතා ඉහලින් එම වයෝවෘධ මිනිසාගේ ප්‍රකාශය පිලිගතිමි. මේ සියල්ල පටිගත විය.

මෙවැනි සංවාද දින, ගණනක් ගත විය. මේ සංවාද වලට විටින් විට කුසුමා මැතිණියද සහභාගී වූවාය. ශරීරයේ ඇති වී තිබුණු සෝඩියම් මට්ටමේ වෙනස්කම් නිසා මහ දවාලේද ඇයට සීතල දැනුනු බැවින් අත් මේස් පැළඳ සිටියද විටින් විට මට තේ පැන් වලින් සංග්‍රහ කිරීමටද ඇය අමතක නොකළාය. මේ ගෙදර මේ දෙපලට අමතර ඔවුන්ගේ වැඩිමහල් පුතා වූ ශ්වාසන් ද, පොඩි පුතා වූ නාලකද සිටියහ. ගෙදරට යාබදව තිබෙන ඉඩමේ නීතිඥවරියක වූ ලොකු දියණිය (දැන් නම මතක නැත) වෙනම ගෙයක් සාදාගෙන ජීවත් වූ අතර, ඇයගේ සැමියා වුයේ පසු කලකදී අපේ හොඳ මිතුරකු වුනු කැලණිය රසායන විද්‍යා අංශයේ ආචාර්යය කීර්ති වික්‍රමසිංහ මහතාය. මේ කියන කාලය වන විට කීර්ති මහතා කොහොඹ ඇට වලින් සාදන කාබනික බලිබෝධ නාශකයක් සඳහා පේටන්ට් අයිතිය ලබාගෙන තිබුණු අතර එය නිෂ්පාදනය කොට අලෙවි කිරීම සඳහා රංජිත් සර් සමග එකතුව පෞද්ගලික සමාගමක්ද ආරම්භ කොට තිබිණ.

මේ කියන පොත කිසි දිනෙක ලියවුනේ නැත. රංජිත් සර් සහ එම මැතිණිය (ප්‍රමිතා මැඩම්) මෙවැනි පොතක් උත්සවාකාරයෙන් එලි දැක්වීමට ඉතා ආශාවෙන් සිටි නමුත් මගේ කාලකන්නි කමත් වැඩ කල් දැමීමත් විසින් මේ සිහින සියල්ල සුන්නදූලි කොට දැමිණි. වසර කීපයකින් කුසුමා මැතිණිය කලුරිය කල අතර හරියටම වසරකින් රාජරත්න මහතා කලුරිය කළේය. කුසුමා මැතිණියගේ ආදහාන උත්සවයට මා සහභාගී වන විට අපේ හිතවත් ජගත් ගුණවර්ධන මහතාත්, උදය ගම්මන්පිල මහතාත් මා සමග ඒ අසල සිටියහ. මගේ පොත් කෙරුවාව ජගත් මහතාගෙන් දැනගත් උදය මහතා කීවේ ඉතා ඉක්මනින් එම පොත ලියා අවසන් කළහොත් රාජරත්න මහතා වෙනුවෙන් පවත්වන උපහාර උළෙලක්ද සමගින් එම පොත එළිදැක්විය හැකි බවත්, තමන් එම කටයුතු වල වගකීම භාර ගන්නා බවත්ය.

මගේ කම්මැලිකම මෙවැනි කතා වලින් දුරු කල හැකි නොවේ. මීට ටික දිනකට පසු ශ්වාසන් මහතාද මිය ගිය අතර ඉන් අනතුරුව ඔවුන්ගේ ලොකු දියණියද මිය ගියාය. ඉනුත් කලක් ගිය පසුව රංජිත් සර් මට විහිලු කරමින් කීවේ “පොත නැතත් උඹට පුළුවන් නම් පොතේ පටුනවත් ලියා දෙන” ලෙසත්, “ මොනවා නැතත් උඹ තාත්තාව පටිගත කල එක හරි වටිනා ” බවත්ය. මා සන්තකයේ තිබුණු කැසට් පට කීපය මම ඔහුට ලබා දුන්නෙමි. ඉන් අනතුරුව වසර හත අටක් ගෙවනු මුත් අප අතර පොත ගැන කතා බහක් ඇති වුනේ නැත. ඇරත් ඒ වන විට පොත ලිවීමෙන්ද පලක් නැත. මගේද ඇතුළුව අප මිතුරන් බොහෝ දෙනකුගේ විවාහ වලට සාක්ෂිකරු වුයේ රංජිත් සර්ය.එනිසා මගුල් ගෙවල් වලදී හමු වුනත් අප කොළඹ ඒම නිසා වෙනත් හමු වීම් විරල විය. 2015 මැතිවරණයට ආසන්න දිනෙක තකහනියක් නුවර ගොස් සර් හමු වුයේ ඔහු විසින් නුවර සංවිධානය කල රැස්වීමක් මට පෙන්වන්නට සර්ට වුවමනා වූ නිසාය. ඉන් පසු වසර තුනක් යනතුරු දුරකතනයෙන් කතා කළා මිස හමු වීමට අවස්ථාවක් ලද්දේ නැත. 2018 වසරේ මාර්තු මාසයේදී පමණ සර් ව වහාම ගොස් බැහැ දැකිය යුතු බවට වූ ප්‍රභල හැඟීමකින් මා වෙළන ලදුව මා මිතුරැ නිලක්ෂත් සමග අතුරුගිරියේ සර් ගේ නව නිවසට ගියෙමි. අප සියලු දෙනා ඉතා ප්‍රීතිමත් රාත්‍රියක් ගත කොට සර්ට සමු දුන් අතර ඉන් සති දෙකකට පමණ පසු සර් හදිසියේම කලුරිය කළේය. රාජරත්න මහතාගේ සංවාද පටිගත කල තැටි වලට මොනවා වූවාදැයි ප්‍රමිතා මැඩම් දන්නේ නැත.

රාජරත්න මහතා මා හා කියූ දේවල් වලින් දේවල් තුනක් මට මතකය. පළමුවැන්න නම් ඉහතදී සඳහන් කෙරුණු අන්තිම දෙමළාගේ සමෙන් සපත්තු සෑදීම පිලිබඳ කතාවය. දෙවැන්න නම් ඔහු මා අරභයා කරන ලද අගය කිරීමකි. එවකට විසිවැනි වියේ පමණ පසුවුණු මම මෙවැනි දේ ගැන උනන්දු වීම පුදුම සහගත බවත්, උත්සාහවන්තව කටයුතු කළහොත් ජීවිතයේ දීර්ඝ දුරක් යා හැකි බවත් ඔහු කීය. තෙවැන්න ඔහු දකුණු පළාතේ සිංහලයන් පිළිබඳව කල වර්ණනාවකි. හපුතලේ බණ්ඩාරවෙල වැනි පලාත්වල සිංහලයන්ට ඔළුව බේරාගෙන සිටීමට හැකි වුයේ දකුණේ සිංහලයන් එම පළාත්වලට විත් ව්‍යාපාර පටන් ගත් නිසා බවද එනිසාම එම පළාත්වල ස්වදේශික සිංහලයන් දකුණේ වෙළඳ සිංහලයන්ට විශේෂ ගෞරවයක් දක්වන බවද රාජරත්න මහතාගේ අදහස විය. “දකුණු වෙරළබඩ නාහෙට නාහන සිංහලයන් ” ඌව පරණගම සිංහලකම අල්ලාගෙන සිටි බව ඔහුගේ අදහස විය.

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු වෙරළේ එවැනි නාහෙන නාහන සිංහලයකු තරුණ වියේදීම ගෙදරින් පිටව ගොස් තම ජීවිතය එක්තරා මට්ටමකට ස්වෝත්සාහයෙන් ගොඩ නංවාගත් පසුව ගනු ලැබූ මතක සැමරුමකි. හපුතලේ සිට කොළඹ දෙසට දිවෙන මාර්ගයේ කඳුකර බෑවුමට මුහුණ ලා තිබෙන මේ කඩය ඉදිරියට ගිය කල බෑවුමෙන් පහල තිබෙන හාත්පස පෙදෙස ඉතා මනරම්ව පෙනෙයි. අහස පැහැදිලි නම් පහල නිම්නයේ ඈතින් තිබෙන චන්ද්‍රිකා වැවත් තවත් පැහැදිලි නම් හම්බන්තොට මුහුදත් පෙනෙයි. මේ පනස් ගණන් වල මුල් භාගයේදී එතැන දිස් වූ අයුරුය. 1994 වසරේ අප පවුලේ විනෝද චාරිකාවක් මේ ඉදිරියෙන් යන විටත් මේ නාම පුවරුව එලෙසින්ම තිබිණි. අලුත් අයිතිකරුවන් කඩේ නම එලෙසින්ම තබාගෙන තිබිණි. 2010 වසරේ මා විවාපත් වී මධු සමය ගත කිරීමට හපුතලේට යන විට මේ කඩ පේලිය බොහෝ වෙනස් වී තිබුණත් මට කඩය සොයා ගැනීමට හැකි විය. එපමනක් නොව ඒ වන විට එහි අයිතිකාර දෙමළ මහතා සම්පූර්ණ ඉතිහාසයම දැන සිටියේය. දැන් මාස කීපයකට පෙර මෙහි ගිය විට මෙතැන දැක ගන්නට හැකි වූයේ නවීන පන්නයේ බැංකුවකි. නමුත් දෙපස තිබුණු කඩ දෙකේම පැරැන්නන්ට මල්ලිකාරච්චි මුදලාලි හොඳින් මතක තිබිණ. හපුතලේ නගරට වසර හැත්තෑවක් මුළුල්ලේ එතරම් වෙනසක් සිදු වී තිබුනේ නැත.

Dineth Mallikarachchy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap