COLUMN

LNG හෙවත් ලොවෙත් නැති ගෑස්..!

Summary

මේ ඉදිරිපත් කිරීම මේ දවස්වල හැමෝම කේන්තියෙන් ඉන්න ගෑස් පෝලිම් ගැන නම් නෙවෙයි. ඒ ගෑස් LP ගෑස් හරියටම කියනවනම් liquefied petroleum gas ද්‍රවිකෘත ඛනිජ වායුව. එය බියුටේන් (C4H10) සහ ප්‍රොපෙන් (C3H8) වල මිශ්‍රණයක්. සමහර රටවල ප්‍රොපෙන් 100% බියුටේන්නැහැ. සාමාන්‍යෙන් ප්‍රොපෙන් […]

මේ ඉදිරිපත් කිරීම මේ දවස්වල හැමෝම කේන්තියෙන් ඉන්න ගෑස් පෝලිම් ගැන නම් නෙවෙයි. ඒ ගෑස් LP ගෑස් හරියටම කියනවනම් liquefied petroleum gas ද්‍රවිකෘත ඛනිජ වායුව. එය බියුටේන් (C4H10) සහ ප්‍රොපෙන් (C3H8) වල මිශ්‍රණයක්. සමහර රටවල ප්‍රොපෙන් 100% බියුටේන්නැහැ. සාමාන්‍යෙන් ප්‍රොපෙන් 80% බියුටේන් 20% තමයි තියෙන්න ඕනෙ. මුලින්ම ලංකාවට ආපු සිලින්ඩර් වල 13.5kg ගෑස් තිබුන. දැන් 12.5kg තියෙන්නෙ. අළුත්ම හයිබ්‍රිඩ් සිලින්ඩර් එකේ තියෙන්නෙ 9-10 kg අතර ප්‍රමාණයක් කියලයි ආරංචිය. මේ ගෑස් කිලෝග්‍රෑම් එකක ගැබ් වෙලා තියෙන ශක්තිය කිලෝ ජූල් 46,000ක් (කිලෝ 12.5 ක ශක්තිය කිලෝ ජූල් 575,000ක්) . ඒ කියන්නෙ 12.5 සිලින්ඩරයකින් උයනවා කියන්නෙ – විදුලි උඳුනක් යොදා ගත්තොත් ඒකක (කිලෝ වොට් පැය) 160 ක පමණ ශක්තියක්. ඒකම අනගි ලිපක දර වලින් ඉව්වොත් දර කිලෝ 100ක (හොන්ඩර දෙකක්) පමණ ප්‍රමාණයක්. මේ පොඩි සිලින්ඩර් එකක මේ තරම් ශක්තියක් පුරවන්න පුළුවන් වන්නේ ස්වභාවික තත්ත්වයෙන් 1/260 පංගුවකට එම ගෑස් ජාති දෙක තෙරපා ගබඩා කිරීමෙන්. මේ ගෑස් ජාති දෙකම ලැබෙන්නෙ තෙල් සහ ගෑස් කැනීම් කටයුතු වලත්, බොරතෙල් පිරිපහදු කටයුතු වලත් අතුරු ඵල ලෙස.

LNG කියන්නෙ ද්‍රවිකෘත ස්වභාවික වායුව. එය බියුටේන් හෝ ප්‍රොපෙන් නෙවෙයි, සම්පුර්ණයෙන්ම පාහේ මීතේන් (CH4). ඒවා LP ගෑස් වගේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී දියරයක් කරන්න බැහැ. ඉතාම අඩු උෂ්ණත්වයකින් (සෙල්සියස් ඍණ 160) සහ විශාල පීඩනයකින් (kPa 25) තමයි ඒවා ද්‍රවීකරණය කරන්නෙ. ඉතින් LNG කියන්නෙ මේ දවස්වල නිතරම ඇහෙන දෙයක් නිසා ඒවායෙ මිනුම් ඒකක පිලිබඳ විශාල මිථ්‍යා රැසක් සමාජ ගත වෙලා තියෙනවා දුටුවා. බොහොමයක් ඇමරිකානු දේවල් (යුද්ධ, සිනමාව සහ දේශපාලනය ඇතුළුව) වගේම LNG මිනුම් කියන්නෙ විශාල වණයක්. ඔබ සමහරු දන්නෙ නැතිව ඇති හඳට මිනිස්සු ඇරියත් එහෙ තාම මනින්නේ අඩි අඟල් සහ රාත්තල් වලින් කියා..! මගේ මේ උත්සාහය LNG මිනුම් ඒකක ගැන පැහැදිලි කරන්න. නමුත් මම හොඳින් දන්නවා මෙය කියවූ පසු ඔබ හිටියටත් වඩා ව්‍යාකුල තත්වයකට පත් වන බව. නමුත් ඉගෙන ගැනීමට උත්සහ කිරීමයි වඩා වැදගත්.!!

මේ ගැන දෙන්න පුළුවන් හොඳම ආරම්භය තමයි දැනට LNG මනින්න පාවිච්චි කරන ඒකක එක පේලියට ලිවීම…
ft3 – m3 – btu – bcf – tcf – CFD – TPA – MMTPA – MSCF – SCFM – MCSFD – MMCF – MMCFD – MMSCM – MMSCFD – Quad – therm – MMBtu – btu – Ccf – Mcf – MJ – MMcal – bcm – tcm සහ t (ටොන් – මෙට්‍රික් ටොන් නැතිනම් කිලෝ දහසක්).

මේ වණ වීමට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නෙ LNG ප්‍රමාණය සහ වායුව ගලා යාමේ වේගය යන කරුණු දෙකම මිණුම් කටයුතු සඳහා භාවිත වීම. ඒ වෙන එකක් නිසා නෙවයි, මෙම ඉන්ධනය සම්පාදනයේදී නළ ප්‍රවාහනය (pipe transport – වායුව එලෙසින්ම – natural gas – NG ලෙස) සහ සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන (freight වායුව සිසිල් කොට, අධි පීඩනයට යටතේ ද්‍රවයක් ලෙසින් – liquefied natural gas – LNG) විධික්‍රම දෙකම භාවිතා වීම නිසා. ඉහත ඒකක අතරින් d අක්ෂරය භාවිතා වෙන්නෙ නළ ප්‍රවාහනයේ ධාරිතාව දිනකට යැවිය හැකි වායු පරිමාවක් ගැන කතාවේදී. CFD කියන්නෙ cubic feet per day – දිනකට ඝන අඩි. නැවකින් ගෙන එන LNG වල නළ ධාරිතාව තේරුමක් නැති නිසා බොහෝ විට එය ටොන් වලින් මනින්නෙ. නමුත් LNG බාගන්න අපිට නිමාවක් (terminal එකක්) අවශ්‍යයි. ඒවායේ ධාරිතාවය මනින්නේ TPA – tonnes per annum – වසරකට බාගත හැකි ටොන් වලින්. කරුමය කියන්නේ මෙම ප්‍රමාණ බලශක්ති ඒකක වලිනුත් මනින එක. අපි හොඳින් දන්නා ජූල් නම් කමක් නැහැ. නමුත් ඒක එහෙම සරල නැහැ මහ විකාරයක්..!

වතුර රාත්තලක් ෆැරන්හයිට් අංශකයකින් රත් කිරීමට වැය වන ශක්තිය තමයි Btu එකක් කියන්නෙ – British thermal unit. මේ අර වායුසමන යන්ත්‍ර වල කියවෙන 9,000 – 12,000 Btu ම තමයි. එතකොට LNG සැපයුම් කරුවන් MMBtu වලට තමයි ගණන් කියන්නෙ. M කියන්නෙ දහසයි, MM කියනනෙ මිලියනයක්ලු… ඉතින් MMBtu එකක් කියන්නෙ Btu මිලියනයක්. Therm එකක් කියන්නෙ Btu ලක්ෂයකට. Quad එකක් කියන්නෙ Btu quadrillion එකකට (1,000,000,000,000,000කට) සිංහලෙන් නම් Btu හුත් නහුතයක්..! එතකොට cf අක්ෂර දෙක නිතරම එක ළඟ තියෙන්නෙ cubic feet (ඝන අඩි) වලින් NG වායුව මනින නිසා. Ccf – ඝන අඩි සීයක් Mcf ඝන අඩි දහසක්. bcf කියන්නේ ඝන අඩි බිලියනයක් tcf කියන්නෙ ඝන අඩි ට්‍රිලියනයක්. දැන් scf, bscf හෝ tscf වශයෙන් අළුතින් s අක්ෂරයක් එනව මේ ප්‍රශ්නෙට. ඒ standard නැත්නම් සම්මත ඝන අඩිවලට සෙට් වෙන්න. සම්මත ඝන අඩි එකක් කියන්නෙ වායුගෝලීය පීඩනයට ඉතා ආසන්න 14.73psig හෙවත් වායුගෝල 1.002317 ක පීඩනයේ ෆැරන්හයිට් 60 ක තිබෙන NG වායු ඝන අඩියකට. එම ඝන අඩියේ තිබෙනව මෙගා ජූල් 1.05505585 ක ශක්තිය (MJ/scf). Btu නම් 950-1100 අතර, නමුත් සම්මතය Btu 1,037ක් තිබෙනව කියල. හොඳින් මතක තබා ගත යුතු කරුණ තමයි මේ වායුව ප්‍රභවයේ හැටියට සැලකියයුතු වෙනස්කම් සහිතව සැපයෙන බව. ඇමෙරිකාවේම ප්‍රාන්ත අතර එය 930 Btu/scf වැනි අඩු අගයක සිට 1,150 Btu/scf දක්වා වෙනස් වෙනවා. ඒ විතරක් නොවෙයි වසරින් වසරටත් එකම ප්‍රභාවයෙන් එන සැපයුම් වල ගැබ් වූ ශක්ති ප්‍රමාණය විචලනය වෙනවා. ඉතින් scf එකක තියෙන ශක්තියත් මෙගා ජූල් 1.055 සිට 1.094 දක්වා වෙනස් වෙන්න පුළුවන්.

මේ අතර ලෝකයේ සමහර රටවල් තවමත් ශක්තිය මනින්න කැලරි ඒකකය යොදා ගන්නවා. ඒ සම්බන්ධතාව මෙහෙම දක්වන්නම් 1kWh = 3,413 Btu = 3.6 MJ = 860,000 calories. පටලගන්න එපා ආහාර සම්බන්ධ කැලරි වෙනස්: ඒවාත් කැලරි උනාට මේ කැලරි වගේ දහස් ගුණයක් – සැබෑ නම කිලෝ කැලරි kcal, නමුත් කියන්නෙ කැලරි කියල. මේ කැලරි එකක් කියන්නෙ 4.184 kJ.

මේ තියෙන ව්‍යාකුලත්වය ජය ගන්න නම් කල යුතු දේ නම් අපි මේ ප්‍රමාණ ටොන් වලින් කතා කරන්න පුරුදු වීම. මොකද අනිකුත් ඒකක බොහොමයක් NG වායු අවස්ථාවට අදාල නිසාත් – ඒ වගේම අපිට නළ සැපයුමක් ගැන හිතන්නවත් බැරි නිසාත්. LNG ටොන් එකක් කියන්නෙ සම්මත ඝන අඩි (scf) 48,700ක් නැතිනම් ඝන මීටර (scm) 1,380ක්. අපේ රටේ හොඳටම පැටලිලා තියෙන එකක වලින් නම් – MMBtu 50ක් පමණ (ලැබෙන ගෑස් ප්‍රභවයේ ගැබ්ව ඇති ශක්ති ප්‍රමාණය අනුව එය 46-53 MMBtu අතර විය හැකියි). ඉතින් LNG ගැන කථා කරන සෑම විටම ටොන් වලින් නැතිනම් TPA (වසරකට ටොන් වලින්) කතා කරනවානම් අගෙයි. මම අසා තිබෙන ආකාරයට TPA මිලියනයක් කියන්නේ LNG නිමාවකට හොඳ ධාරිතාවක්. ටොන් වලටත් වඩා හොඳයි ජූල් වලින්ම මනිනවානම්. මොකද අපිට අවශ්‍ය ශක්ති ඒකක නිසා වගේම ලැබෙන වායුවේ ගුණාත්මක භාවයට එය සම්බන්ධ වෙන නිසා…
මට මේක ලියල එපා වෙලා තියෙන්නෙ. කියවන ඔබට එහෙම නැතිනම් තව ඉවර නැහැ…! මේ ඒකක පටලැවිල්ල කිඹුලා කෑම නම් තව කොහිල කටු ඇනීමකුත් තියෙනව. ඇමෙරිකාවෙ ටොන් එකත් වෙනස්, එහෙ දෙකක් තියෙනව short ටොන් සහ long ටොන් වශයෙන්. Short tonne = 907kg සහ Long tonne 1,016kg. අපිට තියෙන්නෙ එකයි ඒ මෙට්‍රික් ටොන් – 1,000kg.

කථාව අවසන් කරන්න කලින් මේ පින්තුරෙ ඉන්න අය ගැන කිව යුතුයි. වම් කෙලවරේ ආචාර්ය ප්‍රියන්ත විජේතුංග – ආසියානු සංවර්ධන බැංකුවේ බලශක්ති වැඩසටහනේ නායකයා. ඊලඟට උපාලි දරණගම මහතා – අපේ ආයතනයේ ආදී කතෘ කිව්වම නිවැරදියි. මා ලඟම ඉන්නෙ ආර්. අමරසේකර මහතා – අනගි උඳුන් ව්‍යාපෘතියේ ජීවය. මොවුන් සියල්ලන්ම මට මේ ක්ෂේත්‍රයේ දිග පළල වටහා ගන්න හුඟක් උපකාර කල අය. මේ අයගේ ප්‍රධාන සමාන කමක් තියෙනවා. ඒ විදුලිය ගැන විතරක් නැතිව රටේ මුළු බලශක්ති ප්‍රභව සියල්ල ගැන ඔවුන්ගේ තිබෙන අවධානය සහ කැපවීම. ඒ අයගේ “අනගි” වැඩ නිසා අදටත් රටෙන් භාගයක් උයන්නෙ දර වලින්. ඒ පවුල් වල අයත් ගෑස් වලින් උයමින් හිටියනම් වසරකට තවත් රුපියල් බිලියන සිය ගණනකින් අපේ ණය බර වසරක් පාසා වැඩි වෙන්න තිබුන. මේ සටහන අපේ අගනා දර උරුමය කර-දර නොව සුන්-දර බව සිතා මහන්සි වූ අයටත් – දුම් දැලි ප්‍රශ්න අනගි ලිප ආශ්‍රයෙන් අවම කරගෙන, අදත් දර වලින් තම බලශක්ති අවශ්‍යතා සලසා ගන්නා අහිංසක ගෘහණියන්ටත් උපහාර ලෙස…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *