COLUMN

Reduce – වියදම්, Reuse – සිහින තරු, Recycle – පරණ සිංදු

Summary

Resource efficiency සහ circular economy පිලිබඳ ජාත්‍යන්තර සමුළුවකට ආරාධනා ලැබුණ මට රුවන් විජේමාන්න සහ ඔහුගෙ බොස් සමන්ත කුමාරසේන ගෙන්. මෙතෙක් කල් මට හිතාගන්න බැරිව හිටිය දේවල් මට පසක් උනා ඒ සමුළුවේ දවසක් හිටියම. කව්ද resource efficiency හොඳටම කරන්නෙ කියල දැන් මට ෂුවර්.

Reduce – වියදම්
Reuse – සිහින තරු
Recycle – පරණ සිංදු

Resource efficiency සහ circular economy පිලිබඳ ජාත්‍යන්තර සමුළුවකට ආරාධනා ලැබුණ මට රුවන් විජේමාන්න සහ ඔහුගෙ බොස් සමන්ත කුමාරසේන ගෙන්. මෙතෙක් කල් මට හිතාගන්න බැරිව හිටිය දේවල් මට පසක් උනා ඒ සමුළුවේ දවසක් හිටියම. කව්ද resource efficiency හොඳටම කරන්නෙ කියල දැන් මට ෂුවර්.
මම රුපවාහිනී ප්‍රවෘත්ති ප්‍රේක්ෂක තනතුරෙන් ඉල්ලා අස්වුනේ ප්‍රේමදාස ජනාධිපති සමයේ. ඉන් පස්සේ ඉඳල හිටල ටෙලි නාට්‍ය බලනව – ඒ සමග සංගීත වැඩසටහන් නම් යමින් එමින් බලනව. කොහොමටත් සතියකට පැය තුනකට වඩා අඩුවෙන් තමයි මගේ මේ මාධ්‍ය භාවිතය. නමුත් රාත්‍රී ආහාරය පටන් ගන්න වෙලාවේ ඉඳල පැය භාගයක් පමණ කාලයක් මාව බලෙන් ප්‍රේක්ෂකයෙක් (captive viewer) වෙනවා. ඒ අපේ බිරිඳ සහ ඇගේ මව නොවැරදී බලන මෙගා එකක් නිසා. ඒක අටහමාරට පටන් ගත්තට ඊට කලින් එකේ බාගෙකත් මම ප්‍රේක්ෂකයෙක්. කලින් එක සංගීත කණ්ඩායම් දෙකක් අතර තිබෙන ප්‍රශ්නයක්. කෙල්ලෙකුත් දේශපාලන ගැන්සියකුත් ඒකෙ ඉන්නව අඩු වැඩියට. දර්ශන පෙළගැස්වීම හරි ලේසියි. සෑම චැනල් එකකම තියෙන චැට් ෂෝ ආකාරයට බෑන්ඩ් එකේ කොල්ලො ටික වාඩි කරවල එකම කැමරාවකින්, එකම කෝණයකින් රූ ගත කරනව. උන් script එක කියාගෙන යනව – වෙන දේවල්, වෙච්ච දේවල් සහ වෙන්න යන දේවල් ඔක්කොම කට වචනෙන් ඉදිරිපත් කරනව. මේ සංගීත කණ්ඩායම් දෙක නිතරම ගහ ගන්නව, බැනර් වලට කළු තෙල් ගහනව – ඔක්කොම සිද්ද වෙන්නේ එකම පොල් රුප්පාවක – රෑට. ඒ කතාවේම කෙල්ලයි කොල්ලයි හම්බවෙන්නේ, මැර තාත්තට අහුවෙන්නෙ – අඬන්නේ දොඩන්නේ මේ පොල් රුප්පාවේම – හැබැයි දවල්ට.

ඊට පස්සේ එනව අපේ ගෙදර උදවිය හරියට බලන එක. ඒකෙත් ඉන්නව හොඳ කොල්ලො රැලකුයි – උන්ට එගේන්ස්ට් මැර කණ්ඩායමකුයි. උන් ගහ ගන්නෙත් අර කලින් එකේ සංගීත කණ්ඩායම් ගහගන්න පොල් රුප්පාවෙමයි..! ඒ කතාවේ නායිකාව තනිකඩ කෙනෙක්, පුතත් එක්ක දුක සේ ජීවිතේ ගත කරපු. ඒ ගෙදර දර්ශනය හැමදාම පටන් ගන්නේ කැමරාව පසු කරගෙන යන ඇගේ visual එකකින්. ඒ ගෙදර අල්ලාප සල්ලාපය ඉවර උනහම තව ගෙදරක් තියෙනව ඒ ගෙදර shot එක. මැර පෙනුමැති මිනිහෙක් ඒ ගෙදර ඉන්නෙ – එක කැමරාවයි – එක කෝණයයි – අල්ලාප සල්ලාපයයි. මේ වගේ තව ගෙවල් දෙකතුනකුයි ඔෆිස් එකකුයි තියෙනවා – එක කැමරාවෙන් කවර් කරන. හොඳම හරිය මේ පිරිස ගමන් කරන දර්ශන – පයින් ගියොත් කැමරාව ලඟට එනකං ඇවිදගෙන ඇවිත් – මුළු දෙබසම නැවතිලා කතා කරනවා අපිට මග ඇරෙයි කියල. දෙන්නම යන්නේ එකම පැත්තට නමුත් shot එක නිසා නතර වෙනව. කාර් එකේ යනවනම් හැමදාම pick up කරන තැන කෙල්ල – කාර් එකේ කොල්ල – බහිනව – එළියේ කතා කරල shot එක ගත්තහම තමයි කාර් එකට නගින්නෙ. මට හිතෙනවා ළඟ ගෙදරක CCTV කැමරාවකින් මේක film කරනව කියල. මොකද කාර් සීන් එකේ කෝණය සදා නොවෙනස් වන නිසා. තව සීන් එකක් තියෙනව බීම විකුණන ජොයින්ට් එකක. ඉවරයක් නැතිව කියවන මැදි වියේ තරුණයෙක් ඒකෙ සේවය කරන්නෙ. එකම කස්ටමර් කෙනෙක් තමයි හැමදාම එන්නෙ. එක කැමරාවයි එක කෝණයයි..!

ඉතිං මම කල්පනා කරා ඇයි මේ අය ට්‍රැක් ඩොලී – frame stabiliser වැනි උපකරණ භාවිතා නොකරන්නෙ moving shots ගන්න කියල. මට දැනගන්න ලැබෙනව මේක හෙන ලෝ බජට් වැඩක් කියල – Reduce Cost තමයි මේකෙ එක කුළුණක්. තව මේ හැම එකේම ඉන්නේ රියල්ටි ෂෝ වලට ආපු කොල්ලෝ කෙල්ලෝ ලු – කලාතුරකින් වෘත්තීය නළු නිලියෝ ගන්නවලු පාළුව ඇරෙන්න දෙවන කුළුන – Reuse Stars සංකල්පය..! ඒක Reduce Cost කුළුනටත් දායක වෙනව. ඒ එක්කම මට සිහිවුන තුන්වැනි කුළුන – ඔක්කොම රියල්ටි ෂෝ දුවන්නෙ පරණ සිංදු Recycle කරල නේද කියල. Reduce – Reuse – Recycle..! මේ තරම් හොඳට කුළුණු තුනේ 3R සංකල්පය පාවිච්චි කරන වෙන ආයතනයක් ලොවෙත් නෑ නේද කියල මට පසක් උනා.

මේ අතරෙ ඒ නාලිකාවේම රියල්ටි ෂෝ එකක අවසන් වටය අහුඋන මට ලඟදි. විශ්වාස කරන්න එහි ප්‍රධාන නිවේදක අර මෙගා එකේ කතා නායිකාවගේ පුතාගෙ character එක කරන කොල්ලමයි. ඒක Reuse උපරිම තලය..! එතකොටයි මම දැක්කේ සර්පිලාකාර ඔවුන්ගේ ලෝගෝ එක. Circular Economy ලෝගෝ එකමයි ඔවුන් භාවිතා කරන්නෙ මම සතුටින් තේරුම් ගත්ත. මම මේ සත්‍ය පසක් වීමේ ප්‍රීතිය මගේ ප්‍රිය බිරිඳ එක්ක බෙදා ගන්න ගියේ Resource Efficiency වැඩමුළුව තිබුණු ජනවාරි 19 රෑ… රුවන්ල දීපු plaque එකත් පෙන්න පෙන්න – අර මෙගා එක යන වෙලේ. මෙගාවට මගෙන් වෙච්ච බාධා කිරීම නොරිස්සූ ඇය කියනව….
“ඒක ඔය බම්බු Circular Economy එකක් නෙවෙයි..! ඒ අපේ සිංහල කොම්බුව අනේ…” කියල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *