COLUMN

t අක්ෂය ක්ෂය විය..!

Summary

මගෙ පැරණි මිත්‍රයෙක් කීර්ති ගුණවර්ධන, මගේ post එකක් දැකල ලියනව “Many eyes go through the meadow, but few see the flowers. You saw such a positive …. ” කියල. මම කල්පනා කරා මම එහෙමද කියා… හුඟක් අතීතයට ගියහම සෑම දෙයකම ගන්න තියෙන හොඳ, ලස්සන දේ (flowers off the meadows…) ගැන විතරක් අවධානය යොමු කරන මේ පුරුද්ද ඇති වෙච්ච හැටි මතක් උනා…

මගෙ පැරණි මිත්‍රයෙක් කීර්ති ගුණවර්ධන, මගේ post එකක් දැකල ලියනව “Many eyes go through the meadow, but few see the flowers. You saw such a positive …. ” කියල. මම කල්පනා කරා මම එහෙමද කියා… හුඟක් අතීතයට ගියහම සෑම දෙයකම ගන්න තියෙන හොඳ, ලස්සන දේ (flowers off the meadows…) ගැන විතරක් අවධානය යොමු කරන මේ පුරුද්ද ඇති වෙච්ච හැටි මතක් උනා…

මගේ ඉහල නිලධාරීන් මා සමග උරණ වන ප්‍රධානතම හේතුව බාරගත් වැඩ ඉක්මනින් අවසන් නොකිරීමයි. මේ සම්බන්ධයෙන් මගේ දෙමව්පියන්, බිරිඳ, සහෝදරියන් සේම දරුවන් සහ යහළුවන් ද මේ නිසාම මා සමග නොරොක් වූ වාර ගණන මෙතෙකැයි ගනින්න බැහැ… Procrastinator..! යනුවෙන් ඇතැම් බොස්ල මට පරිභව කරනකොට යහළුවන් “උඹ කැටයන් දාල ඉවර උනහම මම මැරිල නොහිටියොත් ඕක එවපන්” යැයි තර්ජනය කළා..! ඇතැමුන් “මේ වැඩේ මේ මාසෙ ඉවර වෙන්න කළින් නොදුන්නොත් අපේ යාළුකම මෙතනින් ඉවරයි..!” කියා අවසන් නිවේදන නිකුත් කරල තියෙනව. බාරගත් වැඩ ගැනයි මේ ආරෝව…. මේ කිසි කෙනෙක් මගෙ ප්‍රශ්නෙ නොදැනයි මේ දේවල් කියන්නෙ. ප්‍රශ්නෙ මේකයි… මගෙ ජීවිතෙන් ‘t අක්ෂය’ ගැලවුණා – සියවස් කාලකට විතර ඉස්සර. ඔව් applied maths වල තියෙන කාල අක්ෂය තමයි. ඉතින් මේ කතාව ඒක වෙච්ච හැටි…

මා රැකියාව කල Colombo Commercial ආයතනේ තිබුණ ශාඛා රැසක්. එකක් රත්නපුරයේ. මෙහි කතානායක ගාමිණී තම්මිට මහතා ඒ ශාඛාවෙ කළමනාකරු. එහි පිරිවැය මෙන්ම ගිණුම් සම්බන්ධ මහත් ගැටළුවක් මතුවී ඔහු විශාල පීඩනයකට ලක්වී සිටිය. මගේ කොළඹ කාර්යාලෙ ලොකු බොස් මේවා පිළිවෙලක් කරන්න දක්ෂයෙක්. ඔහු මා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුත් කැටිව රත්නපුරයට සේන්දු උනේ තම්මිට මහතා ගොඩ දැමීමට. අපිට කාර්යාලයේම කොටසක නවාතැන් ලැබුණ. ඉතින් වැඩේ ඉවර කරන්න ඕන නිසා දිවා රෑ නැතිව අපි වැඩ කළා. ක්වාටර්ස් එකෙන් ඔෆිස් එකට ඔෆිස් එකෙන් ක්වාටර්ස් එකට..! මට පැවරුනේ විවිධ jobs වල costing පරීක්ෂා කරන්න. මා වැඩ කරන ආකාරය බලා සිටි තම්මිට මහතා ඇතැම්විට මට කීව ”hey..! take a break.!!” හෝ ”slowly young man” වැනි දේ..! ඔහු ඉතා ආචාරශීලී මහතෙක්. අපගේ නොයෙකුත් නොසරුප් කතා වලට හිනා උන ඔහු කිසි විටෙක ඒවට දායක උනේ නැහැ. නමුත් මට මේ slowdown කතාව ඇල්ලුවෙ නැහැ. මට ඕන වෙලා තිබුනෙ පැය 24ම හෝ වැඩ කරල මේ ප්‍රශ්නෙ අවසන් කරන්න.

සුමානයකට විතර පස්සෙ අපේ කාර්ය සෑහෙන දුරකට අවසන් උන. එදා රෑ තම්මිට මහතා අපිට කෑමකට ආරාධනා කළා. අපිට සලකන්නෙ ඔහුගේ බිරිඳ – ඇයට මගේ බොස් කටපුරා කිව්වෙ lady Delgoda (දෙල්ගොඩ ආර්යාව) කියල. ඇය සුප්‍රකට දෙල්ගොඩ පරපුරේ දියණියක්. ඔහු ඉතා අශෝභන විධියට හිනා වෙලා කියනව “I always address her by her maiden name… for I don’t want to associate this graceful lady with this Tammit Damn-it..!” මගේ බොස් තම්මිට මහතාගේ කිට්ටු හිතවතෙක් නිසා ඔහුට නිතර අවමන් කලේ Tammit Damn-it කියා..! Graceful lady කියන වචෙනේ පරිසමාප්තාර්ථයෙන්ම ඇය ආර්යාවක්. අතිශයෝක්තියක් නොවේ, මම විවිධ අවස්ථාවලදී රාජ්‍ය නායකයින් පවා සහභාගී වෙන භෝජන සංග්‍රහ දැක තිබෙනවා. නමුත් එදා ඇයගේ සංග්‍රහයට සම කල හැකි අවස්ථාවක් අදටත් මට ලැබී නැහැ. ඉතින් මධු විතෙන් සප්පායම් වී සිටි තම්මිට මහතා මගෙන් ඇහුව “ඇයි නුඹට හැම දේම ඉක්මනින් සිද්ධ වෙන්න ඕනෙ..?” කියල. මට ලොකු දාර්ශනික උත්තර ආවෙ නැහැ. මම කීව “වැඩ තියෙන්නෙ කරන්න නේ… ඉතින් ඉක්මන් කරපුවහම හොඳයිනේ..” ඔහු අහනව “after finishing it, what..?” මම කියනව “I will attend to the next” ඔහු නැවත අහනව “Then..?” වශයෙන්. මම නිරුත්තර උනා.

ඔහු කීව “කාලය කියන්නෙ මිනිස්සු තමන්ටම හදාගත්ත ගිවිසුමක පාදම, ඒක එච්චර අදාල කරගන්න එපා ජීවිතේට” කියල. I don’t mean to say that don’t work hard, as a young man you have to work hard, but always make sure that once in a while, you just stop and watch the world go by… Don’t be a part of it, just watch the world go by, you will be a happier person… ඔහු ඌනපුර්ණය කලා…
එදා රෑ රත්නපුර අහස හරිම පැහැදිලියි – තරු දහස් ගණනක් යටින් මම බංගලාවෙ සිට ක්වාටර්ස් එකට ආවෙ වෙනම vibe එකක. එවැනි සංග්‍රහයක් මා කිසි විටෙක අත් නොවිඳි නිසා වෙන්න ඇති… අර වෙනස් ආකාරයේ දෙබස නිසා වෙන්නත් ඇති… පහුවදා උදේ කෑමට පසු අපේ සමු ගැනීම. මම තවමත් කල්පනාවෙ. සෑම විටකම කුමක් හෝ දෙයක නියලී සිටි මට ඔහු කීවා “ඉඳ හිට මොකුත් නොකර නැවතී, ලෝකය අප පසු කොට යන හැටි බලා සිටින්න” කියා. අමුතු ඔවදනක්..! මම හිතුව.

මම එම ඔවදන පිළිපදින්න පටන් ගත්ත. එහි ප්‍රතිඵල හරිම පුදුමයි… මගෙ “output” එක බැස්ස නොසෑහෙන්න..! නමුත් මගේ ජීවිතේ වෙනම විදියකට පේන්න පටන් ගත්ත. පරිකල්පනය දියුණු උනා කිව්වොත් නිවැරදියි. හැම කරන දේකම අවසන් ප්‍රතිඵලය ගැන හිතන්න වගේම, හැම දේකම තේරුම හොයන්න ඒ වගේම සෑම කෙනෙකුගේම අගයක් දකින්න මා පෙළඹිලා… මට මුණගැහෙන සෑම කෙනෙකුගේම හොඳ විතරක් අරගන්නත්, නරක එකතු නොකරන්නත් හැකියාවක් ලැබිල. කොටින්ම කෙනෙකුගෙ හෝ සතකුගේ උනත් උත්සාහයට (effort) ගරු කරන්න මම පුරුදු උනා – නැවතිලා බලන් ඉඳල. කාලය තව දුරටත් මගේ ජීවිතේ පාලනය කරන බලවේගයක් නොවන තැනට මාව වැටුන. සෑම දිනකම විනාඩි කිහිපයක්, සෑම වසරකම දින පහක් (පූර්ණ භ්‍රමනයකට අංශක 360කුත් වසරකට දින 365කුත් තියෙන්නේ දවස් පහක් කැරකෙන්නෙ නැතිව ඉන්න කියල මට තේරුණ..!) මම ඉවුරකට වෙලා ලෝකය ගලන හැටි බලා සිටින්න පුරුදු වෙලා. t අක්ෂය ක්‍රමයෙන් ක්ෂය උනා… මේ කරුණ පැහැදිලි කරපු තම්මිට මහතාට මම නිතර පින් දෙනවා…

කයිවරුවක් තමයි, නමුත් නොකිය බැහැ, මට සංකීර්ණ දේ වටහා ගැනීමේ හැකියාවක් ලැබුණ. අවුල් ජාලාවක් තුලින් විසඳුම් සොයා ගන්න දෘෂ්ටියක් ලැබුණ. Abstraction – එහෙම නැත්නම් වියුක්තිය නමැති කලාව මට අහුඋනා… Existential ප්‍රශ්ණ (ඉපදුනේ ඇයි..? වගේ දේවල් ගැන) ගැන නිතර කල්පනා වෙන්න ගත්ත. උපේක්ෂාව මගේ දුබල සිතට කාන්දු වෙලා එය ගලක් බවට පත් කලා (මගේ සමීපතයන් ශපථ කරාවි එය ගලක් බවත්, මගේ හදවතත් මොළයත් අතර වයර් ගැලවී ඇති බවටත්..!) ඇනුම්පද, බැණීම්, අපහාස, උපහාස කිසි දෙයක් තව දුරටත් මට ඇහෙන්නෙ නැතිව ගියා. ඒ එක්කම මගේ වටේ ඉන්න අය – බොස්ල, දෙමව්පියෝ සහ අනික් ඔක්කොම මගේ වැඩ පමාව ගැන දොස් දෙවොල් තියන්න ගත්ත… චන්දන සමරසිංහ – අපේ පළවැනි අධ්‍යක්ෂ ජනරාල් තුමා දවසක් කෑ ගැසුවේ “උඹ ඕක (t අක්ෂය) දාපු තැනකින් හොයන් වරෙං” කියල..! මම කියන්නෙ නැහැ වෙලාවට වැඩ කරන එක නරකයි කියල… deadlines වලට ගරු කරන්න ඕනෙ, නමුත් එහෙන් මෙහෙන් ගහල දාල වැඩේ සවුත්තු කරනවට වඩා වෙලාව අරගෙන කැටයන් දාල ඒක හරියට කරන එක තමයි හොඳම. If heaven can wait, why can’t you..? මේ එක්කම ඉඳහිට මගේ අතින් නිර්මාණය වෙන දේ ගැන ප්‍රශංසා ලැබෙන්න ගත්ත – පමා උනත් ඒවා හොඳ නිර්මාණ ලෙසින් හඳුන්වමින්. අපහාස උපහාස මට දැන් ඒතරම් අදාළ නොවුනත් කරපු දෙයක් ගැන ප්‍රශංසා, නැතිනම් කාගෙන් හෝ හොඳක් ඇසීමෙන් තවමත් මට ගැම්මක් එනව… ඒකත් දවසක හරි යාවි…

නමුත් මම සතුටින්. මා ඉදිරියෙන් ගලා යන ලෝකය දිහා ඉඳ හිට නැවතිලා බැලීම ජීවිතේ කොටසක් වෙලා…ජීවිතයට කාලයේ irrelevance එක පෙන්වන මේ ලස්සන පින්තුරයට Jon Tyson ට ස්තුතියි…
heaven can, and will wait..

මට ජීවිතේ පේන්න පටන් ගත්ත…

මට මාව හමු උනා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *